හත් වසරක බැඳුම්කර හොරකමේ  හංගපු පිටු 106 එළියට දාන්න – දූෂණ විරෝධී හඬ ජනපතිට ලියයි

175

මෙරට 74 වන නිදහස සැමරීමට 07 වසරක බැඳුම්කර හොරකමේ සඟවන ලද පිටු 106 නිදහස් කරන ලෙස ඉල්ලා දූෂණ විරෝධී හඬ සංවිධානය විසින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවා ඇත.

එහි කැඳවුම්කරු වන වසන්ත සමරසිංහ මහතා විසින් ජනපතිවරයාට යැවූ ලිපියේ මෙසේ සඳහන් වේ.

මෙම සුප‍්‍රසිද්ධ වංචාවට සම්බන්ධ පුද්ගලයන්ට දඬුවම් ලබාදීමට කටයුතු කරයි යන විශ්වාසය තැබුවද නමුත් දිගින් දිගටම පැවති රනිල් – මෛතී‍්‍ර පාලනය සමයේ බැඳුම්කර හොරු ඇල්ලීම කල්ගියා සේම වර්තමානයේදී ඒ පිළිබඳව අවධානයක් යොමුව නැති බව පෙනේ. ඒ වෙනුවට

පසුගිය දිනක දැනගැනීමට හැකිවූයේ බැඳුම්කර හොරු නිදොස් කොට නිදහස් කිරීම පිළිබඳව ප‍්‍රවෘත්තියකි. අර්ජුන් මහේන්ද්‍ර ලංකාවට ගෙන්වා නඩු අසන කි‍්‍රයාව බලා සිටි ජනතාවට දැනගැනීමට හැකි වූයේ අර්ජුන මහේන්ද්‍රන්ට විශ‍්‍රාම වැටුපක් ද ලබාදීමට ආණ්ඩුව කි‍්‍රයාමාර්ග ගෙන ඇති ප‍්‍රවෘත්තියයි. 2015 පෙබරවාරි සිට මෙම වංචාව නිසා වසර 02 ක් තුළ සේවක අර්ථසාධක අරමුදලට රු. මිලියන 25000 කට වැඩි අලාභයක් සිදුකළ බව සමස්ත ලාංකීය ජනයාම දන්නා කරුණකි. මෙම සිද්ධිය පැවති ආණ්ඩුව ගෙදර යවා ඔබතුමා ප‍්‍රමුඛ ආණ්ඩුව බලයට ගෙන ඒමටද හේතු වූ ප‍්‍රධාන කරුණක් ද එය විය.

2015 මාර්තු මාසයේ සිට අප සංවිධානය ‘‘දූෂණ විරෝධී හඬ’’ ලෙස මෙම වංචනිකයන් රටට හෙළිදරව් කිරීමට ගත හැකි සියලූ උත්සාහයන් ගන්නා ලදී. පැවති ආණ්ඩුව එවකට පාර්ලිමේන්තුවේ ඣඡුෑ කමිටු වාර්තාවට පවා බලපෑම් කරමින් ‘‘පාද සටහන්’’ දමා පොත් මුද්‍රණය කර මෙය වංචාවක් නොවන බවට තහවුරු කිරීමට උත්සාහ කළේය. එහෙත් හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මේ පිළිබඳව විශේෂ ජනාධිපති කොමිසමක් පවා පත්කර වසර 2 ක පරීක්ෂණවලින් පසුව වාර්තාවක් එළිදැක් වීය. එහිදී පවා මෙම බරපතළ මූල්‍ය අපරාධයක් බවට තහවුරු විය.

එම ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව පිටු 1100 පමණ ක් වූ අතර මෙම වංචාව පිළිබඳව සියලූ තොරතුරු එහි අන්තර්ගත වූ බව හිටපු නීතිපතිවරයා ප‍්‍රකාශ කරන ලදී. එම වාර්තාව සමග වංචාවට සම්බන්ධ වූවන් බොහොමයක් හෙළිදරව් වී සිටි අතර, හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා එම වාර්තාවේ පිටු 106 හංගාගෙන ඉතිරි කොටස නීතිපති දෙපාර්තමේන්තුවට භාරදෙන ලදී.

එසේ එතුමා සඟවන ලද පිටු 106 තුළ මෙම වංචාවට සම්බන්ධ අර්ජුන ඇලෝසියස් විසින් මෙම කි‍්‍රයාව වසංකර ගැනීම සඳහා මුදල් ලබාදෙන ලද දේශපාලකයන් ඇතුළු සියලූ දෙනාගේ විස්තර ඇතුළත් විය. සඟවන ලද පිටු 106 තුළ ඇලෝසියස් විසින් බෙදන ලද මිලියන 3250 ක් ලබාගත් පුද්ගලයන්ගේ නාමලේඛන අන්තර්ගත විය. එම ලේඛන සඟවා ගැනීමට හේතුව වනු ඇත්තේ හිටපු ජනාධිපතිවරයා, අගමැතිවරයා, එවකට එක්සත් ජාතික පක්ෂය, එමෙන්ම ඒ නඩුවට විපක්ෂය ඇතුළු දේශපාලන පක්ෂවල නියෝජිතයන්ගේ හා ඒ අයගේ ඥාතීන්ගේ නම් ද ඇතුළත්ව ඇති නිසාය.

අප 74 වන නිදහස සමරන්නේ රටක් විනාශ කළ දූෂිත දේශපාලකයන්/ වංචනිකයන් ආරක්ෂා කරමින් නම් එම නිදහස බොරුවක් මෙන්ම එම සැමරුම ඉදිරියේ ආචාරය ලබා රටේ නායකයා වන ඔබතුමාගේ හෘද සාක්ෂිය පවා රවටා ගැනීමකි. වසර දෙකක් ගත වනවිටත් මෙම දූෂිතයන්ට දඬුවම් ලබාදීමට අවංක උවමනාවක් ඔබතුමාට ඇත්නම්, දූෂණයට ඔබතුමා එරෙහි බවට පණිවිඩයක් ලබාදීමටත් ඔබට කළ යුතුව ඇත්තේ ඉතා සුළු කටයුත්තකි. එය නම්, මෛති‍්‍රපාල සිරිසේන මහතා විසින් සඟවන ලද පිටු 106 රටට හෙළිදරව් කිරීමයි. ගතවූ වසර 2 ක් තුළ රටට දැනෙන, ජනතාවට වැදගත් තීරණයක් ලෙස මෙම කි‍්‍රයාව ඉටුකිරීම මගින් ඔබතුමා ‘දූෂණයට එරෙහි’’ යැයි යන මතය හෝ ජනතාවට ඒත්තු ගැන්විය හැක.

එමෙන්ම උසාවියේ පවතින නඩුවලට අත්‍යවශ්‍ය හා වැදගත්ම සාක්ෂියක් වන මෙම වංචාවේ මුදල් ලබාගත් දේශපාලන හා රාජ්‍ය නිලධාරීන් පිළිබඳ තොරතුරු ඇතුළත් ලේඛනය නොමැතිව නඩු ඇසීම නිෂ්ඵල කටයුත්තක් බව ද ඔබතුමාට වැටහෙන බව අප විශ්වාස කරමු. එම නඩුවලට අත්‍යවශ්‍ය මෙම සාක්ෂි සහිත පිටු 106 හෙළිදරව් කිරීම නඩු කටයුතුවලට ද පහසුවක් වනු ඇත.

තවදුරටත් බැඳුම්කර හොරු ඇල්ලීම හෝ වැඩකරන ජනතාවගේ සේවක අර්ථසාධක මුදල් කොල්ලකෑමට ඉඩ නොතැබීම සඳහාත් මෙම කටයුත්ත ඔබතුමට අවසන් කළ හැක.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment