සෞභාග්‍යය දැක්ම ක‍්‍රියාත්මක කිරීමට බලයට පැමිණි ආණ්ඩුවට ජනතාවට තුන්වේලවත් කන්න දෙන්න බැරිවෙලා – ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා

53

සෞභාග්‍යය දැක්ම ක‍්‍රියාත්මක කිරීමට බලයට පැමිණි වත්මන් ආණ්ඩුවට මේ වන විට රටේ ජනතාවට තුන්වේලට කන්න දෙන්න බැරිව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඊයේ (27 වැනිදා) සඳහන් කළේය.

මැතිවරණ සමයේ ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම ඉලක්කම් වචන සහ කොළ කෑලි පමණක් වී ඇති බවත් රට ඉබාගාතයේ ගමන් කරමින් අරාජිකත්වයට පත්ව ඇති බවත් හෙතෙම කීවේය.

ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඊයේ 27 වැනිදා එම අදහස් පළ කළේ පැලවත්ත බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂයේ ප‍්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ටිල්වින් සිල්වා මහතා මෙසේද පැවසීය.

දිගින් දිගටම රට තුළ බඩුමිල වැඩිවීමක් සහ භාණ්ඩ හිඟයක් තිබෙනවා. ආණ්ඩුවට මේ ප‍්‍රශ්න විසඳීමට කිසිම වැඩපිළිවෙළක් නැහැ. කොරෝනා වසංගතයට මුහුණ දීලා ඉන්න පොදු ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් ඉටු කරන්න ආණ්ඩුව මැදිහත් වෙන්නේ නැහැ. මේ නිසා දිගින් දිගටම භාණ්ඩ මිල වැඩිවීමක් සහ භාණ්ඩ හිඟයක් ඇතිවී තිබෙනවා. මේ නිසා පෝලිම් යුගය ගැන අලූතින් බයක් ඇතිවී තිබෙනවා. ගෑස් හිඟය නිසා, කිරිපිටි හිඟය නිසා, පෝලිම් ඇතිවීම මේ දවස්වල දකින උදාහරණයි. නමුත් ජනතාවගේ මූලික අවශ්‍යතා විසඳන්න ආණ්ඩුව කිසිදු ක‍්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. සෞභාග්‍යයේ දැක්මට අනුව රට ගොඩනගන්න ආපු ආණ්ඩුවක් ජනතාවට තුන්වේල කන්න දෙන්න බැරි මට්ටමකට පල්ලම් බැස තිබෙනවා. මේ කිසිදු දෙයක් ආණ්ඩුවේ ලොක්කන්ට දැනෙන්නේ නැහැ. ජනාධිපතිවරයා ඇතුළු ප‍්‍රධානීන්ට රට ගෙනියන්නේ කොහෙටද කියලා දැක්මක් නැහැ. ඡුන්ද කාලයේ ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම ඉලක්කම් වචන සහ කොල කෑලි විතරයි. දැන් පරිපාලන යාන්ත‍්‍රණය බිඳවැටිලා නිලධාරීන් කෙළවරක් නැතිව ඉල්ලා අස්වෙමින් තිබෙනවා. හැම තැනම අරාජිකත්වයක් තියෙන්නේ. රට ඉබාගාතයේ ගමන් කරමින් තිබෙනවා.

මේ තුළ ආණ්ඩුවේ ප‍්‍රධානීන් තමන් හම්බකරගන්න ගමන් හිතවතුන්ට, ජාවාරම්කාරයන්ට හම්බ කරගන්න ඉඩ දී තිබෙනවා. ජනතාව මහා ව්‍යසනයක් කරා ගමන් කරමින් සිටිනවා. ජනාධිපතිගේ සිට ආණ්ඩුවේ කිසිවෙකුත් කිසිවකට වගකියන්නේ නැහැ. ඔවුන් ජනතාවට, ජනවරමට වගකියන්නේ නැහැ. දැන් තියෙන්නේ ව්‍යවස්ථාවකට, නීතිරීතිවලට අනුව රට පාලනය කරන ආණ්ඩුවක් නෙවෙයි. පවුලක් වටා මුදල් එකතු කිරීම අරමුණු කරගත් කොල්ල කල්ලියක් සිදුකරන කාර්යයක් තිබෙන්නේ. මේ නිසා රටේ ජනතාව පීඩාවට පත් වී රට වේගයෙන් විනාශය කරා ගමන් කරමින් තිබෙනවා. නමුත් ආණ්ඩුව කරන්නේ සංදර්ශන පාන එක විතරයි. පාරිභෝගික අධිකාරියට හමුදාවේ ප‍්‍රධානියෙක් පත්කරලා භාණ්ඩ මිල අඩු කරන බව කීවා. මේ අය සමහර වෙළෙඳසල්වලට ගිහින් කන් කුඩුවෙන්න ගහන බව කීවා. වී මිලදී ගැනීමට හමුදා බි‍්‍රගේඩියර්වරයෙක් මැදිහත් කළා. දැන් වීත් නැහැ, ඒ හමුදා ප‍්‍රධානියාත් නැහැ. දැන් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයෙක් පත්කර ඉන්නවා. ඒ කොමසාරිස්ට අත්‍යවශ්‍ය ගෑස් ටික ලබාදෙන්න බැරි වෙලා තියෙන්නේ. ඒ වගේම හාල් මෝල් වටලනවා කියලා සද්දයක් දැම්මා. නමුත් වෙළඳපොළේ හාල් මිල හැමදාමත් වැඩිවෙනවා. මේ හැම දෙයක්ම ජනතාව රවටන්න මාධ්‍යවලින් පෙන්වන සංදර්ශන විතරයි. ඇත්ත ප‍්‍රශ්නය භාණ්ඩ මිල අඩු කිරීමට ආණ්ඩුවට ඕනෑකමක් නැහැ; සැලැස්මක් නැහැ; වැඩපිළිවෙළකුත් නැහැ. සංදර්ශන කරනවා පමණයි.

සිරිමන්ත රත්නසේකර
 

advertistmentadvertistment
advertistmentadvertistment