හඬ පරාසයෙන් සැඟවුණ ආධ්‍යාත්මය පුපුරුවා හරින කසුන් කල්හාරගේ ‘හිත හොයන්න’

200

සමාජ මාධ්‍ය කියන සංකල්පීය රාමුව අපේ දෛනික ජීවිතවල කොටසක් අත්පත් කරගෙන ඉන්නෙ ඉස්සර පොත්, සංගීතය, චිත්‍ර කතා, රූපවාහිනිය, චිත්‍රපට අත්පත් කරගෙන තිබුණ මනස් කලාපය. අතීතයෙ පැවති මාධ්‍ය මනසේ යම් ගැඹුරු සංවේදනයන් ඇති කළේ කිසියම් රටාවකට අනුව වගේම ඒ බොහෝ දේ අප විසින් තෝරාබේරාගෙන රසවිඳි ඒවා. ඒ නිසාම එම නිර්මාණ අපේ බුද්ධිමය කලාපයක් බබළවන්න සමත් වෙලා තියෙනවා. ඒත් සමාජ මාධ්‍ය ඉතා වේගයෙන් අප වෙත තොරතුරු අරගෙන එනවා වගේම අපේ ආරාධනයකින් තොරවම ඒවා මනසේ බහුල ලෙස ස්පර්ෂ කරන්නෙ අවිඥානික මනස (Unconcious Mind) හරහා අපේ යටිසිතේ තැන්පත්ව තිබෙන ආශාවන්ට. ඒ අතරින් ඉතා අල්පයක් අපේ විඥානගත (concious Mind) ක්‍රියාවලියට ඇතුළු වෙලා බුද්ධිමය කලම්භනයක් බවට පරිවර්තනය වෙන අවස්ථා තිබෙනවා. බොහොමයක් අපේ ඇස සහ විඥානයේ ගැටී ඉවතට යන ඒවා.

සමාජ මාධ්‍ය ජාලා එක් එක් වයස් කාණ්ඩ අනුව ඔවුන්ගෙ ජීවිත වලට ඇතුළු වෙලා තියෙන කාලපරාසයන් ගත්තම අදියර හතරකට බෙදන්න පුළුවන්.

  1. ජීවිතේ අවසන් භාගයේදි සමාජ මාධ්‍ය ජාල තමන්ගෙ ජීවිතයට ආව අය.
  2. ජීවිතේ මැදි වයසෙදි සමාජ මාධ්‍ය ජාල තමන්ගෙ ජීවිතේට ළඟාකර ගත් පිරිස.
  3. උපතේ සිටම සමාජ මාධ්‍ය ජාල එක්ක වැඩුණු පරපුර.
  4. කිසිසේත් සමාජ මාධ්‍ය ජාල පරිහරණය නොකරන පිරිස.

පසුගිය දශක දෙකක කාලය තුළ ශ්‍රී ලංකාව හැටියට ගත්තම මේ අදියර හතර ඇතුලෙම ජීවිතවල සිතීමේ, පැවැත්මේ වෙනස්කම් සමාජ මාධ්‍ය ජාල විසින් සිදුකරලා තියෙන බව පේන්න තියෙන දෙයක්. ඒකෙ ඇඟවුම් කාරකය තමයි මේ වෙනකොට අප තුළ තවදුරටත් ස්වාධීන චින්තන මාදිලිය කියා යමක් දැකිය හැකි ද කියන කාරණය. සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරව සිදුවන දැනුමේ වෙනස්වීම තුළ අපේ මනස තුළ පුළුල් නොදැනුම් කලාපයක් ඇති කිරීම නිසා නිරන්තරයෙන් ජංගම දුරකථනය ජීවිතේ වෙන් නොකළ හැකි කොටසක් විදිහට පවතින්න අරන් තියෙනවා. අපේ මනස තුළ නිරන්තරව ඊළඟ මොහොත ගැන අවිනිශ්චිත බවක් ගොඩනගනවා. ඒ නිසාම අප දැනුම යැයි සිතන අවිඥානික ආශාවක් පසුපස නිරන්තරව හඹායමින් සිටින බව තමන් දෙසටම හැරී විමසීමෙන් දැනගත හැකියි. මිනිසුන් දස දහස් ගණනක් මැද වුණත් හුදෙකලා මානසික කොදෙව්ගත තනි පුද්ගල ස්වරූපයන් විශාල වශයෙන් අපට දකින්න ලැබෙන්නෙ මෙන්න මේ කාරණාත් එක්ක. පවුලක් හැටියට කුටුම්භයක් තුළ පවා මේ තනි පුද්ගල කොදෙව්ගතවීම දකින්න පුළුවන් වගෙම ඒක බිඳෙන හැම අවස්ථාවකදිම නුරුස්නා ස්වභාවයක් මානව සමාජය තුළ දකින්න ලැබෙනවා.

මේ සමාජ කාරණා එක්ක බැඳුන ගීතයක් මේ දවස්වල යූ ටියුබ් සමාජ මාධ්‍ය හරහා Trending වෙලා තියෙන කාරණේ දිහා තරමක් විමර්ශනශීලීව බලන එකේ වැදගත්කමක් තියෙන්නෙ අපේ මනෝ කලාපයන් තුළ සමහර නිර්මාණ කරන බුද්ධිමය බලපෑම හරියටම කියවාගැනීමට අවශ්‍ය නිසා. කසුන් කල්හාර ගායනා කරන හිත හොයන්න ගීතය මෑතකාලීන ප්‍රවණතා එක්ක ගත්තම වෙනස්කම් කිහිපයක්ම දකින්න පුළුවන් නිර්මාණයක්. පද රචනය, ගායනය, සංගීත තනුව, රූප රචනය කියන සතර අංග තුළ මේ වෙනස දකින්න තියෙනවා. මේ ගීතය එකවරක් කන හරහා මනසට ඇතුළු වුණාම කිහිපවරක් ඇසීමේ මනෝමය බලකිරීමක් ගීතයෙ හඬේ මතුවන සියුම් ගායන පරාසයන් තුළින්ම බලකරන තත්ත්වයක් දකින්න පුළුවන්.

මෙතනදි අකුරුවලට පණ දෙන්න පුළුවන් ද වගේ කාලයක් තිස්සෙ අප ප්‍රශ්න කරමින් සිටිය සංවාදයක් මේ ගීතයේ පද පේළිත් එක්ක මතු වුණා. මගේ අදහස කවියෙක් යම් සමාජයක, සංස්කෘතික අවකාශයක තියෙන වචන පෙළගැස්වීම ඇතුලෙ අප තුළ කිසියම් කම්පනීය හැඟීමක් පෙළගස්වන්න සමත් වෙනවා. ගීතයක් ඊටත් ඔබ්බට ගිහින් සංගීතය, ගායනය කියන පරාසය ඇතුලෙ අපේ මනසේ කලාප ගණනක් අවදි කරනවා.

කසුන් ගායනා කරන ගීතයෙ පද ටික විතරක් ගත්තම මේ කියන කාරණය පැහැදිලි කරගන්න පහසුයි.

රෑබෝවීලා පෙනෙනා නිසා
හීනේ යහනේ ඉකි බින්දා
ආසා නිසා දහසක් දෙනා
රහසින් සිතින් දුක් වින්දා

මේ මුල් පද හතර ගත්තමත් අපට සන්නිවේදනය වෙන්නෙ අප දන්නා සරල සත්‍යයක්.

ලෝකේ දුවනා රෝදේ
සොයා නවන්න බෑ අතපාලා
පව් පල හා පොරබදලා
ඉකිගාන කඳුළැල් සොයා
පිසදාමු පිහිටක් වීලා

ලෝ සරනා මිනිසා සොයනා
සෑහීමක් නෑ මියුරූ
ආසා නසනා අයුරූ
කඳුළු නැතුව හිනාවෙන්න
ලෝකෙ නැතුව හිත හොයන්න…

මේ සරල දහම අපට දැනෙන දෙයක් වුණත් වචන හැටියට මේ තුළින් අප තුළ රසයක් විශාල වශයෙන් ජනිත කරනවා කියල දැනෙන්නෙ නෑ. සංගීත රචකයා මේ වචන ඇතුළෙ අපට අර්ථ රසයක් මතු කරන්නෙ ඊට ලබාදෙන රිද්මීය ස්වරූපය ඇතුලෙ. ඒවගෙම ගායන හඬ පරාසය තුළ ඇතිකරන සියුම් හඬේ උස් – පහත් ස්වර එක්ක මනසේ මෙතෙක් අවදි නොවී පැවති බුද්ධිමය තන්තු සෙමින් කම්පනය වෙන්න ගන්නවා. ඒක ඇති කරන එක ලේසි පහසු දෙයක් නෙවෙයි. මේ ගීතයේ යටි පෙළින් කියන්නෙ මේ සමාජ සංකීර්ණ භාවයන් අපේ මනෝභාවයන් අත්පත් කරගැනීමත් එක්ක අප තුළම ගිනි කඳු හටගන්නා ක්‍රියාවලිය. ගීතයේ දෙවැනි කොටස ඉලක්ක වෙන්නෙම මිනිස් ස්වරූපය තුළ ඇති ආශාවන්ගේ නිමානොවන හඹායාම ගැන. කසුන්ගෙ හඬ පරාසය ඇතුලෙන් සනාතන ධර්ම සජ්ඣායනයක් ඇහෙන අතරෙ සංගීත රචකයා ඊට ප්‍රතිපාර්ශ්වීය නොස්ටැල්ජික ස්වර මාලාවක් ඇතුලෙ ශ්‍රාවකයා වෙනම කලාපයක තියාගන්නවා. රූප රචනය අල්ලා ගන්නෙ සංගීත රචනයේ මෙන්න මේ අතීතකාමී මනසේ චිත්‍රණය කියලයි මම දකින්නෙ. ඔහු රූප භාවිතය හැකි තරම් සරල කිරීම ඇතුලෙ අර අප තුළ නොසිඳී පවතින අතීතකාමී ආශාවට සියුම් වියමනක් සකස් කරනවා. හැබැයි අවසන් රූපරාමු කිහිපය ඔහු අර ගීතය ඇතුලෙන් ඉල්ලන පදමාලාව දිහාට ප්‍රේක්ෂකයා ගෙනියනවා කියලා පේන්න තියෙනවා.

අවසන් පද කිහිපය වන,
වී පළුදු ගෙවිලා ගියපූ
කාලේ මතකේ සයුරූ
පතුලේ සඟවා ගැඹුරූ
කඳුළු නැතුව හිනාවෙන්න
ලෝකෙ නැතුව හිත හොයන්න…

කියන යෝජනාව ගේන කොටසට එනකොට ගීතයෙ ගායනය – පද රචනය – සංගීතය සහ රූප රචනය සියුම් විදියට සම්බන්ධ කිරීම තමයි මේ ගීතයෙ තියෙන විශේෂත්වය හැටියට මම දකින්නෙ.

සමාජ මාධ්‍ය ජාලා ඇතුලෙ සැරිසරණ කොට අපේ ඇසේ ගැටෙන හැම රූපයක්, සිද්ධියක්ම මනසේ රැඳෙන්නෙ නෑ. ඒක හරියට ශුක්‍රානු මිලියන ගණනකින් එකක් ඩිම්බකෝෂයක සංසේචන ක්‍රියාවලිය ඇතුලෙදි සාර්ථක වෙනවා වගේ වැඩක්. සමහර දේවල් සංසේචනය වුණත් කෙටි කාලයකදී ගබ්සා වෙන අවස්ථා.

කසුන්ගෙ ‘හිත හොයන්න’ ගීතය වචන හැටියට තියෙන කොට අපේ වින්දනීය කලාපයන් පුබුදු කරන්නෙ නැති වුණාට ඒක තනු නිර්මාණයක් එක්ක කසුන්ගෙ හඬින් ඇහෙද්දි විඥානය අවදි කිරීමක් දක්වා ගමන් කරනවා. සංගීතවේදියාගෙ අවිඥානයේ ඇති මනෝභාවයන් තුළින් මතුකරන නාදමාලාව හරියටම ශ්‍රාවකයාගේ මනෝමය අත්දැකීම් එක්ක සම්බන්ධවීම නිසා ගීතය ආයෙ ආයෙත් අහන්න පොළඹවන හැඟීමක් අප වෙත ළඟා කරනවා. කඩදාසි රොකට්, වෛවර්ණ දුම් වලාවකින් තරුණිය වැසීයන අවස්ථාව ගීතය ඇතුළෙ ප්‍රකාශනයත් එක්ක ප්‍රේක්ෂක මනස බද්ධ කරන අවස්ථාවක්. මේ ගීතයට සංගීතයෙන් දායකත්වය දක්වන රුක්ෂාන් එස්. සුබසිංහ අනාගත ආයෝජනයක් හැටියට දකින්න පුළුවන්. මෙතුන්ගෙ පදරචනයත්, රූප රචනයේ සංකල්පීය අදහස සහ අධ්‍යක්ෂණය කළ සංජීව සෙනෙවිරත්න දක්වන දායකත්වය ගීතයේ සාර්ථකත්වය පිටුපස තිබෙන බව පේන්න තියෙනවා.

මේ ගීතය සමාජ කතිකාව ඇතුළෙ සාකච්ඡා කිරීමට අවශ්‍ය වෙන්නෙ සමාජ මාධ්‍ය හරහා පාලනය වෙන මනසේ ස්වයංක්‍රීය පාලකය ආයෙත් අපිට අත්පත් කරගන්නෙ කොහොමද කියන ස්වයං කතිකාවක් ඇතිකර ගන්න අවශ්‍ය පුපුරුවා හැරීම තියෙන හින්දයි.

අශෝක වීරසිංහ
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment