සෞඛ්‍ය අංශයේ වෛද්‍යවරුන්, හෙද හෙදියන් පවා අනියමින් ත්‍රස්ත පනතට යටත් කරලා

113

සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී පා. ම. නලින් බංඩාර

පාස්කු ප්‍රහාරය කාලයේ වැලිතලාවට යටවන්නට ඉඩ නොදී රටේ ජනතාවට සාධාරණයක් ඉෂ්ට වන ආකාරයට එම පරීක්ෂණ පැහැදිලිව කරන මෙන් ජනාධිපතිගෙන් නැවත නැවතත් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බංඩාර මහතා පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (31 දා) පැවති මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව ප්‍රකාශ කළ අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කළේය.

වර්තමාන රජය ත්‍රස්ත විරෝධී පනතක් කඩිමුඩියේ ගේන්න උත්සාහ කරමින් සිටිනවා. එම ත්‍රස්ත විරෝධී පනත ගේන්නේ රටේ ත්‍රස්තවාදයට විරුද්ධව ද, එහෙමත් නැත්නම් රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධව ද, එහෙම නැත්නම් රජයේ ආරක්ෂාව තර කිරීමේ අරමුණු ඇතිව ද කියන ප්‍රශ්නය අපට තියෙනවා. මේ ත්‍රස්ත විරෝධී පනතට මුවා වෙලා සියලු වෘත්තීය සමිති මර්දනය කරන්නත්, සියලු ජන අරගල මර්දනය කරන්නත්, සියලු වෘත්තිය අයිතිවාසිකම් මර්දනය කරන්නත් කටයුතු කරන බව පේනවා.

ඒ පනතේ පැහැදිලිව තියෙනවා ‘යම් අත්‍යවශ්‍ය සේවාවකට හෝ සැපයීමකට සම්බන්ධ යම් තීරණාත්මක යටිතල පහසුකමකට හෝ ප්‍රවාහන පහසුකමකට බරපතළ බාධා ඇති කිරීම හෝ අලාභ හානි සිදු කිරීම හෝ ඒ සඳහා මැදිහත් වීම කියන කාරණය. ඒ වගේම පැහැදිලිව තියෙනවා මේ සියලුම වෘත්තිය අයිතිවාසිකම් සියලුම ජන අරගලවලට ඉඩ අවහිර කරන්න ත්‍රස්ත පනත පාවිච්චි කරන්න ලෑස්තියි කියන එක. ඒ වගේම මහජනතාවගේ යම් කොටසක සෞඛ්‍ය සහ ආරක්ෂාවට බරපතල අවදානමක් ඇති කිරීම. මේකෙන් අපිට පේනවා කොටින්ම සෞඛ්‍ය අංශයේ වෛද්‍යවරුන්, හෙදියන් හෙද සහායක සේවා පවා ත්‍රස්ත පනතට යටපත් කරලා බිය ගන්වා වෘත්තීය අයිතිවාසිකම් මැඩ පවත්වා ඔවුන් තාඩනයට, පීඩනයට ලක් කර ත්‍රස්තවාදීන් සේ සලකල කටයුතු කරන්න ගන්න අවස්ථාවක් බව. ඒ නිසා අපිට පේනවා රජය කටයුතු කරමින් ඉන්නේ වෘත්තිය අයිතිවාසිකම් වෘත්තිය අරගලවලට විරුද්ධවයි.

අපි කියන්නේ නැහැ. සෑම වෘත්තීය අරගලයක්ම සාධාරණයි කියලා. අසාධාරණ වෘත්තිය සමිති මැදිහත්වීම අපි ඕනතරම් දැකල තියෙනවා. හැබැයි ඒ වුණාට රජය පවතින නීති රාමුවෙන් පිට ගිහින් ත්‍රස්ත විරෝධී පනත භාවිතා කරලා වෘත්තිය අරගල මර්දනය කරන්න කටයුතු කරනවා නම් ඒ හරහා රටේ ප්‍රජාතන්ත්‍රවාදය මානව හිමිකම් ඇතුළු සියලුම ජන අයිතීන් යටපත් කරලා රජය ඉදිරියේදී තමන්ගේ පාලනය සිදු කරන්න කටයුතු කරන්නේ කියන එක පැහැදිලියි. ඒ වගේම ඊයේ පෙරේදා අපි දැක්කා හරියට ත්‍රස්තවාදයට විරුද්ධව කටයුතු කරන්න ඕන අවස්ථාවන් රජය කටයුතු කරන්නේ ඒවා මග හැරලා. අපි දන්නවා පාස්කු ප්‍රහාරය තවමත් මහ මොළකරුවන් හොයාගන්න බැරි වුණා. මේ සම්බන්ධව දිගින් දිගටම කතා කළා. මේ සිද්ධියේ බොහෝ බරපතළ කාර්යභාරයක් ඉෂ්ට කරපු සාරා ජෙස්මින් කියන කාන්තාවගේ මළ සිරුරක් කොහෙන්වත් හම්බවුණේ නැහැ. හඳුනා නොගත් මළසිරුරක් සයින්දමරුදු ප්‍රහාරය දී හමු වුණේ නැහැ. මළ සිරුරු විනාශ වෙන්න තරම් බෝම්බයක් එතන පත් වුනෙත් නැහැ. මළ සිරුරු සියල්ල හඳුනා ගන්න පුළුවන් වුණා.

එහිදී වසර දෙකකට වැඩි කාලයක් ගත වුණාට පස්සෙ දැන් කියනවා සාරා ජෙස්මින්ගේ ඩී.එන්.ඒ තුන්වන පරීක්ෂණ මියගියා කියලා. එහෙම මළසිරුරක් වත් තිබුනේ නැහැ හඳුනා නොගත්තු කවුරුත් හිටියෙත් නැහැ. එහෙම නම් කවුද මේ පාස්කු ප්‍රහාරය යටපත් කරන්නේ කියන එක පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් තියෙනවා. අපි රජයට මේ සම්බන්ධයෙන් විනිවිද භාවයෙන් කටයුතු කරන්න කියලා කියනවා. එයට සම්බන්ධ අය යටපත් කරන්න කටයුතු කරනවා වෙනුවට මහ මොළකරුවන් කවුද කියන එක හොයන්න කටයුතු කළ යුතුයි.

පාස්කු ප්‍රහාරය කාගේ වුවමනාවටද සිදුවුණේ එය සැලසුම් කළේ කාට බලය ගන්න ද කියන එක අපි දන්නවා. ජනාධිපතිතුමා එදා හිටියේ අගමැතිවරයා විදිහට. ඔහුට ආරක්ෂාව සම්බන්ධව බලයක් නැහැ කියලා අපි දන්නවා හැබැයි දැන් ජනාධිපතිවරයාගේ යුතුකමක් තියෙනවා පාස්කු ප්‍රහාරය සැබෑ මහ මොළකරුවන් හඳුනාගැනීම. ඒ නිසා මේවා යටපත් කරන්න ඉඩ තියන්නේ නැතුව පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් සොයා ගැනීමට කටයුතු කළ යුතුයි. එයයි මියගිය සහ ආබාධිත අයගේ බලාපොරොත්තුව. එය කාලයේ වැලිතලාවට යට වෙලා යන්න ඉඩ තියෙනවා එම නිසා මේ ආකාරයට පරීක්ෂණ සිදු වෙනවා නම් තුන්වන ඩී එන් ඒ පරීක්ෂණයෙන් සාරා ජෙස්මින් මියගිය කියනවා නම් එහෙම වෙන්න විදිහක් නැහැ. ඒ නිසා රජයට කියනවා මේවා යටපත් කරන්න කටයුතු කරන්නේ නැතිව රටේ ජනතාවට සාධාරණයක් ඉෂ්ට වෙන්න පරීක්ෂණ පැහැදිලිව කරන්න.

ඒ වගේම මේ දවස් වල බිත්තර කතාවක් ලොකුවට යනවා අපේ රට බිත්තර වලින් ස්වයංපෝෂිත රටක්. කුරුණෑගල දිස්ත්‍රික්කයේ බිංගිරිය, කුලියාපිටිය, පඬුවස්නුවර, හෙට්ටිපොළ යන ප්‍රදේශ විශාල වශයෙන් බිත්තර ගොවිපළවල් කරපු ජීවිකාව ගෙනියපු පිරිසක් හිටියා අද එයින් භාගෙට භාගයක් එම කර්මාන්තයෙන් ඉවත්වෙලා. එය මුකුත් නිසා නෙමෙයි මේ රජය ගත්ත වැරදි තීන්දු තීරණ නිසා. දැන් බිත්තර හිඟයක් තියෙනවා නමුත් කර්මාන්තය නැවත නඟා සිටුවීමයි වැදගත් වන්නේ.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment