සෞඛ්‍ය වෘත්තීන් 16ක් අද සිට සති 2ක් වර්ජනය අතහරී

106

ඉල්ලීම් 09ක් මුල්කරගෙන සෞඛ්‍ය වෘත්තීන් 17ක් විසින් ක‍්‍රියාත්මක කර ඇති දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩවර්ජනය රජයේ විකිරණ ශිල්පීන් හැර සෙසු වෘත්තීන් 16 විසින් අද (16දා) උදෑසන 08.00 සිට සති දෙකක් සඳහා තාවකාලිකව අත්හිටුවන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය පවසයි

ඊයේ (15දා) රැස්වූ සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ විධායක කමිටුව විසින් මෙම වර්ජනය අත්හිටුවීමේ තීරණය ගෙන තිබේ. සෞඛ්‍ය වර්ජනය දිග්ගැස්සීමට මුල්ව තිබූ සෞඛ්‍ය සේවාව තුළ මතුව ඇති වැටුප් විෂමතාව විසඳීමට අදාළ කැබිනට් පත‍්‍රිකාව ලබන සතියේදී කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවට සෞඛ්‍ය ඇමැතිවරයා විසින් ලබාදී ඇති පොරොන්දුව සැලකිල්ලට ගෙන වෘත්තීන් 16ක් වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව සම්මේලනය කියයි.

කෙසේ වුවද රජයේ රෝහල් විකිරණ ශිල්පීන් විසින් සිය සේවාවේ නොවිසඳී පවතින ඉල්ලීම් සඳහා විසඳුම් ලැබෙන තෙක් දිගටම වර්ජනයේ යෙදෙන බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් ධර්මකීර්ති ඈපා මහතා පැවසීය. සිය ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඊයේ සාකච්ඡුාවක් ලබා දෙන බවට සෞඛ්‍ය ඇමැතිවරයා පොරොන්දු වී තිබුණ ද එය ඉටු නොකිරීම නිසා සිය වෘත්තිකයන් දැඩි නොසන්සුන්තාවට පත්ව සිටින බව ද ඔහු සඳහන් කළේය.

සෞඛ්‍ය වෘත්තීන් 18ක් විසින් ඉකුත් 07 වැනිදා ක‍්‍රියාත්මක කරන ලද වැඩවර්ජනයට හෙද, පරිපූරක වෛද්‍ය සේවා හා අතුරු වෛද්‍ය සේවා වෘත්තිකයන් සහභාගී වූ අතර අධිකරණ වාරණ නියෝගයක් නිකුත් වීම හේතුවෙන් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ඉකුත් සෙනසුරාදා (12දා) සිට වර්ජනයෙන් ඉවත් විය. සිය ඉල්ලීම් විසඳීම සඳහා ඉදිරි සති දෙක තුළ ජනාධිපතිවරයාගේ මැදිහත්වීම බලාපොරොත්තු වන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පැවසීය. මේ අතර සෞඛ්‍ය වර්ජනය හේතුවෙන් ඊයේ (15දා) 09 වැනි දිනටත් රජයේ රෝහල්වල සේවා කටයුතු අඩාල වී තිබිණි.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment