සෝම හිමි පූර්වාදර්ශය අමතක නොකරමු

667

පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන්ගේ 18 වන ගුණ සමරුව වෙනුවෙනි.

පූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමින් වහන්සේ අපවත් වී වසර 18 කි. උන් වහන්සේ විසින් මෙම සමාජයට අවධානය කරන ලද අර්බුදය තව වෙනත් ස්වරූපයකින් ශ‍්‍රී ලංකා බෞද්ධ සමාජයම වෙලාගෙන ඇත. එම අර්බුදය තේරුම් ගැනීම හා ඊට පිළියම් සෙවීම ශාසනික බලධාරීන්ගේ වගකීමකි. එහෙත් ඒ සඳහා කිසිදු උනන්දුවක් හෝ අවබෝධයක් ශාසනික බලධාරීන් තුළ තිබේද යන්න සැකයකි. සිංහල බෞද්ධයන් යැයි කියා ගන්නා පිරිස් බලයට පැමිණියද වසර දෙකක් ඉක්මවා ගියද පුදපූජා පවත්වමින් ශ‍්‍රද්ධාවන්ත බෞද්ධයන් රවට්ටමින් සිටියි. ශාසනික අර්බුදයට හෝ සිංහල බෞද්ධයන්ගේ සුරක්ෂිත තාවයට අවශ්‍ය නෛතිකව විසඳුම් සෙවීමට උත්සුක වන්නේ නැත. ඇතැම්විට මෙම ආගමික හා සහජීවන අර්බුදය විසඳන්න සූදානම් වෙන ශාසනික බලධාරීන්ට නිර්ධය ලෙස සමාජ මාධ්‍ය උපයෝගි කරගෙන පහර දෙමින් සිටියි. අදවන විට රටට එක නීතියක් ගෙන එන වැඩසටහන තුළ ද සාර්ථකත්වයක් දක්නට නොලැබේ. එම පිරිස් ද ජනතාවගෙන් අදහස් ගන්නවා යැයි කියමින් මහජන මුදල් නාස්ති කරමින් සිටියි.

ඉස්ලාම් ආගම පිළිගන්නා පිරිසක් ලොව පුරා සිටියි. එම ආගමට සම්බන්ධ ඉහළ හා මධ්‍යම පාන්තිකයන් ආගම වැලඳ ගන්නා විදිය ද, ඇතැම් බෞද්ධයන් බුදු දහම පිළි නොගෙන සංස්කෘතිය හා ශිෂ්ටාචාරය වැළඳගෙන එය අර්බුදයට ලක්කරමින් ඇත. සිංහල බෞද්ධයන් අතීතකාමය හෙවත් ඉතිහාසය කොටසක් ගෙන බෞද්ධ සංස්කෘතියට ඇතුල් වී බෞද්ධ දර්ශනය විනාශ කරමින් සිටියි. සහරාන් ඇතුළු පිරිස ද මුස්ලිම් සමාජයේ ඉහළ මධ්‍යම පාන්තිකයන්ගේ දරුවන්ය. අන්තවාදයට ගොදුරු වූ බවට පත්වන්නේ තම ආගමේ නිසි හරය අවබෝධ නොකර ගන්නා පිරිස්ය. සමාජ ගැටලූවක් හා තම පුද්ගලික ජීවිතය ගැටලූවක් ඇති වූ විට ඒ සඳහා විසඳුම් සොයන්නේ තමන්ට නොපෙනෙන බලවේග තුළිනි. තමන් ජීවත්වන මේ මනුෂ්‍ය ලෝකයට එපිට සැපවත් ජීවිතයක් තිබෙන බවත් එම ජීවිතය ලබා ගැනීමට නම් තම ආගමට විරුද්ධ අන්‍ය ජාතිකයන් විනාශ කිරීමෙන් එය ලබා ගත හැකි යන මිථ්‍යා දෘෂ්ටිගත කටයුතු කරන ස්වරූපයක් දක්නට ලැබේ.

පාකිස්තානයේ රටට වසර 11 පමණ සේවය කළ ප‍්‍රියන්ත කුමාර දියවඩන මහතා ම්ලේච්ජ අයුරින් ඝාතනය කරන අයුරුද, ඉන්පසුව දේහය පිළිස්සෙන අයුරු බලා දෙවියන්ගේ නාමයට ස්තුති කරමින් සිටින අයුරුද වීඩියේ දර්ශනවලින් දකින්න ලැබිණි. එම මරණයෙන් පසුව තරුණ පිරිසක් මාධ්‍ය වෙත කියා සිටියේ තම යුතුකම ඉටු කළ බවයි. මෙම පිරිසෙන් සියයට 99ක් ම වයස 30ට අඩු පිරිසකි. එමෙන්ම පාකිස්තාන ආරක්ෂක ඇමැති කියා සිටියේ මෙම සිදු වීම උදකලා සිදුවීමක් මිස සැලසුම් කරන ලද ක‍්‍රියාවක් නොවන බවත්, මෙවැනි සිදු වීම් තමන්ගේ රට තුළ සිදුවන බවත් කියා සිටියහ. මෙම කල්ලි කණ්ඩායම් තමන් කිසිදා නොදන්නා, නොදකිනා දෙවියෙක් වෙනුවෙන් වටිනා මිනිස් ජීවිත බිලි ගන්නේ දෙවියන්ගේ කැමැත්ත මත බව පූර්ණ විශ්වාසයක් ඇත.

ඔබලා පයින් ගැහුවේ මගේ තාත්තාට නොවෙයි. ඔබලාගේ ඉස්ලාම් ආගමටයි, ඔබලා පිච්චුවේ මගේ තාත්තා නෙවෙයි. ඔබලාගේ දෙවියන්ගේ ගෞරවයටයි. ඔබලා බිම ඇදගෙනම ගියේ මගේ තාත්තා නෙවෙයි. ඔබලාගේ රටේ අභිමානයටයි. ඔබලා නැති කර ගත්තේ අපේ තාත්තා නෙවෙයි. අපි ඔබලා ගැන හිතන් ඉඳපු විදිහයි. ඔබලාගේ පස්සෙන් එන්නේ පොලිසිය හෝ නීතිය නොවෙයි. කර්මයයි. යනුවෙන් සමාජ මාධ්‍ය සටහනක් තිබිණි. එය හරියටම හරිය. පකිස්තාන අගමැති කියා සිටියේ තම මව් බිමේ කළු තිතක් තබන ලද දිනයක් බවට එදින පත් වූ බවයි. පකිස්තානයේ ප‍්‍රසිද්ධ ඇස් වෛද්‍යවරයෙක් කියා සිටියේ අපිට ශ‍්‍රී ලංකාවෙන් 1969 සිට ඇස් තිස්පන් දහසක් පමණ අපේ රටේ මිනිසුන්ට බද්ධ කළත් එයින් ප‍්‍රයෝජනයක් ලැබී නැති බවයි.

අද වන විට සිංහල බෞද්ධයන් විවිධ ගුරු කුල හදාගෙන බුදුන් වහන්සේටත් එහා ගිහින් ධර්මය දේශනා කරමින් ඇත. එම භික්ෂු වේශධාරීන් පැවිදි ස්වරූපයෙන් හා ගිහි ස්වරූපයෙන් සිටියි. තමන් බුදු වුණු බවත්, තමන් රහතන් වහන්සේ බවත් කියයි. ඒ සඳහා දැන උගත් සමාජය පිළිගත් පිරිසක් ද ඒකරාශි කර ගැනීමට මෙම අධර්මවාදීන් සූක්ෂම වී ඇත. අද සෝම හාමුදුරුවෝ වැඩ සිටියේ නම් මෙවැනි සිදු වීම් උපුටා දක්වමින් බෞද්ධයන් මෙම අධර්මවාදීන්ගෙන් බේරා ගන්නා ආකාරය උන්වහන්සේගේ ධර්ම දේශනාවලින් දක්නට ලැබෙයි. එම නිසා උන්වහන්සේගේ අවශ්‍යතාව එදාට වඩා අද බෞද්ධයන්ට දැනී ඇත. සමාජ මාධ්‍යට නිසි ආමන්ත‍්‍රණයක් කරමින් සමාජ මාධ්‍ය උපයෝගි කරගෙන තරුණයන් නිසි මගට ගන්නට වැඩපිළිවෙළක් උන්වහන්සේ විසින් සකස් කරනු ඇත.

සිංහල බෞද්ධ සමාජයට එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදයට මුහුණ දීම, කතෝලික මුහුණුවරින් එන පාස්ටර්ලාට මුහුණ දිම, ඉස්ලාම් අන්තවාදයට මුහුණ දීමට වඩා මෙම වංසගතය ඊට වඩා දරුණු මුහුණුවරක් ගෙන ඇත. මෙය ගොඩනැගී ඇත්තේ බෞද්ධ සමාජයෙන්ය. එය හඳුනා ගැනීමට අපහසුය. තේරුම් ගැනීමටත් අපහසුය. අප අතරම සිටින අය විසින් මුදල් හා නොදන්නාකමට මෙම මතවාද සමග එක්විය හැකිය. අද බොහෝ දෙනෙක් ලාභ ප‍්‍රයෝජනය සඳහාද බුදු හාමුදුරුවෝ ද තමන්ගේ කර ගැනීමට ඇති ඇල්ම නිසාම මෙම මතවාද ගැන කිසිම සෙවීමක් නැතිව වැළඳ ගන්නා බව පෙනී ගොස් ඇත. එම නිසා මෙම ගැටලූවට මුහුණ දෙන එක එතරම් පහසු කාර්යක් නොවනු ඇත. බුදුන් වහන්සේගේ දහම හා චරිතය කිසිම විමසීමකින් තොරව පිළි නොගන්නා ලෙස කාලාම සූත‍්‍රයේදී ඉතා පැහැදිලිව දක්වා ඇත. එසේ තිබියදී ඇතැම් අන්ද බෞද්ධයන් මෙවැනි ආකල්ප පිළිගැනීම අතිශයින්ම භයානකය.

පූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමින් වහන්සේ මෙවැනි අකල්පවල දැඩි සේ පහර දෙන ලදී. බෞද්ධයන් අන්ධ විශ්වාසයන්ගෙන් ගලවා ගැනීමට දැඩි උත්සාහයක් ගන්නා ලදි. එබැවින් සිංහල බෞද්ධ තරුණ තරුණියන් උන් වහන්සේ සොයා යන්නට පෙළඹුණහ. එම නිසාම සිංහල බෞද්ධයන් පමණක් නොව ඉස්ලාම් භක්තිකයන්, කතෝලිකයන්, බුදු දහම සමග වැළඳ ගන්නා ලදි. සෝම හිමියන් නිසා අන්‍යාගමිකයන් බෞද්ධයන් වූ පිරිස අතිවිශාලය. එවැනි අරගලයක් සිදු කරන්න සුදුසු කාලය එළඹ ඇති බව මෑතකදී පාකිස්ථානයේ සිදුවීමෙන් පැහැදිලය. රටක් වශයෙන් ශ‍්‍රී ලංකාවට ද ලෝකයක් වශයෙන් හැම දෙනාම අන්ධානුකරණයට ලක් වෙමින් ඇත. පිරිසක් මුදල් පසු පස යන අතර තව පිරිසක් අධර්මවාදීන් ලෙස කටයුතු කිරීම නිසා පාස්කු ප‍්‍රහාර වැනි අන්තවාදී ප‍්‍රහාර ඉදිරියේදී ද සිදු විය හැකිය. භෞතික සංවර්ධනය පමණක් නොව එකිනෙකා මිනිස් ගෞරවය ආරක්ෂා කර ගන්නා ජනතාවක් බිහි කිරීම අප හැම මුහුණ දී ඇති අද ප‍්‍රබලම අභියෝගයි. ඒ සඳහා කටයුතු කිරීමට අප සැදී පැහැදී සිටිය යුතු බව පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන්ගේ 18 වන ගුණ සැමරු දිනයේදී අදිටන් කරගනිමු.

බුදුගල ජිනවංස හිමි
ශාස්ත‍්‍රවේදී, හෙළ බොදු සවිය. සභාපති

advertistmentadvertistment
advertistmentadvertistment