සෞඛ්‍ය සේවාවේ තත්වය අතිශය බරපතලයි – සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ්

297

රටේ වර්තමානයේ ඇති වී තිබෙන ඖෂධ අර්බුදය හා ඉන් ඇතිවිය හැකි තත්ත්වයන් පිළිබඳව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා සමග “දිවයින” කළ සාකච්ඡාවකි.

 ප්‍රශ්නය – රටේ ආර්ථික අර්බුදයට සමගාමීව දැවැන්ත ඖෂධ හිඟයක් ඇති වී තිබෙන බව කියනවා. ඇත්තටම ඖෂධ අර්බුදයේ වර්තමාන තත්ත්වය මොකක්ද?

 පිළිතුර – ඖෂධ අර්බුදය ආර්ථිකයේ අර්බුදයේ කොටසක් විදියට දැක්කට සෞඛ්‍ය අමාත්‍යාංශයේ කළමනාකරණයේ අර්බුදයක් බරපතළ විදියට තිබුණා. විශේෂයෙන්ම මෙම ආර්ථික අර්බුදය සෞඛ්‍ය සේවාවට හරියට දැනෙන්න තිබුණේ ලබන දෙසැම්බර්. මොකද සෞඛ්‍ය අමාත්‍යාංශය දිගින් දිගටම මේ සම්බන්ධයෙන් කටයුතු කරපු ක්‍රමවේදය, පරිපාලනය තුළ ගන්න තීරණ සෞඛ්‍ය ලේකම්වරයාගේ පාලන ක්‍රමය සෞඛ්‍ය, අමාත්‍යාංශය ජනාධිපතිතුමත් එක්ක වැඩ කරපු විදිය මේ සියලු දේවල් මූලික හේතුවක් වුණා මේ සෞඛ්‍ය අමාත්‍යාංශය පිරිහීමට ලක් වන්නට. විශේෂයෙන් අපි දකිනවා මේ මොහොතේ සෞඛ්‍ය සේවාවේ තියෙන තත්ත්වයට සමගාමීව සෝමාලියාවේ, ඉතියෝපියාවේ වගේ සාගතයෙන් පෙළුණු රටවල්වල තිබුණු තත්ත්වයන්. ඒ වගේම දකුණු කොරියාව වගේ රටවල්වලට ආර්ථික සම්බාධක දැම්මත් සෞඛ්‍ය සේවාවට මේ වගේ තත්ත්වයක් උදා වුණේ නැහැ. යුක්රේනය වගේ රටවල් යුද්ධවලට මැදි වුණා. එහෙත් සෞඛය සේවාවට මේ වගේ තත්ත්වයක් උදා වුණේ නෑ. මේක සංඛ්‍යා ලේඛනවලින් කියනවා නම් මිලියන 34ක් මේ වෙනකොට සැපයුම් කරුවන්ට ගෙවන්න තියෙනවා. සෞඛ්‍ය ලේකම් මේ වෙනකම් මේ පිළිබඳ සාකච්ඡාවක් කරලා නැහැ. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂට අපි මේ තත්ත්වය පාලනය කිරීම පිළිබඳව ප්‍රපෝසල්ස් එක්ක ලිපි සීයකට වඩා යැව්වා. එක සාකච්ඡාවක්වත් හම්බ වුණේ නැහැ. ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා කතාකළේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවන්ටයි, පාදෙනිය මහත්තයත් එක්ක විතරයි. එහෙම කරලා වැරදි ක්‍රියාමාර්ගයි ක්‍රියාත්මක කළේ. සෞඛ්‍ය සේවාවේ ඇමතිවරු විදියට පාලනය කරන්න දෙයක් තිබුණේ නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශය පාලනය වුණේ සෞඛ්‍ය ලේකම්වරයාගේ සහ ජනාධිපතිවරයාගේ යුද හමුදාවට සම්බන්ධයකුත් ඊට අමතරව ශවේන්ද්‍ර සිල්වා මහත්තයා දාලා තිබුණු කාර්ය සාධක බලකායෙනුත් මේ තීරණ ඔක්කොම සෞඛ්‍යයට පිටින් සෞඛ්‍ය සේවාව කළමනාකරණය කරන්න. හිටපු දක්‍ෂ නිලධාරීන් සෞඛ්‍ය සේවාවෙන් ඉවත්කළා. උසස්වීම් දීලා හරි ඉවත් කළා. මේක තමයි මේ දුර්වලතාවයේ හේතුව. මොකද ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ පාලන කාලය තුළ පත්කරපු සෞඛ්‍ය ලේකම්වරයත් මේ සෞඛ්‍ය සේවාවේ සාමූහික තීරණවලට ඉඩ දුන්නේ නැහැ. ඊට පසු රජයේ වෛi නිලධාරී සංගමය නියෝජනය කරන පාදෙනිය මහත්මයා මේ සාමූහික තීරණවලට එකඟ වුණේ නැහැ. දැන් මේ වෙනකොට මිලියන 34ක ණයක් තියෙනවා. අත්‍යවශ්‍ය සේවා සැපයුම්කරුවන්ට මිලියන 10ක් විතර තියෙනවා. සාමාන්‍ය ආහාර සැපයීම, සනීපාරක්‍ෂක කටයුතු වගේ දේවල්වලට. මේ ඔක්කොම මිලියන 40ට වැඩි ප්‍රමාණයක් ණය තියෙනවා. මේ ණය නොගෙවීම නිසා බරපතළ විදියට සැපයුම් පද්ධතිය අඩාළ වෙලා තියෙනවා. රසායනාගාර සේවාව 40%කින් අඩුවෙලා තියෙනවා. ICUවලට තියෙන (බයෝගෑස් ඇනලයිස්) වායු විශ්ලේෂක යන්ත්‍ර නඩත්තු කරගන්න බැරිවෙලා තියෙනව. ප්‍රතික්‍රීයක ටික ගන්න බැරිවෙලා තියෙනවා. බහුල වශයෙන් පාවිච්චිවන ඖෂධ 50%ක් විතර රෝහල්වලට නැහැ. අත්‍යවශ්‍ය ඖෂධ ගණනාවක් රෝහල්වල නැහැ. මේ තත්ත්වය තුළ ICU ටික පාලනය කරන්න බැරි වෙලා. සාමාන්‍යයෙන් සැපයුම් 2500කට අධිකව අපට අවශ්‍ය වෙනවා. සැපයුම්වලින් 2200ක් විතර අපිට නැහැ. ඕක තමයි සෞඛ්‍ය සේවාවේ ඇත්ත තත්ත්වය.

 ප්‍රශ්නය – ජල භීතිකා එන්නත්, සර්ප දෂ්ටක සම්බන්ධ එන්නත්, හෘද රෝග සම්බන්ධ ඖෂධ වගේ අත්‍යවශ්‍ය ඖෂධ දැඩි හිඟයක් තියෙනවා. මේ තත්ත්වය අති භයානකයි නේද?

 පිළිතුර – ඔව් තත්ත්වය අති භයානකයි. තමුත් සෞඛ්‍ය සේවාව පාලනය කරන අය තාම මේ ගැන කල්පනා කරන බවක් පේන්නැහැ. උදාහරණයක් වශයෙන් හෘද රෝග සඳහා අවශ්‍ය ඖෂධ, ජලභීතිකා එන්නත ඔය නෑ කියන ඖෂධ ලංකාවේ හදලා දෙන්න සමහර සමාගම් උත්සාහ කරල තියෙනවා. මේ ඖෂධ හදන්න පුළුවන් කියන සමාගම් ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ඉල්ලලා තියෙනවා. අවුරුදු තුනක් තිස්සේ දීලා නැහැ. සෞඛ්‍ය සේවාවේ මේ ඇතිවෙලා තියෙන තත්ත්වයට 50%ක් ඖෂධ නියාමන අධිකාරිය වගකියන්න ඕනේ. එකක් මේ රටේ ඖෂධ නිෂ්පාදනය කරන්න පුලුවන් සමාගම්වලට අනුමැතිය දුන්නේ නැහැ. දෙවැනි එක කලට වෙලාවට ලියාපදිංචි කළේ නැහැ. කලට වෙලාවට ඒවා පාලනය කළේ නැහැ. අපි පැහැදිලිව දන්නවා ඖෂධ නියාමන අධිකාරිය අද කරන්නේ ඖෂධ නියාමනය කරන එකට වඩා මේක විවිධ මාෆියාකාරයන්ට ඕන විදියට හදලා දෙන එක. ඒක ඉතාම පැහැදිලියි. ඖෂධ නියාමන අධිකාරිය වෙනස් කරන්න බැරිවෙලා තියෙනවා කිසිම ඇමැතිවරයකුට කිසිම නිලධාරියෙකුට. අවසාන වශයෙන් හමුදාවේ නිලධාරියෙකු මේකට පත් කරලා තියෙනවා. තීරණ ගැනීමට වඩා තීරණ නොගැනීම තමයි ඔවුන්ගේ කාර්යභාරය වෙලා තියෙන්නේ. සෞඛ්‍ය ලේකම්වරයාත් එහෙමයි. ඖෂධ නියාමන අධිකාරියත් එහෙමයි. අපේ රට මේ තත්ත්වයට වැටිලා තියෙන්නේ ආර්ථික ප්‍රශ්නයකට වඩා කළමනාකරණ ප්‍රශ්නයක් තියෙන නිසා. විශේෂයෙන්ම දේශපාලනඥයකුටත් එහා පල්ලෙහයින් ඉන්න කළමනාකරුවන්, ලේකම්වරු, අධිකාරිවරු, සභාපතිවරු හින්දා ඊ ී ක්‍ එකේ ලොකු පුටුවල ඉන්න නිලධාරීන් හරියට කලට වෙලාවට තීරණ ගත්ත නම් මේ රට මෙවැනි අර්බුදයට යන්නේ නැහැ. උදාහරණයකට ලෝකේ තියෙනවා ඒවගේ නිලධාරින්ට සුපිරි වරප්‍රසාද දෙනකොට අපි බලාපොරොත්තු වෙනවා ඔවුන්ගේ වගවීමක්. එතකොට තීරණ නොගෙන සිටීම නිසා ඇති වන විනාශය සංගණනය කරන්න ඕනේ. සමහර රටවල් තියෙනවා හරියට කළමනාකරණය නොකරන කොට තීරණ ගැනීම සඳහා නිලධාරියෙක් පත් කරනවා. ඔහුට අදාළ තීරණ ප්‍රමාද වුණොත් නැවත ඔවුන්ගෙන් අය කරනවා. අපේ මේ නිලධාරීන් කරලා තියෙන වැඩවල හැටියට ඔවුන්ව අත්අඩංගුවට ගන්න ඕනේ. ඔවුන්ගේ වගකීම ඉටුකරලා නැහැ. පඩි ගෙවලා තියෙන්නේ තමන්ගේ බදු මුදලින්. මේක ඉතාම බරපතළයි. මේක දේශපාලන ප්‍රශ්නෙට වඩා බරපතළයි. මේ රට පාලනය කරන්න ඉන්න නිලධාරීන් තමන්ගේ වගකීම් ඉෂ්ට කරන්නෙ නැතුව ඉන්නවා. සමහර අය කොමිස් ගන්නවා. අපිට වාර්තාවෙනවා ඖෂධ සමාගම් දෙකක් ආවහම ඖෂධ නිෂ්පාදනයට එක සමාගමක් විසින් අනෙක් සමාගම ලියාපදිංචි නොකර හිඳීමට අර ලියාපදිංචිවෙලා ඉන්න සමාගමෙන් කොමිස් ගන්නවා. වැඩක් කරලා නෙවෙයි ඔවුන් කොමිස් ගන්නේ වැඩ නොකර ඉඳලා. ඒ නිසා ඉතා පැහැදිලියි මේ රටේ ඖෂධ ප්‍රශ්නයට M M R Aආයතනය 50%ක් වගකියන්න ඔනේ. අපි කියනවා මේ වෙලාවේ මේ රටේ සමාගම් කියනවා සියලු දේවල් හදලා තමන්ට ඖෂධ නිෂ්පාදනයට අවසර දෙන්න කියලා. අමු ද්‍රව්‍ය සපයනවා නම් නිකම් හරි කෙටි කාලයක් තුළ නිෂ්පාදනය කරලා දෙන්නම් කියලා ඉදිරිපත් වන සමාගම් තියනවා. නමුත් ඖෂධ නියාමන අධිකාරියට වගේවගක් නැහැ. පාලනය කරන්න ඉන්න මේ රටේ ජනාධිපතිවරයට කොන්දකුත් ඇත්තෙ නැහැ. මේ රටේ සෞඛ්‍ය ඇමැතිවරයට කොන්දකුත් ඇත්තේ නැහැ. ඒ නිසා ඖෂධ නියාමන අධිකාරිය නිලධාරීවාදය ලංකාවේ සෞඛ්‍ය ප්‍රශ්නය මෙච්චර දුරට ගෙනියලත් තවමත් විසඳුමක් නෑ.

 ප්‍රශ්නය – ඖෂධ හිඟය මකාගන්න සමාගම් බ්ලැක් ලිස්ට් වීම වළක්වා ගන්න අපිට මේ මොහොතේ කඩිනමින් කරන්න පුළුවන් දේ කුමක්ද?

 පිළිතුර – සල්ලි අච්චු ගහලාහරි නැත්නම් කොහෙන්හරි සොෆ්ට් ලෝන් එකක් අරන්හරි මේ සමාගම්වලට ගෙවිය යුතුයි. ණයෙන් 50%ක්වත් ගෙවලා ඒ අයට වගකිව යුතු නිලධාරී යාන්ත්‍රණයක් ඇතුලේ ඉල්ලීමක් කරන්න ඕනේ මේකේ වගකීම ගන්නවා කියලා. එහෙම නැතුව සෞඛ්‍ය ලේකම්වරයා දැන් එක්කෙනාවගේ හැංගිලා හිටියොත් බැහැ. මොකද සෞඛ්‍ය අමාත්‍යාංශය වගකීම ගන්න ඕනේ. සෞඛ්‍ය අමාත්‍යාංශය කතා කරන්න ඕනේ. සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ වෙනුවෙන් පෙනී ඉන්න ඕනේ. දැන් වෙලා තියෙන්නේ ඒක නෙවෙයි. සෞඛ්‍ය ලේකම් කාමරයට වෙලා දොර වහගෙන. ඒ කාමරයට වෙලා ඉන්න සෞඛ්‍ය ලේකම්ට වඩා විශ්වාසවන්තයෙක් ජනාධිපතිට නෑ. ජනාධිපතිතුමාට තියෙන්නේ සෞඛ්‍ය පාලනය කරන්න බැරිද පුළුවන්ද කියන එකට වඩා හමුදාවේ තමන් එක්ක හිතෛෂී කියන කියන අය දාලා තියෙනවා. ඒක තමයි මේ රට ඇනගන්න ප්‍රධාන හේතුව. ඒ නිසා මේකෙන් වළක්වගන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මේ ණය ගෙවලා සමාගම්වලට විශ්වාසයක් ඇති කරන්න ඕනේ. දෙවන එක තමයි මේ රටේ ඖෂධ නිෂ්පාදනය කරන්න පුළුවන් සමාගම්වලට සුමානයක් ඇතුළත ඒ ලියාපදිංචිය දෙන්න කියලා ඖෂධ නියාමන අධිකාරියට කියන්න ඕනේ. එහෙම කරන් නැති නම් ඒ මිනිස්සු හිරේ දාන්න ඕනේ. ඒ කියන්නේ මේ රටේ මිනිස්සුත් එක්ක සෙල්ලම් කරන්නේ. එතකොට එහෙම නිෂ්පාදනය කළොත් අපිට ඩොලර් අවශ්‍ය වෙන්නේ නැහැ. අපට නැව් ගාස්තු යන්නේ නැහැ. දැන් මේ වෙලාවේ නිමි ඖෂධයක් හෝ වෙනත් ඖෂධයක් ගෙන්නකොට නැව් ගාස්තු විතරක් දහගුණයකින් වැඩි වෙනවා. ඖෂධ රටට ගේනකොට අපි ගෙවන්නේ ඩොලර්වලින්. ඒ කියන්නේ ඖෂධ නිෂ්පාදනයට විතරක් නෙවෙයි ඖෂධ නිෂ්පාදනය කරන මානව සම්පතටත් අපි ඩොලර්වලින් ගෙවනවා. අපේ රටේ මේ ඖෂධය හදනවා නම් මේ රටේ මිනිසුන්ට අපි රුපියල්වලින් ගෙවන්නේ. ඒ ගෙවීම නිසා මේ රට ඇතුලේ එකතු වෙනවා සහ මේ රටේ මිනිසුන්ට මුදල් ඉතුරු වෙනවා. මෙහෙම වෙලත් ඖෂධ නියාමන කමිටුව තීරණ ගන්නැත්තම් මේ ඉන්න ප්‍රධානීන් හිරේ යන්න ඕනේ. එහෙම නැත්නම් මේක ගොඩගන්න බැහැ. දැනට ඖෂධ නියාමන අධිකාරියයි සෞඛ්‍ය අමාත්‍යාංශයයි එකතුවෙලා කරන තාක්‍ෂණික ඇගයීම්වලින් බරපතළ හොරකම් සිද්ධ වෙනවා. තාක්‍ෂණික වංචාවන් වෙනව.

 සෞඛ්‍ය ලේකම්ට අදාළ හිතවත්තු විතරයි මේ තාක්‍ෂණික ඇගයීම් කමිටුවල ඉන්නේ. පහුගිය අවුරුද්දේ මේ අර්බුදය පටන්ගන්න කොට ජාතික රොහලේ විතරක් ප්‍රතික්‍රීයකයක මිල තුන්ගුණයකින් වැඩි වෙලා තියෙනවා. පරීක්‍ෂණ ප්‍රමාණය අඩුයි. මේකට හේතුව තමයි අපි යුරෝපීය බ්‍රෑන්ඩඩ්, යුරෝපීය රටවල්වල තියෙන අධික මිල ගණන් තියෙන ප්‍රතික්‍රීයක විතරක් මිලදී ගන්නවා. ඉන්දියාවෙන් චීනෙන් ලාබෙට ඊට වඩා දහ ගුණයෙන් අඩුවට ප්‍රතික්‍රීයක ගේනන පුළුවන්. අද ඖෂධ සම්බන්ධයෙන් යම්කිසි හෝ සහනයක් ලැබෙන්නේ ඉන්දියාවෙන් ඖෂධ ගේන නිසා. සෞඛ්‍ය ලේකම්වරුන්ගෙන් සෞඛ්‍ය ඇමතිවරුන්ගෙන් ජනාධිපතිවරයාගෙන් කිසිම කෙනෙක් ඒවා අහලා නැහැ. අඩුගානේ රෝහල් අධ්‍යක්‍ෂකවරු කියන්න ඕනේ සුගර් එක පරීක්‍ෂණයක් සඳහා වැය කරන්න පුළුවන් මෙච්චර මුදලක් විතරයි. ඒකට ආයතනය සමහර වෙලාවට මූණට මූණ ඉස්සරහ පස්සේ මැෂින් දෙකක් තියෙනවා එකම සමාගමේ. හැබැයි ගණන් දෙකක් පරීක්‍ෂණයට අය කරනවා. සමහර වෙලාවට එකම ආයතනයේ එක යන්ත්‍රයක රු 2.50යි යන්නේ. තව යන්ත්‍රයකට දැම්මම 38ක් යනවා. මේවා මාෆියාවල්. සමහර වෙලාවට මේවා ගිවිසුම් ගත කරලා තියෙනවා. වහාම මේ රටේ ඖෂධ නිෂ්පාදනය කරන්න පුළුවන් කියන කණ්ඩායම් සතියක් දෙකක් ඇතුළත ලබා දෙන්න ඕනේ. වහාම මේ රටට යුරෝපයෙන් බ්‍රෑන්ඩඩ් කියන සංකල්පයෙන් ඉවත්වී ඉන්දියාව වගේ චීනය වගේ රටවල්වල ක්‍රෙඩිට් ලයින් එකක් ගන්න පුළුවන් ලාබෙට කරන්න පුළුවන් ක්‍රමවේදයක් හදන්න ඕනේ. මේ ක්‍රමවේදය ඇතුලේ සෞඛ්‍ය සේවාවේ කළමනාකරණය මීට වඩා ප්‍රායෝගික යථාර්ථවාදී එකක් බවට පරිවර්තනයක් කරන්න පුළුවන්.

 ප්‍රශ්නය – නව අගමැතිවරයාගේ සෞඛ්‍ය දැක්ම සහ වැඩපිළිවෙළ ගැන ඔබේ අදහස කුමක්ද?

 පිළිතුර – අපි තාම දැක්කේ නෑ මේ සම්බන්ධයෙන් නිසි වැඩපිළිවෙළක්. අපි මේක විශ්වාස කරන්නේ කළමනාකරණ ගැටලුවක් විදියට. ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමා මේ රට වළකට තල්ලුකළේ එයාගේ පාලන නොහැකියාව නිසා. තම අගමැතිවරයාට ආර්ථික පරිපාලන හැකියාවක් තිබුණත් ඔහු පත්වෙලා ඉන්නේ ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා එක්ක හරි රාජපක්‍ෂවරුන් එක්ක හරි ඩීල් එකක් ඇතුලේ. අපිට පේනවා මේ පත්කරන අමාත්‍යවරුන්ගේ ස්වභාවය දැක්කහම එතන රනිල් වික්‍රමසිංහ කෙනෙක් ඉන්නවට වඩා එතන පරණ ආණ්ඩුවම තියෙන බවක්. අපි තාම අගමැතිවරයාත් එක්ක කතා කරලා නෑ සෞඛ්‍ය සේවාවේ තියෙන අර්බුද ගැන. රුවන් විජේවර්ධන මහත්මයා පත් කරලා තිබුණා. මෙච්චරකල් ඔහු අපිත් එක්ක මේ ප්‍රශ්න ගැන ලොකු සංවාදයට නියැලිලා නැහැ. සෞඛ්‍ය සේවාවේ අර්බුදය ගැන දැනගන්න නම් රනිල් වික්‍රමසිංහ මහත්තයා හරි අගමැතිවරයා හරි පත් කරන සෞඛ්‍ය ඇමතිවරයා හරි පල්ලෙහට බහින්න වෙනවා. දැන් පත් කරලා තියෙනවා කෙහෙලිය රඹුක්වැල්ල ඇමැතිවරයා. වෙනසක් නැහැ. “නටපු නැටුමකුත් නැහැ බෙරයේ පලුවකුත් නැහැ.” මහින්ද රාජපක්‍ෂ ගෙදර

 ගිහිල්ලා පාර්ලිමේන්තු එනකොට රනිල් වික්‍රමසිංහ අගමැතිවෙලා තියෙනවා. ඒ නිසා අපිට අවශ්‍ය වෙන්නේ පුද්ගලයෝ නෙවෙයි අපිට අවශ්‍ය ක්‍රමය, දැක්ම. මේ ක්‍රම දෙක පිළිබඳ අපට මදි තාම තක්සේරු කරගන්න. අපි ඉල්ලන්නේ මේ මහජන සම්මුතියක් එක්ක වැඩකරන තත්ත්වයකට අග්‍රාමාත්‍යවරයා පැමිණිය යුතුයි. පත්කරන ඇමැතිවරයා පැමිණිය යුතුයි. කෙහෙලිය රඹුක්වැල්ල දැන් ඇමතිකම දෙනකොට ප්‍රතිපත්තියයි කලින් ඇමතිකම දෙනකොට ප්‍රතිපත්තියයි වෙනසක් නැහැ. වහාම මේ සම්බන්ධයෙන් සුභවාදී ප්‍රතිචාර දැක්වීම සඳහා මේ ක්‍රමය වෙනස් කරන්න කියලා අපි කියනවා. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා දැන්වත් වැඩපිළිවෙළ ඉදිරිපත් කරන්න ඕනේ. සෞඛ්‍ය සේවයේ වැඩපිළිවෙළ ගැන කතා කරන්න අපි ලෑස්තියි. ඒ සම්බන්ධයෙන් කතා කරන්න තාම වැඩ පිළිවෙළක් අපට දීලා නැහැ. පුද්ගලයෝ දෙන්නෙක් මාරුවීම ප්‍රශ්නයට විසඳුමක් නොවෙයි.


 සාකච්ඡා කළේ – සුජානි ගුරුගේ

advertistmentadvertistment
advertistmentadvertistment