සෞඛ්‍ය වර්ජනයෙන් රෝහල් අඩපණයි – අද සරසවි ඇදුරෝ වර්ජනයේ

135

ජීවත්වීමට හැකි වැටුපක් ලබාගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන සෞඛ්‍ය සේවකයන් ඊයේ (08 දා) ආරම්භ කළ එක්දින වැඩ වර්ජනය හේතුවෙන් රෝහල් රැසකම සෞඛ්‍ය සේවාවන්ට දැඩි බාධා එල්ල වී තිබිණි. මාර්තු 15 වැනිදා රාජ්‍ය, අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති 40 කට වැඩි පිරිසක් වැඩවර්ජනයේ නිරතවීමට නියමිත බව ද සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා කීය.

වැඩවර්ජනය හේතුවෙන් බාහිර රෝගී අංශවල ඖෂධ නිකුත් කිරීම, රසායනාගාර පරීක්ෂණ, විකිරණ පරීක්ෂණවලට දැඩි බාධා එල්ල වී තිබූ බව ද කුමුදේශ් මහතා පැවසීය.

වැඩවර්ජිත පිරිසගේ ඉල්ලීම් අතර වැඩි කළ බැංකු පොළිය සහ අත්තනෝමතික බදු අහෝසි කිරීම, සෞඛ්‍ය සේවාවේ සියයට 15 ක දීමනා කප්පාදුව අත්හිටුවීම, රුපියල් විසිදහසක ජීවන වියදම් දීමනාවක් ලබාගැනීම, ඖෂධ ප්‍රතික්‍රීයක ඇතුළු සෞඛ්‍ය සැපයුම් අඛණ්ඩව ලබාගැනීම, අත්‍යවශ්‍ය සේවා ගැසට්ටුව සහ වෘත්තීය සමිති අධ්‍යක්ෂ කාර්යාලය හරහා සිදුකරනු ලබන මර්දන සහ කුමන්ත්‍රණ නතර කර ගැනීම පවතින බව ද කුමුදේශ් මහතා කීය.

අද (09 දා) විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින් ද මාර්තු 13 තෙල්, වරාය, විදුලිය වැඩවර්ජනයක් ද, මාර්තු 15 වැනිදා සියලු වෘත්තීය සමිති එක්ව වැඩවර්ජනයක් සිදුකිරීමට නියමිත බව ද කුමුදේශ් මහතා පැවසීය.

ඊයේ (08 දා) වැඩවර්ජනය සඳහා මාතෘ, ළමා, පිළිකා රෝහල් සහ ජාතික ලේ බැංකුව යන ආයතනවල සේවකයෝ එක්නොවූහ.
චමින්ද සිල්වා බදුල්ල – එච්. එම්. සමරකෝන් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment