සෝම හිමි මතකය – වසර 19 පෙර කතාව !

313

‘ඔය ඇත්තෝ මට ගරු කරනවා නම් එය කළ හැක්කේ මම කියන දෙය අනුගමනය කර ඒ අනුව කටයුතු කරනවා නම් පමණයි. එහෙම නැතිව මා පසුපස යමින් මුහුණ පෙන්වනවා නොවෙයි. මම දේශනා කරන්නේ අමුතු බණක් නොවෙයි. මීට ශත වර්ෂ 25කට පෙර බිහිවූ ලොව ශ්‍රේෂ්ඨතම ආගමික නායකයාණන් වූ ගෞතම බුදුන් වහන්සේ දේශනා කරන දහමයි. එම නිසා මම දෙවියෙක්වත් භූත ආත්මයක්වත් කියලා හිතන්න එපා. මා ගැන එහෙම හිතනවා නම් එය තමයි මට කරන ලොකුම අගෞරවය.’

සුපින්වත් මිනිසුනි, යමෙක් ඔබට හොඳ මිනිහෙක් යැයි කියන්නේ නම් එසේ කියන්නේ ඔබ හිස කඳ කෙලින් තබාගෙන ඇවිදින්නකු නිසා නම් නොවේ. යහපත අයහපත වෙන්ව තෝරාගෙන අයහපතින් වැළකී යහපතෙහි යෙදීමට තරම් සුදුසු වූ මානසිකත්වයක් ඔබට ඇති බැවිනි. උසස් කළ හැකි මනසක් ඇති බැවින් “මනස්ස උස්සන්තතා” යනුවෙන් අර්ථ විග්‍රහය දක්වා ඇත. මිනිසාට ආගම අවශ්‍ය වන්නේද ඔහු අයහපතින් වළකා යහපතෙහි යොදවා උසස් මානසිකත්වයක් ඇති මිනිසකු කිරීමට මිස සිතීමේ නිදහස වළකා මන්දබුද්ධිකයකු කිරීමට නොවේ.

ඉහතින් දැක්වූ සටහන රචනාකර ඇත්තේ අති පූජනීය ගංගොඩවිල සෝම හිමියන් විසිනි. උන්වහන්සේ සෑම විටම කටයුතු කළේ බෞද්ධයන්ගේ දහම් පවස නිවා සමාජ සුචරිතය ඇතිකිරීමටය. 2003 සැප්තැම්බර් 14 වැනිදා මහනුවර මහමළුවේදී පැවැත්වූ බොදු සමුළුවක ප්‍රධාන දේශකයා ලෙස පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියෝ සහභාගි වූහ. එම රැස්වීමේ සිය කථාව පවත්වමින් සිටින අතරතුර උන්වහන්සේ විශේෂ ලිපියක් ගෙන ප්‍රදර්ශනය කළහ. එම ලිපිය ප්‍රදර්ශනය කරමින් සෝම හිමියන් ප්‍රකාශ කළේ තමන්වහන්සේ ඝාතනය කිරීමට ක්‍රිස්තියානි මූලධර්මවාදී සංවිධානයක් මුදල් යොදවා ඇති බවය. ඇත්තෙන්ම සෝමහිමියන් අපවත්වීමට පෙර සහභාගිවූ අවසන් රැස්වීම එයයි. 2003 දෙසැම්බර් 12 වැනිදා සෝමහිමියන් රුසියාවේ පීටර්ස්බර්ග් නුවරදී හදිසියේ අපවත්වූයේ මෙරට සිංහල බෞද්ධයන්ව සෝ සයුරක ගිල්වමිණි. වර්තමාන සිංහල බෞද්ධ ප්‍රබෝධයේ මූලිකයා වූ උන්වහන්සේ පිළිබඳ මතකය මෙරට දෑ හිතකාමී ජනතාවට ලෙහෙසියෙන් අමතක කළ නොහැක. උන්වහන්සේ අපවත්වී වසර 19 ක් සපිරෙන්නේ අද (12) දිනයටය. සෝමහිමි අපවත්වීමත් සමග මෙරට බෞද්ධයන් විශේෂයෙන්ම මධ්‍යම පාන්තිකයෝ තමන්ට එරෙහිව මූලධර්මවාදී කුමන්ත්‍රණයක් සිදුවන බව පැහැදිලිව අවබෝධ කර ගත්හ. ඒ මතය දැන් පවතින්නේ දැයි සැක සහිතය. මන්ද දැන් ප්‍රභාකරන් පරාජය කළ නායකයන්ටද ඉක්මන් මරණය පතන කෙලෙහිගුණ මෙන්ම අතීතයද නොදන්නා වසලයන් පිරිසක්ද සමාජයේ දක්නට ඇති බැවිනි. අරගලයේ මුල්තැන ගෙන සිටියෝ මොවුන්ය. ඔවුන් මෙරට ප්‍රධාන සංස්කෘතියට එරෙහි පිරිසකි. එම නිසාම සෝම හිමියන් මෙරට සිංහල බෞද්ධ සමාජයේ ඇස් ඇරීම ගැන වර්තමානයේ මෙනෙහි කරන්නෝ දුර්ලභය.මේ අතීතය අද නැවතත් සිහි කරන්නේ මන්ද? සෝමහිමි මතකය මෙන්ම ඒ හරහා ඇතිවූ ආගමික ප්‍රබෝධය බොහෝ දෙනා අමතක කර ඇති නිසාය. සෝමහිමි නිසා ඇතිවූ බෞද්ධ ප්‍රබෝධය හරහා රටේ නමගිය ධර්ම කථිකයන්වූ සමහර භික්ෂූන්ගේ අද ක්‍රියාකලාපය කෙසේද? සෝම හිමියන් නිසා ඇතිවූ බෞද්ධ ප්‍රබෝධයෙන් පිම්බුණු සමහරු අද බෞද්ධයන්ට වංචාකර නොමැතිද? බුදුන් වැඩසිටි කාලයේ ශාසන විරෝධීව හැසිරුණු ජබ්බග්ගිය පුනබ්බසුඛ භික්ෂුන්ගේ ක්‍රියාකලාපයන්ද අපට මේ වර්තමාන ශාසන විරෝධීන්ගේ ක්‍රියාවන් දෙස බලද්දී සිහිපත් වේ. බුදුන් නොව දෙව්දතුන්ගේ හොඳ කියන චීවරධාරීන්ද බිහිව ඇති සමයකි මේ.

බුදු දහමේ අත්තිවාරම පරාර්ථ සේවයයි. දීපංකර මූලයේදී සුමේධ තාපසතුමාට නිවන් සැප ලබා ගැනීමට හැකියාව තිබුණද ලෝකයාගේ හිත සුව වෙනුවෙන් සේවය කිරීම සඳහා අධිෂ්ඨාන කර මතු බුදු බව පැතූහ. සෑම බෞද්ධයකුටම තමන්ගේ නිවන් සැපය අනුන් වෙනුවෙන් අත්හැරීමට ශක්තිය තිබිය යුතු බව මහාචාර්ය වල්පොල රාහුල හිමියන් විසින් රචිත භික්ෂුවගේ උරුමය ග්‍රන්ථයේ සඳහන් වේ. 1974 සැප්තැම්බර් මස 24 වැනිදා ප්‍රවෘජ්‍යා භූමියට ඇතුළු වූදා සිට සෝම හිමියෝ කැපවූයේ පරාර්ථ සේවය සඳහාමය. මහඔය වේරගල ආරණ්‍යයේ වැඩ විසූ කාලයේ සිට බුද්ධ වචනය නිවැරැදිව උපුටා දක්වමින් බොදු ජනයා යහමගට ගැනීමට උන්වහන්සේට හැකිවිණි. රූපවාහිනිය හරහා සෝම හිමි නාමය දස දෙස පැතිරෙන්නට වූයේ කිසිවකු නොසිතූ ආකාරයටය. දීඝවාපිය මුස්ලිම් අන්තවාදයට නතුව තිබියදී සියලු සිංහල බෞද්ධ නායකයන් ඒ ගැන මුනිවත රකිද්දී එවක පොදු පෙරමුණු රජයේ ප්‍රබලයකු වූ ඒ. එච්. එම්. අෂ්රොෆ් ඇමැති සමඟ ප්‍රසිද්ධ විවාදයකට එළඹියේද අප යතිවරයාණන් වහන්සේ පමණි. මේ ගැන අද බොහෝ දෙනකුට අමතකය. වර්තමානයේ දීඝවාපි සෑය වේගයෙන් ප්‍රතිසංස්කරණය වෙද්දී අපට සෝම හිමියන් එදා නැඟූ හඬ සිහියට එයි. සෝම හිමි විවාදාත්මක භික්ෂුවකැයි සමහර මාධ්‍ය ප්‍රකාශ කළේ මීට බොහෝ කලකට පෙරය. නමුත් උන්වහන්සේ ඉටුකළේ සිංහල භික්ෂුවට උරුම වූ ජාතික කාර්යභාරයයි. සිංහල භික්ෂූන් වහන්සේ වසර දෙදහස් පන්සියයක සිට ජාතියේත් බුද්ධ ශාසනයේත් දියුණුව පිණිස පුරෝගාමීව ක්‍රියාකරමින් භික්ෂු ජීවිතය ගතකළ බවත් රට වැසියාගේ දියුණුවට බාධාවන කරුණුවලට එරෙහිව ක්‍රියා කිරීමේ බලයක් සංඝයා සතු වූ බව 1946 නිකුත් වූ විද්‍යාලංකාර පිරිවෙන් ප්‍රකාශයේ සඳහන් වේ. සෝම හිමියන්ද සැබවින්ම කැපවූයේ පරාර්ථ සේවය සඳහාය. මූලධර්මවාදී ආක්‍රමණයෙන් බෞද්ධයන් ගලවා ගැනීම සඳහාය. බෞද්ධයාට නිසි මඟ පෙන්වනු පිණිස සෝම හිමියෝ පැයක් නොව පැය තුනක් බණ දෙසූහ. වෙනදා මෙන් ඒ බණ අසන්නට පැමිණියේ මහලු උපාසිකාවන් පමණක් නොවේ. තරුණ තරුණියෝ දහස් ගණනින් සෝමහිමිගේ බණ අසන්නට පැමිණියහ. ගංගොඩවිල සෝම හිමියන් කහ විප්ලවයට මූලික අඩිතාලම දැමූ ආකාරය යළි සිහිකළ යුතුය. දිනය 2001 දෙසැම්බර් 25 වැනිදාය. මහරගම සිරි වජිරඥන ධර්මායතනය මහජන ගඟකින් පිරී පැවතියේය. ධර්මායතනයේ තරුණ ශීල සමාදානය පමණක් නොව මුළු විහාර භූමියම සුදුවතින් සැරසුණු සිංහල බෞද්ධයන්ගෙන් පිරී පැවතියේ ගංගොඩවිල සෝම හිමියන් විසින් ආරම්භ කිරීමට යෙදුණු “ජනවිජය” සංවිධානයේ පළමු රැස්වීමට සහභාගි වීමේ අටියෙනි. සිංහලකම බෞද්ධකම නොසලකා හැර තිබූ යුගයක එය නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීමට සෝම හිමියන්ට හැකිවිය. සමාජය තුළ මුල් බැසගත් ජනකාන්ත මිථ්‍යා විශ්වාස, සිරිත් විරිත්, දේව ඇදැහිලි ආදියෙහි නිසරු බව විවරණය කරමින් පූජ්‍ය සෝම හාමුදුරුවන් දහම් දෙසීමට ඉදිරිපත් වන නිසා උන්වහන්සේ වෙත පැසැසුම් මෙන්ම නොයෙකුත් රැවුම් ගෙරැවුම් ද එල්ල වන්නට පටන් ගති. උන්වහන්සේ ගේ විවේචනයට ලක් වූ ප්‍රධාන කාරණයක් වූයේ බෞද්ධ බුදු දහම පසෙක තබා නොයෙකුත් දෙවිවරුන් ඇදැහීමට යොමු වීම යි. බුදු දහමේ නාමයෙන් සමාජයේ පැලපදියම් වුණ මිථ්‍යාවන් හා අවිද්‍යාත්මක කාරණා ගැන තමන් දරන මතය නො පැකිලව සමාජය ඉදිරියේ තබන්නට සෝම හාමුදුරුවන් පසුබෑවේ නැත. උන්වහන්සේ නිගමනවලට එළැඹුණේ සතර අගතියෙන් මිදී ධර්මානුකූලව ලබාගත් දැනුම ඇසුරෙනි. ඇතැම් කාරණා සමාජයට අයහපත් බව දැන දැනත් ඒ ගැන භික්ෂූන් වහන්සේලා පවා නිහඬ වන්නට උත්සාහ කරන විට සෝම හාමුදුරුවන් ගේ ඉදිරිපත් වීම බෞද්ධ අබෞද්ධ දෙපිරිසේම ප්‍රසාදයට හේතු වුණි. උන්වහන්සේ ගේ දේශන අසන්නට දහස් ගණනින් සෙනඟ ඇදුණේ එ බැවිනි. සැබෑ බෞද්ධයකුට “නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං” බුදු සරණින් පිට වෙනත් සරණක් නො මැත. මට ඇති එකම සරණ බුදු සරණයි. බුදුරජාණන් වහන්සේ මාගේ ශාස්තෘවරයා යැයි කියමින් තෙරුවන් සරණ යන බෞද්ධයකු වෙනත් ආගමික නායකයකු හෝ දෙවියකු සරණ යනවා නම් ඔහු තුළ බෞද්ධකමක් රඳන්නේ නැති බව සෝම හිමියෝ පෙන්වා දුන්හ.

ඇත්තෙන්ම පසුගිය කාලයේ කාලයේ වඩාත් විවාදිත භික්ෂු දේශපාලන චරිතය වූයේ පූජ්‍ය ගංගොඩවිල සෝමහිමියන්ය. එනිසාම සෝම හිමියන්ගේ හදිසි අභාවය කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් යෑයි රට පුරා ප්‍රචාරයවීමත් සමග බෞද්ධයෝ කලබල වූහ. එම නිසාම ජීවත් වූ සෝම හිමියන්ට වඩා අපවත්වූ සෝම හිමියන් ප්‍රබල විය. දශ ලක්ෂයකට අධික බෞද්ධයෝ සෝමහිමියන්ට අවසන් ගෞරවය දැක්වීම සඳහා පැමිණියහ. රට පුරා කහකොඩි එසැවිණි. ඒවා මහරගමට හෝ බම්බලපිටියට සීමාවූයේ නැත.

ජීවිතයේ අවසානය කොතැනක කෙසේ සිදුවේදැයි කාහට කිව හැකිද? සසර මිදීම ගැන සිතා අප්‍රමාදීව කටයුතු කරන මෙන් සැම දෙනාගෙන් ඉල්ලා සිටිමි” යනුවෙන් සටහන් කර තිබුණේ පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් 2003 ඔක්තෝබර් 20 වැනිදා රුසියාවේ සිට එවන ලද අවසන් ලිපියේය. මෙම ලිපිය සමඟ උන්වහන්සේගේ අන්තිම කැමති පත්‍රයක් වූ අතර එය 2004 වර්ෂයේදී විදේශ අමාත්‍යාංශය හරහා මහරගම ධර්මායතනයට ලැබී තිබිණි. අනතිමානී ගුණයෙන් යුතු සෝම හිමියන් පිළිබඳ මේ සටහන නිමා කිරීමට උන්වහන්සේගේ ප්‍රකාශයක් මෙලෙස උපුටා දක්වමි.

ඔය ඇත්තෝ මට ගරු කරනවා නම් එය කළ හැක්කේ මම කියන දෙය අනුගමනය කර ඒ අනුව කටයුතු කරනවා නම් පමණයි. එහෙම නැතිව මා පසුපස යමින් මුහුණ පෙන්වනවා නොවෙයි. මම දේශනා කරන්නේ අමුතු බණක් නොවෙයි. මීට ශත වර්ෂ 25 කට පෙර බිහිවූ ලොව ශ්‍රේෂ්ඨතම ආගමික නායකයාණන් වූ ගෞතම බුදුන් වහන්සේ දේශනා කරන දහමයි. එම නිසා මම දෙවියෙක්වත් භූත ආත්මයක්වත් කියලා හිතන්න එපා. මා ගැන එහෙම හිතනවා නම් එය තමයි මට කරන ලොකුම අගෞරවය.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment