සෞඛ්‍ය වර්ජනයේ ඉල්ලීම් සාධාරණද?

200

ආණ්ඩුවත් – වෘත්තීය සමිතිත් කඹ අදිද්දී ජනතාව අමාරුවේ

රජයේ රෝහලක වෛද්‍යවරයකු ලෙස සේවය කිරීමට පත්වීම් ලද දින සිට එම වෛද්‍යවරයාට කිසියම් හෝ වෘත්තීය සමිතියක සාමාජිකයෙක් වීමට සිදුවේ. එසේම හෙද හෙදියන්, තාක්ෂණවේදීන්, සෞඛ්‍ය සහායකයන් දක්වා සියලූම වෘත්තීන් සඳහා පත්වීම් ලද දින සිට ඔවුනට ද කුමන හෝ වෘත්තීය සමිතියක සාමාජිකයෙක් වීම අනිවාර්ය වේ. එතැන් පටන් ඔවුන් කටයුතු කරන්නේ අදාළ වෘත්තීය සමිතිය ලබාදෙන උපදෙස් අනූවය.

තම වෘත්තීය අයිතිවාසිකම් ලබාගැනීම වෙනුවෙන් සහ ඒවා රැකගැනීම වෙනුවෙන් වෘත්තීය සමිතියක, සාමාජිකයකු වීම සහ තම අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට වෘත්තීය කි‍්‍රයාමාර්ගවල නිරතවීම අප කොයි කාගේත් මූලික අයිතිවාසිකමකි.

නමුත් එම වෘත්තීය කි‍්‍රයාමාර්ග හමුවේ ප‍්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණෙන රෝගීන් දැඩිසේ පීඩාවට පත්වේ නම් ඒ සම්බන්ධව ද සානුකම්පිතව සලකා බැලිය යුතුය. එය වෘත්තීය සමිති මෙන්ම මහජන ඡුන්දයෙන් පත්වූ රජයක ද වගකීමකි.

මේ වනවිට සිය ඉල්ලීම් 07ක් මුල්කරගෙන හෙද නිලධාරීන් ඇතුළු පරිපූරක සෞඛ්‍ය සේවකයන් ඉකුත් 07 වැනිදා සිට වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත.

මෙම වැඩ වර්ජනය අත්හිටුවමින් ඉකුත් 10 වැනිදා කොළඹ දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක් නිකුත් කර තිබුණත් ඊට පසු දින හෙවත් 11 වැනිදා ද වර්ජනය කි‍්‍රයාත්මකව පැවතුණි. මේ වනවිට අධිකරණ නියෝගයට අනුව වර්ජනය නතර කර තිබුණහොත් එය රෝගීන්ට යම් සහනයක් වනු ඇත.

වැඩ වර්ජනය කි‍්‍රයාත්මක කරන රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සහ සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමය තම ඉල්ලීම් 07 සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත දැනට මාස කිහිපයකට පෙර ලිඛිතව යවා තිබිණි.

පළමු ඉල්ලීම

2021 ජූලි මස 05 වැනිදා අමාත්‍ය මණ්ඩලය අනුමත කළ මාණ්ඩලික හිමිකම තහවුරු කිරීමට අදාළව, තනතුරු නම් කරන ලද චක‍්‍රලේඛය නිකුත් නොවීම, වසර 12න් පළමු පන්තිය ලබන ශ්‍රේණි උසස්වීම් ක‍්‍රමයට අදාළව පරිපූරක වෛද්‍ය හා අතුරු වෛද්‍ය වෘත්තීන්ට අදාළව චක‍්‍රලේඛ නිකුත් කිරීමට වන ප‍්‍රමාදය, විෂමතාව ඉවත් වන පරිදි 2010.11.01 දින දක්වා අදාළ තීරණය පෙරදාතම කිරීම වෙනුවෙන් නැවත අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගැනීම.

දෙවැනි ඉල්ලීම

ගුරු වැටුප් විෂමතාවය පමණක් ඉවත් කිරීම හේතුවෙන් ඇතිවූ සමාන්තර වැටුප් විෂමතාවය ඉවත් කිරීම, ශී‍්‍ර ලංකා සුදුසුකම් රාමුව උල්ලංඝණය නොවන අයුරින් වැටුප් ප‍්‍රතිපත්තිය පවත්වා ගැනීම හා රනුක්ගේ වැටුප් කමිටු නිර්දේශ කි‍්‍රයාත්මක කිරීම.

තෙවැනි ඉල්ලීම

අතිකාල රේට් අගය නිර්ණයේදී සියලූ සෞඛ්‍ය වෘත්තීන් සඳහා මූලික වැටුපෙන් 1/80ක් ලෙස ගණනය කිරීම සහ වසර 21 කින් යාවත්කාලීන නොවූ ඇමතුම් හා නිදර්ශක දීමනාව ඊට අනුකූල වනසේ යාවත්කාලීන කිරීම

සිව්වැනි ඉල්ලීම

වෘත්තීයවේදී උපාධියට අදාළ නිවැරදි වැටුප් පරිමාණය ස්ථාපිත කිරීම සහ ගැළපෙන තනතුරු හෝ රැකියා අවස්ථා හිමිකර දීම.

පස්වැනි ඉල්ලීම

සියලූ සෞඛ්‍ය වෘත්තිකයන් නියෝජනය වන සෞඛ්‍ය පරිපාලන සේවය ස්ථාපිත කිරීම.

හයවැනි ඉල්ලීම

විශේෂ රාජකාරි දීමනාව රුපියල් 10,000ක් ලෙස ඉහළ දැමීම.

හත්වැනි ඉල්ලීම

සෞඛ්‍ය වෘත්තීයවේදී සේවාවන් සංවෘත සේවාවන් බවට පත් කිරීම.

මෙම ඉල්ලීම් සඳහා කිසිදු ප‍්‍රතිචාරයක් නොදැක්වීම මත ඉකුත් 07 වැනිදා පෙරවරු 7.00 සිට සිය සාමාජිකයන් වැඩ වර්ජනයක් ආරම්භ කළ බව එම වෘත්තීය සමිති පවසයි.

පිළිකා, ළමා, මාතෘ රෝහල්හි මෙම වැඩ වර්ජනය කි‍්‍රයාත්මක නොකළ අතර සෙසු රෝහල්හි වර්ජනය ආරම්භ විය.

වෛද්‍යවරු වැඩ වර්ජනයේ නිරත නොවන නිසා රෝගී පරීක්ෂාවන් සිදුවේ. නමුත් ඔවුන් නියම කරන පරීක්‍ෂණ සිදුකරන්නට හෝ ඖෂධ ලබාදෙන්නට අදාළ කාර්ය මණ්ඩලය නැත. එනිසා රෝගීන්ට සිදුව ඇත්තේ හිස් අතින් ගෙදර යන්නට හෝ පෞද්ගලික රෝහලක් වෙත ගොස් ප‍්‍රතිකාර ලබා ගන්නටය.

සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉකුත් 08 වැනිදා සෞඛ්‍ය වෘත්තීය සමිති සමග සාකච්ඡා පැවැත්වුවද ඇතැම් ඉල්ලීම් සඳහා ඇමැතිවරයා ලෙස තමාට කඩිනම් විසඳුම් ලබාදිය නොහැකි බව පැවසීය. ඒ සඳහා සති කිහිපයක් ගතවන බව කීවේය. ඒ අනුව එම සාකච්ඡා ද අසාර්ථක විය. සෞඛ්‍ය ඇමැතිවරයාට කඩිනමින් ලබාදිය නොහැකි විසඳුම් ජනාධිපතිවරයාට සිය විධායක බලතල පාවිච්චි කර ලබාදිය හැකි බව වෘත්තීය සමිති නායකයෝ පවසති. නමුත් ජනාධිපතිවරයා ඉකුත් 09දා අනුරාධපුරයේ පැවැති ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ රැලියේදී පැවසුයේ වර්ජනයේ නිරත වූවන් රජය ගැන නොව රෝගීන් ගැන සිතා සිය වෘත්තීය කි‍්‍රයාමාර්ග අත්හල යුතු බවය. ඉන් පෙනී යන්නේ ජනාධිපතිවරයා මෙම ඉල්ලීම් කෙරෙහි වැඩි අවධානයක් යොමුකර නැති බවකි. මේ අතර රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසන්නේ වැඩ වර්ජනයට එක්වී සිටින වෘත්තීය සමිති දැඩි මතවල නොසිට වර්ජනය අවසන් කළ යුතු බවය. එසේම සේවයට පැමිණෙන අයට බාධා නොකළ යුතු බවය. මෙවැනි ප‍්‍රකාශ හමුවේ අපට වැටහෙන්නේ මෙම වර්ජනය පසුපස කිසියම් දේශපාලන අරමුණක් ඇති බවය. එය ඉදිරි මැතිවරණ ඉලක්ක කරගෙන ද විය හැකිය. එහි ඇති විශේෂත්වයකුත් නැත. අද වෘත්තීය සමිති කි‍්‍රයාත්මක වන්නේ කිසියම් දේශපාන පක්ෂයක අරමුණුවලට අනුවය.

නමුත් එම දේශපාලන අරමුණු තුළින් ජනතාව දැඩි ලෙස අපහසුතාවට පත්වේ නම් ඒ සම්බන්ධව වෘත්තීය සමිති මෙන්ම රජය ද වැඩි අවධානයක් ඒ සඳහා යොමු කළ යුතුය.

අඛණ්ඩව දින 05ක් තිස්සේ පැවැති සෞඛ්‍ය වර්ජනය නිසා ලක්ෂ සංඛ්‍යාත රෝගීන් පිරිසක් මේ වනවිට දැඩි ලෙස පීඩාවට පත්ව සිටිති. ඔවුන් සියලූදෙනාම දිළිඳු සහ පහළ මධ්‍යම පන්තියේ ජනතාවය. රෝහල්හී ඖෂධ නිකුත් නොකරන නිසා එම ඖෂධ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ අලෙවිසැල් වෙතින් ලබාගැනීමට පහසුකම් ඇති බවට ඖෂධ නියාමන, නිෂ්පාදන සහ ආනයන රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා වර්ජනය හමුවේ පීඩාවට පත්ව සිටින ජනතාවට විසඳුමක් ලෙස පැවසුවත් එය සැබෑ ලෙසම කි‍්‍රයාත්මක නොවේ. බොහෝ ප‍්‍රදේශවල ඇති ඔසුසැල් වල රජයේ රෝහල්හි බෙහෙත් තුණ්ඩුවලට ඖෂධ නිකුත් කර නැත.

අලූයම නිවසින් පිටත්ව රෝහලට පැමිණෙන අහිංසක රෝගී ජනතාව රෝහලෙන් නිසි ලෙස සේවාව ලබාගැනීමට නොහැකි වූ විට ඔවුන් පත්වන කායික සහ මානසික පීඩනයට විසඳුම් දෙන්නට කිසිවකුත් නැත. මේ වනවිට අංගොඩ පිහිටි මානසික රෝගී ප‍්‍රතිකාර ඒකකයෙන් රෝගීන් සිවුදෙනෙක් පැනගොස් ඇතැයි වාර්තා වේ. ඔවුන් බලාගන්නා සෞඛ්‍ය සේවකයන් වැඩ වර්ජනයේ නිරතව සිටීම ඊට හේතුව බව වෛද්‍ය අධිකාරිය පවසයි.

වර්ජනයේ නිරත වෘත්තීය සමිති ඊට පිළිතුරු ලෙස පවසන්නේ රෝගීන් පැනගියා නම් එහි ආරක්ෂක අංශ වගකිවයුතු බවය.

අවසානයේදී වැරදිකරුවන් වන්නේ එම මානසික රෝගීන්ය. ඔබ මානසික රෝගීන් බවට පත් වූයේ ඇයි? ප‍්‍රතිකාර සම්පූර්ණයෙන් ලබා අවසන් වන තෙක් නොසිට පිටව යෑම වරදක් ලෙසින් පවසා ඔවුන් පිට වරද තබා නිදහස් විය හැකිය, නමුත් එය සැබෑ විසඳුම නොවේ. මේ වනවිට රටේ ජනතාව සිටින්නේ දැඩි ලෙස මානසික පීඩාවකට ලක්වය. හාල්, සීනි, කිරිපිටි, ගෑස්, ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ සියල්ලක්ම මිල ඉහළ ගොසිනි. ඒ සඳහා රජය පවසන්නේ ඩොලර් අර්බුදය බවය.

ජනතාව ඒකරාශී වනවිට සෞඛ්‍ය අංශ පවසන්නේ කොවිඞ් රැල්ලක් ඇති විය හැකි බවය. නමුත් දේශපාලනඥයින් ජනතාව
රැස්කර ජනරැලි පවත්වන විට පවසන්නේ දැන් කොවිඞ් පාලනය කර ඇති බවය.

රසායනික පොහොර භාවිතය නවතා කාබනික පොහොර සඳහා යොමු වී කෘෂි අස්වැන්න අඩු වනවිට ඊට වන්දි ගෙවන බව කෘෂිකර්ම ඇමැතිවරයා පවසයි. නමුත් ඉන් සාමාන්‍ය ජනතාවට අත්වන සෙතක් නැත. ආහාර ද්‍රව්‍ය වෙළෙඳපොළේ අඩු වනවිට ඒවායේ මිල ද ඉහළ යන්නේ ඇමැතිවරුනට ද පාලනය කළ නොහැකි ලෙසය. ඒ තරමට වත්මන් ආණ්ඩුවට ජනතා ප‍්‍රශ්නවලට නිසි විසඳුම් දීමට නොහැකි වී ඇත.

ඒ නිසා සෞඛ්‍ය වර්ජනය ද දිගින් දිගටම දිග්ගස්සන්නේ නැතිව රජයත් වෘත්තීය සමිතිත් රෝගී ජනතාව දෙස බලා තීන්දු තීරණ ගනු ඇතැයි සිතීමත් සැක සහිතය.

ඇමැතිවරයාට විසඳිය නොහැකි ඉල්ලීම් ඉදිරිපත් කර අපට විසඳුම් ලැබුණේ නැතැයි කියා වෘත්තීය සමිති නායකයන් සතුටු වන්නට උත්සාහ කරනවා නම් එය කාලකණ්ණි චේතනාවකි. සෞඛ්‍ය ඇමැතිවරයා ද ජනාධිපතිවරයා වෙත ගැටලූ යොමු කර අවශ්‍ය නම් සිය ඇමැති ධුරයෙන් වුව ඉවත්වීමට සූදානම් යැයි පවසා ගැටලූවලින් පලායෑමට තැත් නොකළ යුතුය.

ජනාධිපතිවරයා දේශපාලන වේදිකා මත හිද රටේ ජනතාවගේ සංවේදී ප‍්‍රශ්නවලට දේශපාලන කෝණයෙන් බලා ප‍්‍රකාශ නිකුත් කිරීමට තරම් මට්ටමකට නොවැටිය යුතුය.

රෝහලේ නිසි සායන දිනට ප‍්‍රතිකාර ලබා ගැනීම සඳහා ජනතාව එන්නේ හිස් අතින් ගෙදර යෑමට නොවේ.

ඒ නිසා වෘත්තීය සමිති මෙන්ම රජය ද දෙපාර්ශ්වයටම එකඟ විය හැකි තැනකට පැමිණ කඩිනමින් මෙම ගැටලූ විසදා අඩපණව ඇති රෝහල් සේවාව වහාම සාමාන්‍ය තත්ත්වයට පත්කිරීමට පියවර ගත යුතුය.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment