සෞඛ්‍ය වෘත්තීන් 21 ක වර්ජනයෙන් රෝහල් සේවා අඩාළ වෙයි

142

සෞඛ්‍ය වෘත්තීන් 21ක් ඊයේ (24දා) ක‍්‍රියාත්මක කළ දීපව්‍යාප්ත දෙදින වැඩවර්ජනය හේතුවෙන් රජයේ රෝහල්වල බාහිර රෝගී අංශවලින් බෙහෙත් නිකුත් කිරීමේ කටයුතු, එක්ස් කිරණ පරීක්ෂණ, එම්.ආර්.අයි. ස්කෑන්, සී.ටී. ස්කෑන් පරීක්ෂණ ඇතුළු විකිරණ පරීක්ෂණ කටයුතු, වාට්ටුවල රෝගී සත්කාරක කටයුතු ඇතුළු රෝහල් සේවාවන් රැුසක් අඩාළ වූ බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.

මෙම වර්ජනය හේතුවෙන් දිවයින පුරා පිහිටි රජයේ රෝහල් 1100 ක බාහිර රෝගී අංශවල මෙන්ම නේවාසික රෝගීන් විශාල පිරිසක් ද ඊයේ දැඩි අසීරුතාවකට පත්ව සිටියහ. මෙම වර්ජනයට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 365ක සේවය කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයෝ සහභාගි වී සිටිති.

වර්ජනය හේතුවෙන් රජයේ රෝහල්වල බාහිර රෝගී අංශවල බෙහෙත් නිකුත් කරන කවුළු ඊයේ වසා දමා තිබූ අතර රජයේ ප‍්‍රධාන රෝහල් සායන රෝගීන්ට රජයේ ඔසුසල්වලින් බෙහෙත් ලබා ගැනීමට හැකි වන පරිදි තුණ්ඩු නිකුත් කර තිබිණි. එහෙත් රජයේ ඔසුසල් නොමැති පිට පළාත්වල රෝහල්වල සායන රෝගීන් විශාල පිරිසකට බෙහෙත් ලබා ගැනීමට නොහැකිව හිස් අතින් නිවෙස්වලට යෑමට සිදු වූ බව වාර්තා වේ.

වර්ජනය හේතුවෙන් රජයේ රෝහල්වල සියලූ විකිරණ පරීක්ෂණ මෙන්ම රසායනාගාර පරීක්ෂණ හා ඊ.ඊ.ජී, ඊ.සී.ජී. පරීක්ෂණ කටයුතු ද ඇනහිට ඇති අතර හදිසි පරීක්ෂණ කටයුතු පමණක් සිදු කෙරෙන බව වර්ජනයේ යෙදී සිටින එම වෘත්තිකයෝ පවසති.

වෛද්‍ය රසායනාගාර කාර්මික ශිල්පීන් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මෙම වර්ජනයට එක්ව සිටීම හේතුවෙන් කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම සඳහා පී.සී.ආර්. හා රැුපිඞ් ඇන්ටිජන් පරීක්ෂණ කටයුතු ද අඩාල වී ඇත. දිවයින පුරා සිදු කෙරෙන ඩෙංගු මර්දන කටයුතු ද අඩාල වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

සිය සේවාවන්ගේ මාණ්ඩලික හිමිකම තහවුරු කිරීමට අදාළව 2021 ජුලි 05 වැනිදා කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද කැබිනට් පත‍්‍රිකාව සඳහා නැවත කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා ගැනීම, වෘත්තීයවේදී උපාධියට අදාළව නිවැරදි වැටුප් පරිමාණයන් ස්ථාපිත කිරීම හා ගැළපෙන රැුකියා, තනතුරු අවස්ථා හිමි කර දීම, සියලූ සෞඛ්‍ය වෘත්තිකයන් නියෝජනය වන ලෙස සෞඛ්‍ය පරිපාලන සේවය ස්ථාපිත කිරීම, වැටුප් විෂමතා නිවැරදි කිරීමට අදාළ රනුග්ගේ වැටුප් කමිටු වාර්තාව ක‍්‍රියාත්මක කිරීම, සෞඛ්‍ය සේවාව සංවෘත සේවාවක් කිරීම ඇතුළු සේවා ඉල්ලීම් 07ක් මුල් කරගෙන මෙම වැඩවර්ජනය ක‍්‍රියාත්මක කරන බව ද හෙතෙම සඳහන් කළේය.

අද ද (25දා) මෙම වර්ජනය ක‍්‍රියාත්මක වන අතර හෙට (26දා) උදෑසන 7 ට වර්ජනය අවසන් වීමට නියමිතය.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment