හතලිස් හැවිරිදි තරුණයාට පෙම් බැඳි කාන්තාවෝ දෙදෙනා ගෙල වැලළා ගනිති – හැට හැවිරිදි කත මෝචරියේ – තිස් දෙහැවිරිදි කත දැඩි සත්කාර ඒකකයේ

1583

* තුන් කොන් පෙම මරණයකින් කෙළවර වෙයි

වයස අවුරුදු 40ක පුද්ගලයෙකුට ආදරය කළ කාන්තාවන් දෙදෙනෙක් එකම දින ගෙල වැළලා ගැනීමේ පුවතක් පිළියන්දලින් වාර්තා වේ.

එයින් අයෙකුට දිවි අහිමි වීමත් අනෙක් අය දැඩි සත්කාර ඒකකයක ජීවිතයත් මරණයත් අතර

ප‍්‍රතිකාර ලැබීමට සිදුවීමේ පුවතක් කළුබෝවිල රෝහලේ පැවති මරණ පරීක්ෂණයේදී අනාවරණය වූ බව පිළියන්දල හදිසි මරණ පරීක්ෂක අජිත් විජේසිංහ මහතා පැවසීය.

සිද්ධියෙන් මියගොස් තිබුණේ වයස අවුරුදු 60 කාන්තාවකි. රෝහල්ගතව දැඩිසත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන්නේ වයස අවුරුදු 32 ක කාන්තාවකි. ඔවුන් දෙදෙනාම පිළියන්දල පදිංචිකාරියන්ය.

හදිසි මරණ පරීක්ෂක අජිත් විජේසිංහ මහතා පවසන පරිදි සිද්ධිය සැකවින් මෙසේය.

මියගිය කාන්තාවගේ සැමියා මීට වසර පහළොවකට පෙර මිය යෑමෙන් අනතුරුව එයින් මාස කීපයකට පසු ඇය වසර 25 ක තරුණයෙකු සමඟ සමීප ඇසුරක් පවත්වා ඇත. ඔහු තමා වෙතම නතු කර ගැනීම සඳහා උපක‍්‍රමයක් ලෙස සිය සුඛෝපභෝගී නිවස ඇතුළු සියලූම දේපල ඔහුගේ නමට ලිවීමට ඇය කටයුතු කර තිබිණි. එවකට තරුණ වියේ සිටි 40 හැවිරිදි පුද්ගලයා ඇය සමඟ ඉතා සතුටින් කල දවස ගෙවන්නට වූහ.

මීට දින කිහිපයකට ඉහත දී මියගිය කාන්තාවට අසන්නට ලැබී ඇත්තේ ඇය හදවතින්ම ආදරය කර සියලූ දේපල නමට ලියූ පුද්ගලයා හොර රහසේම පිළියන්දල ප‍්‍රදේශයේ තරුණියක් සමඟ විවාහ වී ඇති බවය. මෙය කන වැටීමත් සමඟම ඉවසා දරාගත නොහැකි වූ 60 හැවිරිදි කාන්තාව 32 හැවිරිදි තරුණියගේ නිවස සොයා ගොස් මේ පිළිබඳ විමසීමේදී සක්සුදක් සේ එය තහවුරු වීමෙන් අනතුරුව යළි නිවස කරා පැමිණ මෙහෙකාරිය වෙළඳ සැලකට යවා සුඛෝපභෝගී නිවසේ කාමරයක එල්ලී දිවිනසා ගැනීමට කළ උත්සාහය ව්‍යවර්ථ වීමෙන් අනතුරුව නිවසේ සාලයට ගොස් විදුලි පංකාවේ එල්ලී මියගොස් තිබූ බව ස්ථාන පරීක්ෂණයේ දී දැකගත හැකි වූ බව හදිසි මරණ පරීක්ෂකවරයා කීය.

එල්ලෙමින් තිබූ ඇයගේ මළ සිරුර ආසන්නයේ තමන් වසර ගණනාවක් ආදරය කළ 40 හැවිරිදි පුද්ගලයා අමතා ලියන ලද පිටු ගණනාවකින් සමන්විත ලිපියක්ද හමුවූ බව හදිසි මරණ පරීක්ෂකවරයා කීය.

තමා විවාහ වී තිබෙන්නේ හැට හැවිරිදි කාන්තාවක් සමග වසර ගණනාවක් ඇසුරක් පැවැත් වූ පුද්ගලයකු සමඟ බව 32 හැවිරිදි විවාහක කාන්තාවටද එම කාන්තාවගෙන්ම දැන ගැනීමට ලැබීමත් සමගම ඇයද නිවස තුළ ගෙළ වැළලාගෙන දිවි නසා ගැනීමට උත්සාහ දැරුවද හාස්කමකින් මෙන් ඇයගේ ජීවිතය යම්තමට හෝ බේරී ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙමින් ඇය දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන බවද හදිසි මරණ පරීක්ෂකවරයා පැවසීය.

‘‘තමන් සිදු කර තිබෙන්නේ දැන දැනම වරදක්. ජීවිත සමඟයි සෙල්ලම් කර තිබෙන්නේ. මේවට නීතියෙන් දඬුවම් නැතත් හෘද සාක්ෂියෙන් ලැබෙන දඬුවම මුළු ජීවිත කාලයටම බැහැර කිරීමට නොහැකි…’’යැයි ඊයේ (14දා* කළුබෝවිල ශික්ෂණ රෝහලේ පැවති මරණ පරීක්ෂණයේදී සාක්ෂි ලබාදීමට පැමිණි එම පුද්ගලයා අමතා හදිසි මරණ පරීක්ෂක අජිත් විජේසිංහ මහතා කරුණු පහදා දී ඇත.

කැස්බෑව ජයසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment