හතේ කල්ලිය රට වටේම මුදල් ගැරූ හැටි

642

හෝටල් බිල දවසට ලක්ෂ 2 යි

සැකකරුවන් සියලූ දෙනා වයස අවු: 20 – 35 ත් අතර අය

බැංකු කාඩ් 58ක් පොලිස් භාරයට

ඉකුත් දිනක වලාන දූෂණ මර්දන ප‍්‍රහාරක ඒකකයේ අධ්‍යක්‍ෂ සහකාර පොලිස් අධිකාරි උදය කුමාර මහතාට ලැබෙන එක්තරා දුරකථන ඇමතුමකි. දුරකථන ඇමතුම ලබාගත් පුද්ගලයා සහකාර පොලිස් අධිකාරිවරයා අමතමින් ප‍්‍රකාශ කර සිටින්නේ කොළඹ පිහිටි ප‍්‍රධාන පෙළේ තරු පන්ති හෝටලයක රැඳී සිටින එක්තරා පුද්ගලයකුගේ මෙහෙයවීම මත කලක පටන් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් ක‍්‍රියාත්මක වන බවත් එම සංවිධානාත්මක ජාවාරම මෙහෙයවනු ලබන්නේ තරු පන්තියේ හෝටලය තුළ තාවකාලිකව ලැගුම් ගෙන සිටින නුවර ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයකු විසින් බවත්ය.

එම තොරතුරු හරහා වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ තරු පන්ති හෝටලයේ රැඳී සිටින පුද්ගලයා දිනකට ලක්ෂ දෙකකට ආසන්න මුදලක් හෝටල් ගාස්තු ලෙස ගෙවන බවත් අධි ආරක්ෂිත කලාපයක පිහිටි මෙම හෝටලය තුළ රැඳී සිටිමින් එම පුද්ගලයා විසින් කලක් තිස්සේ එම ජාවාරම සිදුකරන බවත්ය.

තමන් වෙත ලැබුණු විශ්වාස කටයුතු ආරංචි මාර්ගය පිළිබඳ දැඩි අවධානයක් යොමු කරන වලාන දූෂණ මර්දන ප‍්‍රහාරක ඒකකයේ වැඩබලන අධ්‍යක්‍ෂවරයා පළමුව එම ආරංචිය පිළිබඳව සිය නිලධාරීන් දැනුවත් කරමින් සඳහන් කර සිටින්නේ හැකි ඉක්මනින් එම තොරතුරු පිළිබඳ වැඩිදුරටත් කරුණු අනාවරණය කොට තමන් වෙත ඒ පිළිබඳ දැනුම් දෙන ලෙසය.

අදාළ තොරතුරු පිළිබඳ වලාන දූෂණ මර්දන ප‍්‍රහාරක ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් වැඩිදුරටත් කරුණු අනාවරණය කර ගැනීමේ විමර්ශන ආරම්භ කරනු ලබන්නේ ඉන් අනතුරුවය. ඒ අනුව බුද්ධි තොරතුරුවල සඳහන් තරු පන්තියේ හෝටලය පිහිටි ප‍්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ආවේක්‍ෂණ රාජකාරී අරඹන වලාන දූෂණ මර්දන ප‍්‍රහාරක ඒකකයේ නිලධාරීන් පිරිසක් දින කිහිපයකින් අනතුරුව හෝටලයේ රැඳී සිටින පුද්ගලයා පිළිබඳවත් ඔහු රැඳී සිටින හෝටල් කාමරය තුළ සිදුවන යම් යම් නීති විරෝධී කටයුතු කීපයක් පිළිබඳ වැදගත් තොරතුරු කීපයක් අනාවරණය කර ගැනීමට සමත් වී ඇත. ඒ පිළිබඳව තම ඉහළ නිලධාරීන් දැනුවත් කිරීමට ද ආවේක්ෂණ රාජකාරියේ නිරත නිලධාරීන් පිරිස විසින් කටයුතු කර ඇත.

හතේ කල්ලිය රට වටේම මුදල් ගැරූ හැටි

හෝටල් කාමරය තුළ රැඳී සිටින පුද්ගලයා අත්අඩංගුවට ගැනීම පිණිස අවශ්‍ය මෙහෙයුම සැලසුම් කරනු ලබන්නේ ඉන් අනතුරුවය. ඒ සඳහා අධිකරණය විසින් නිකුත් කරන සෝදිසි වරෙන්තුවක් සහිතව ක‍්‍රියාත්මක වන වලාන දූෂණ මර්දන ප‍්‍රහාරක ඒකකයේ නිලධාරීන් පිරිසක් ඉකුත් 20 වැනි දින සැකකටයුතු පුද්ගලයා රැඳී සිටින හෝටල් පරිශ‍්‍රය වෙත ළඟාවී ඇත. රටේ ඉහළම ප‍්‍රභූවරුන් විදේශිකයන් ඇතුළු විවිධ ව්‍යාපාරික කටයුතු ආදිය පිණිස ප‍්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් නිතර යන එන එම තරු පන්තියේ හෝටලයට ඇතුළුවීමට පෙර සෑම පුද්ගලයකුම දැඩි පරීක්‍ෂාවට ලක් කිරීමට හෝටල් ආරක්ෂක අංශ විසින් කටයුතු කිරීම සාමාන්‍ය තත්ත්වයක්ය. එවැනි තත්ත්වයක් තුළ පොලිස් නිල ඇඳුමෙන් එම ස්ථානයට ඇතුළුවීමේදී ඇති විය හැකි යම් යම් කරණු පිළිබඳව අවධානය යොමු කරන පොලිස් නිලධාරීන් අවසානයේ දී සිය උසස් නිලධාරීන්ගේ උපදෙස් අනුව කීප දෙනෙක් සිවිල් ඇඳුමින් ද අනිකුත් පිරිස පොලිස් නිල ඇඳුම්වලින් ද එම වැටලීම සිදු කිරීමට තීරණය කර ඇත. ඒ අනුව මෙවැනි වැටලීම් පිළිබඳ මනා පළපුරුද්දක් සහිත නිලධාරීන් හය දෙනෙකු සිවිල් ඇඳුමින් සැරසී අදාළ හෝටල් පරිශ‍්‍රයට පිවිස ඇත. හෝටල් ආරක්ෂක අංශ පරීක්‍ෂා කිරීම්වලින් අනතුරුව ඔවුන් කෙලින්ම ගමන් කරන්නේ හෝටල් පරිශ‍්‍රයේ හත්වන මහලේ පිහිටි හෝටල් කාමරය වෙතය. එම ස්ථානයට ළඟාවූ සැනින් හෝටල් කාමරයේ දොර විවර කළ පොලිස් නිලධාරීන්ට දැක ගැනීමට ලැබී ඇත්තේ ඒ වන විටද හෝටල් කාමරය තුළ පිරිමි පුද්ගලයන් හත්දෙනෙකු පමණ යම් සාකච්ඡාවක යෙදී සිටින ආකාරයත් ය. අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවකට අනුව එම හෝටල් කාමරය පරීක්‍ෂා කිරීම ආරම්භ කරන නිලධාරීන් පිරිස හෝටල් කාමරයේ සෑම ස්ථානයක්ම සියුම් පරීක්‍ෂාවකට ලක්කර ඇත.

එහිදී අයිස් මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් 03 ක් සහ වෙනත් වර්ගවලට අයත් දේශීය මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් 06 ක පමණ ප‍්‍රමාණයක් සොයා ගැනීමට මෙහෙයුමට සම්බන්ධ පොලිස් නිලධාරීන් සමත් වී ඇත. එතෙක් කලක් හෝටල් කාමරය තුළ රැඳී සිටිමින් සැකකටයුතු පුද්ගලයා විසින් සිදුකර තිබුණ මහා පරිමාණ මූල්‍ය ජාවාරම් රැසක් පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීමට පොලිසිය සමත් වී ඇත්තේ හෝටල් කාමරය තුළ තිබූ පරිගණක දෙකක් ක‍්‍රියාත්මකකොට පරීක්‍ෂා කිරීමේදී ය. එහි සඳහන් දත්තවලට අනුව රුපියල් ලක්ෂ දහය ඉක්මවා යන මුදලක් මෙම සැකකරු වෙත දිනපතා ලැබෙන බව පරිගණක දත්ත පරීක්‍ෂාවේදී අනාවරණය වී ඇත. එම තොරතුරුවලට අනුව වැඩිදුර පරීක්‍ෂා කිරීම් ඒ ඔස්සේ සිදුකරන පරීක්‍ෂණ කණ්ඩායම හෝටල් කාමරය තුළ සූක්‍ෂමව රඳවා තිබූ බැංකු කාඞ්පත් පනස් අටක්, ව්‍යාජ නම් ගම් ආදිය සඳහන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ හැඳුනුම්පත් කීපයක් සිම් කාඞ්පත් රැසක් සහ ජංගම දුරකථන කීපයක් ඇතුළු රුපියල් ලක්ෂ තුනකට අධික මුදලක් සොයා ගැනීමට සමත්වී ඇත.

සැකකරුවන්ගෙන් ප‍්‍රශ්න කිරීම් ආරම්භ වන්නේ ඉන් අනතුරුවය. එහිදී මෙම පිරිස විසින් කලක් තිස්සේ සිදුකර තිබූ මූල්‍ය වංචාවන් කිහිපයක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත. අන්තර්ජාලය උපයෝගි කර ගනිමින් රටේ විවිධ ප‍්‍රදේශවල පදිංචි පුද්ගලයන් රවටමින් ඔවුන්ගේ මුදල් තම බැංකු ගිණුම් වෙත ගෙන්වා ගැනීමට මෙම ජාවාරමේ ප‍්‍රධානම ලක්ෂණය ලෙස පොලිසිය විසින් හඳුනාගෙන ඇත. විවිධ ආයතන මගින් සිදු කරන දිනුම් ඇදීම් හරහා වටිනා ත්‍යාග හා මුදල් ප‍්‍රදානයන් සිදුකරන බව පවසමින් ජනතාව නොමඟ යවා ඇති මෙම ජාවාරම්කරුවන් මෙම ත්‍යාග සහ මුදල් ලබාදීමේ ක‍්‍රියාවලියේ ආරම්භය ලෙස ත්‍යාගලාභීන් විසින් මුදල් ගිණුම් ගත කළ යුතු බව ප‍්‍රකාශ කරමින් මෙම මූල්‍ය වංචාව සිදුකරගෙන ගොස් ඇති බව මේ වනවිට සිදුකර ඇති පරීක්‍ෂණ ආදියෙන් හෙළිදරව් වෙමින් ඇත. ඒ සඳහා ව්‍යාජ නම් ගම් ආදිය භාවිතා කරමින් ජාවාරම්කරුවන් විසින් මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇත.

මෙම කල්ලියේ ප‍්‍රධානියා මහනුවර ප‍්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක්ය. පිරිසෙහි අනිකුත් සාමාජිකයන් අවුරුදු 20 – 28 ත් අතර වයස් කාණ්ඩයේ පසුවන්නන් බව පොලිසිය විසින් හඳුනාගෙන ඇත. පොලිස් අත්අඩංගුවට ගත් ප‍්‍රධාන සැකකරුට විරුද්ධව මීට පෙර ද අධිකරණයේ නඩු කීපයක් පවතින අතර පොලිස් අත්අඩංගුවට ගත් අනෙක් පිරිස මරදාන, රාජගිරිය, නුවර සහ ගලහ ප‍්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය විසින් ඔවුන්ගෙන් සිදු කළ ප‍්‍රශ්න කිරීම්වලදී හෙළිදරව් වී ඇත.

ඉකුත් 20 වැනිදා සිදුකළ මෙම වැටලීමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් පිරිස වලාන දූෂණ මර්දන ප‍්‍රහාරක ඒකකය විසින් කොම්පඤ්ඤවීදිය පොලිසියට භාර දීමෙන් අනතුරුව වැඩිදුරටත් විමර්ශන කටයුතු පිණිස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව යටතට පත්කිරීමට කටයුතු කර ඇත.

මෙම මහා පරිමාණ ජාවාරමේ සුළමුල සෙවීම පිණිස වැඩිදුරටත් විමර්ශන කටයුතු සිදුවන අතර ඒ පිළිබඳ ඉදිරියේදී වැඩිදුරටත් තොරතුරු අනාවරණය වීමට නියමිතය. කෙසේ වෙතත් මේ හරහා දැනට හෙළිදරව් වෙමින් පවතින්නේ අන්තර්ජාලය උපයෝගි කර ගනිමින් මෙරට තුළ දිගින් දිගටම ක‍්‍රියාත්මක කූට ජාවාරම් ආදියෙහි සැබෑ ස්වරූපයන්ය. මුදලට ගිජු පුද්ගලයන්ගේ මුදල් ඔවුන්ටද හොරා වෙනත් පිරිසක් විසින් ඩැහැගන්නා ආකාරයත් එම මුදල් අතදිග හැර වියදම් කරන ජාවාරම්කරුවන් ගත කරන ‘කුමාර’ ජීවිත පිළිබඳවත් මෙම ජාවාරම හරහා මැනවින් ප‍්‍රදර්ශනය වී හමාරය. කනගාටුවට කරුණ නම් මෙවැනි සිදුවීම් ආදිය පිළිබඳව වැටහීමකින් තොර ඇතැම් පිරිස් දිගින් දිගටම මෙවැනි ජාවාරම්කරුවන්ගේ ගොදුර බවට පත්වීම තවමත් සිදුවෙමින් පැවතීමය. වලාන දූෂණ මර්දන ප‍්‍රහාරක ඒකකයේ වැඩබලන අධ්‍යක්‍ෂ සහකාර පොලිස් අධිකාරි උදය කුමාර මහතාගේ උපදෙස් මත එහි ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙයවීම මත ප‍්‍ර. පො. ප. සිරිවර්ධන, පො. ප. සම්පත්, පො. ප. ඔසඳ, උ. පො. ප. බණ්ඩාරනායක, පො. සැ. කමල්සිරි (28777), පො. සැ. ජයරත්න (42520) පො. සැ. ජයලාල් (428) සහ උ. පො. ප. සඳරුවන් යන නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර ඇත.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment