හතර පස්දෙනකුගේ බිත්තර මාෆියාවට ඉඩ දෙන්න බැහැ

132

කුරුලු උණ ගැන කියලා බිත්තර ආනයනය නවත්වන්න හදනවා – නිමල් ලන්සා

හතර පස්දෙනකුගේ බිත්තර මාෆියාවට ඉඩ නොතබා බිලියන 22 ක් වූ පාරිභෝගිකයන් ආරක්‍ෂා කිරීමට කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා විසින් පාර්ලිමේන්තුවේ පැවැති කෝප් කමිටු රැස්වීමේදී පෙන්වා දී තිබේ.

එහිදී මන්ත්‍රීවරයා පහත කරුණු ද අවධාරණය කළේය.

‘පාරිභෝගික කටයුතු අධිකාරිය, පාරිභෝගිකයන් පිළිබඳ අවධානය යොමු කරමින් බිත්තරය සඳහා පාලන මිලක් නියම කරනු ලැබුවා. නමුත් බිත්තර නිෂ්පාදකයන් එම මිල ප්‍රමාණවත් නොවන බව උසාවියට කීවා. සත්ත්ව ආහාර නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරිය විසින් ආහාර සුරක්‍ෂිතතා කමිටුව හමුවේ පවසා සිටියේ බිත්තරයක් නිෂ්පාදනය සඳහා රුපියල් 58 ක මුදලක් වැයවන බවයි. එම වාර්තාව සැලකිල්ලට ගෙන අධිකරණය පාලන මිල අයින් කරන්න කීවා. සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරියගෙන් අහන්න ඕනේ, මේ මිල ගණනය කළේ කොහොමද කියලා. ඒ නිසා තමා මේ ප්‍රශ්නය අද මතුවෙලා තියෙන්නේ?

රටේ අහිංසක දුප්පත් මිනිස්සු, මන්දෝෂණයෙන් ඉන්න මිනිස්සු ගැන සලකා බලන්න ඕනේ. එක නිලධාරියකුට, එක ආයතනයකට බැහැ මේක තීන්දු කරන්න. මේ පිළිබඳ පරීක්‍ෂණයක් කරන්න වාර්තාවන් සියල්ල අධ්‍යයනය කරලා. විගණකාධිපතිතුමාගේ අවධානය යොමු කරලා හතර පස්දෙනකුට හම්බකර ගන්න දෙන්නේ නැතිව මේ පිළිබඳ විධිමත්ව සොයා බලන්න.

සත්ත්ව ආහාර නිෂ්පාදන දෙපාර්තමේන්තුව බිත්තරයක් නිෂ්පාදනය කිරීමට යන මුදල රුපියල් 34 ක් කියලා අවසන් වාර්තාවේ කියල තියෙනවා. ඒකට සිල්ලර,

තොග සියල්ල වෙනුවෙන් රුපියල් 9 ක් එකතු කළත් නිෂ්පාදන පිරිවැය රුපියල් 43 යි යන්නේ. මම දන්න විදියට මේ අවස්ථාවේ බිත්තරයක් නිෂ්පාදනය කරන්නේ රුපියල් 34 ට නෙමෙයි රුපියල් 30 ට. පාරිභෝගික අධිකාරියට උසාවියෙන් කිසිම තහනමක් දීල නැහැ, බිත්තරයට උපරිම මිලක් නියම කරන්න. පාරිභෝගිකයා ආරක්‍ෂා කිරීමට නීතිපතිතුමා එක්කත් කතා කරලා යම් වැඩපිළිවෙළක් කරන්න. බිත්තර නිෂ්පාදනය හිඟනම්, මිල අඩුකරන්නත් බැරිනම් බිත්තර ආනයනය කරන්න කැබිනට් එක තීන්දුවක් අරන් තියෙනවා. ඒ සඳහා අවස්ථාව දිය යුතුයි. දින තුනක් ඇතුළත මේ පිළිබඳ පූර්ණ පරීක්‍ෂණයක් කරලා තීරණයක් ගන්න.

කුරුලු උණ ගැන කියලා බිත්තර ආනයනය නවත්වන්න හදනවා. කෝටිපති ව්‍යාපාරිකයන්, ලෝක ප්‍රසිද්ධ ක්‍රීඩකයන් ලෝකු කුසලාන පාපන්දු තරගාවලිය පැවැති කටාර් රාජ්‍යයට බිත්තර ආනයනය කළේ ඉන්දියාවේ තමිල්නාඩුවෙන්. එතකොට කටාර් රාජ්‍යයට කුරුලු උණ ප්‍රශ්නයක් නැද්ද? මේ වගේ විශාල තරගාවලියන් සංවිධානය කරනකොට ලෝකයේ තියෙන සියලු සෞඛ්‍ය නිර්ණායකයන් ගැන අවධානය යොමු කරනවා. එතකොට කියනවා බිත්තර ගන්නේ කුරුලු උණ තියෙන රටවල්වලින් ලු . කුරුලු උණ තියෙන රටවල්, ප්‍රදේශ ගැනවත් හරියට දන්නේ නැතිව කරුණු ඉදිරිපත් කරන්න එපා. කටාර්වල, ඕමාන්වල කුරුලු උණ තියෙනවද නැද්ද කියන්න දන්නේ නැතිව ඒ ගැන කියන්න එපා. ඒක ඒ රටවල්වලට කරන නිගාවක්. වගකීම් විරහිත ප්‍රකාශ කරන්න එපා. උපරිම මිල අයින් කරගන්න ඕන වුණාම වාර්තාවක් දෙනවා. ආනයනය කරලා පාරිභෝගිකයාට අඩුවට දෙන්න හදනකොට තව වාර්තාවක් දෙනවා. මේ සියල්ල පරස්පරයි. ඒ නිසා මිලියන 22 ක පාරිභෝගිකයන් ආරක්‍ෂා කරන්න වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්න.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment