හදවත් රෝගීන්ගේ මරණ අනුපාත අවම කරන්නට ගොටුකොළ සමඟ තේ බොන්න

858

කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන අණුක ජීවවේද සහ
ජෛව තාක්ෂණ ආයතනයේ කථිකාචාර්ය ආචාර්ය සමීර ආර්. සමරකෝන්

හදවත් රෝගීන්ගේ මරණ අනුපාත අවම කරන්නට ගොටුකොළ  සමඟ තේ බොන්න

‘තේ පැන් දින දින රස වැඩි වේ. බීමෙන් සිරුරට සැප වැඩි වේ.’ මේ අපූරු ගීතය මීට දශක කිහිපයකදී නිතර ඇසුන ගීතයකි. අපට ඒ ගීතය යළි සිහිවූයේ තේ පානය, ගී‍්‍රන් ටී හා ගොටුකොළ පානය මිනිස් සිරුරට මොනතරම් නම් වැදගත් දැයි කල්පනාවට ගත් පසුවය.

ශී‍්‍ර ලංකාවේ අප තේ පානයට හුරු වූයේ ඉංගී‍්‍රසිත් මේ රටේ තේ වගා කරන්නට ගත් පසුවය. දැන් අප දිනකට තුන් හතර වතාවක්වත් තේ පානයට හුරුව සිටිති.

තේ වල මිනිස් සිරුරේ නිරෝගිමත්කමට බලපාන වැදගත් සංඝටක රැසක් අඩංගුව ඇත. එහෙත් සීනි මුසුකර පානය කරන සාමාන්‍ය තේවලට වඩා ගී‍්‍රන් ටී සිරුරට මහඟු පල ගෙන දෙන බව දැන් ලොව පුරා සිදුකර ඇති පර්යේෂණවලින් තහවුරු කරගෙන තිබේ. ඒ අනුව ගී‍්‍රන් ටී පානය කරන්නේ නම් මිනිස් සිරුරේ හටගන්නා රෝගාබාධ රැසකට එරෙහිව සටන් කිරීමේ හැකියාවක් ස්වභාවිකවම සිරුර තුළ ඇති කළ හැකි බව ඔප්පු වී තිබේ. විශේෂයෙන් හදවත් රෝගීන්ට ගී‍්‍රන් ටී පානය ඔසුවකි.

මේ සම්බන්ධව ජපන් පර්යේෂකයන් අපූරු පර්යේෂණයක් සිදු කරනු ලැබීය. හදවත් රෝගීන් 40,000ක පිරිසක් සහභාගි කරගත් 2006 වසරේදී සිදුකළ මෙම පර්යේෂණයෙදී තහවුරු වූයේ ගී‍්‍රන් ටී පානය කිරීමේදී හදවත් රෝගීන්ගේ මරණ අනුපාතය පහළ යන බවය. මෙම පර්යේෂණයට ලක් කළ හදවත් රෝගීන්ට දිනකට ගී‍්‍රන් ටී කෝප්ප පහක් පානය කරන්න සලස්වමින් දීර්ඝ කාලයක් ඔවුන් සම්බන්ධයෙන් සිදුකළ සමීක්ෂණවලින් තහවුරු වුණේ හදවත් රෝගය නිසා මියයන ප‍්‍රමාණය සැලකිය යුතු ගණනකින් අඩුවන බවය. එමගින් තහවුරු වන්නේ හදවත් රෝගීන්ට ගී‍්‍රන් ටී පානය ඉතා යෝග්‍ය වන බවයි.

මීට අමතරව ගී‍්‍රන් ටීවල ඇති අනෙක් වැදගත්ම කාරණය වන්නේ එහි ඇති කැටකීන් සහ කැෆීන් යන සංයෝග ද්විත්වයෙන් මිනිස් සිරුරේ බර අඩුකර දැමීමයි. ගී‍්‍රන් ටී පානය කිරීමෙන් සිරුරේ අනවශ්‍ය බර අඩුකර සැහැල්ලූ, නිරෝගී සිරුරක් ලබාගත හැකි බව විද්‍යාත්මක පරීක්ෂණවලින් පෙනීගොස් ඇත.

අපේ රටේ මිනිසුන් විවිධ නිධන්ගත රෝගවලට ගොදුරුවීමේ විශාල ප‍්‍රවණතාවක් ඇත. විශේෂයෙන් හදවත් රෝගවලට ලක්වන පිරිස වැඩිවෙමින් තිබේ. ඊට හේතු කාරණා බොහොමයකි. මෙරට රෝහල්වලට දිනකට එන හදවත් රෝගීන්ට ප‍්‍රතිකාර ලබාදීමට තරම් ප‍්‍රමාණවත් පහසුකම් ද අප සතුව නැත. ලෝකයේ අනෙක් රටවල් ද මේ තත්ත්වය හමුවේ විවිධ පරීයේෂණ සිදු කරමින් විකල්ප සොයන්නේ එහෙයිනි. ගී‍්‍රන් ටී වැනි ස්වභාවික ආහාරමය පානයන් මගින් හදවත් රෝග අවදානම අඩුකර ගැනීම මේ සඳහා හොඳම විසඳුමකි.

ආහාර පාන සම්බන්ධව විවිධ පර්යේෂණ සිදුකරන ලොව විවිධ පර්යේෂකයන් විසින් මේ වනවිට ගී‍්‍රන් ටී පානයේ යහගුණ වැඩි වන නව හඳුන්වාදීමක් සිදුකර තිබේ. එයින් එක ක‍්‍රමයක් වන්නේ ගී‍්‍රන් ටී සමග වෙනත් ඖෂධීය ස්වභාවික ශාකමය ද්‍රව්‍ය පරිභෝජනයට ගැනීමයි. ශී‍්‍ර ලංකාවේ ජනතාව අතර ඖෂධීය සහ රසවත් අහරක් ලෙස ප‍්‍රචලිතව ඇති
ගොටුකොළ වැනි පලා වර්ගයක් මුසු කර ගී‍්‍රන් ටී පානය කළ හැකි නම් එය වඩා වාසිදායක වනු ඇත.

ගොටුකොළ සහ ගී‍්‍රන් ටී මිශ‍්‍ර පානයක් ලෙස ගැනීමට අපට ඕනෑතරම් පහසුකම් ඇත. ගම්වල ඕවිටිවල මෙන්ම ගෙවත්තේ ඇවිද බලන විට ගොටුකොළ මිටියක් දෙකක් සොයා ගැනීම අපට අමාරු කාරියක් නොවේ. එසේ නොමැති වුවත් මේ රටේ එළවළු වෙළෙඳසැලකින්, සති පොළකින් වුවද පිරිසිදු ගොටුකොළ මිටියක් දෙකක් මිලදී ගත හැකිය. ගොටුකොළ, සම්බෝල ලෙස අනුභව කරනු වෙනුවට ගී‍්‍රන් ටී සමග ගොටුකොළ මිශ‍්‍ර පානයක් ලෙස ගැනීම මගින් සිරුරට ලැබෙන පෝෂ්‍ය සහ ඖෂධීය ගුණය තීව‍්‍ර කළ හැකි වනු ඇත.

ගොටුකොළවල ඇති ස්වභාවික කි‍්‍රයාකාරී සංඝටකවල තිබෙන ඉහළ ප‍්‍රතිඔක්සිකාරක ගුණය හා මොළයේ නියුරෝන සයිල සමග සෘජුවම කි‍්‍රයාකිරීමේ හැකියාව නිසා මොළයේ ජීවි විද්‍යාත්මක කි‍්‍රයාකාරීත්වය ඉහළ මට්ටමක දීර්ඝ කාලයක් තබාගැනීමට හැකි බව පර්යේෂණ මගින් විද්‍යාත්මකව පවා තහවුරු කර තිබේ. එලෙසම මොළයේ ලේ කැටි සිර වීම නිසා ඇතිවන සංකූලතා මඟහරවා ඉහළ සංජානන හැකියාවක් වර්ධනය කිරීමට ගොටුකොළවල ඇති සංයෝග ඉවහල් වේ. මේ අනුව දිනපතා ගොටුකොළ පානයක් ලෙස සිරුරට ලබාගැනීමෙන් මතක ශක්තිය වර්ධනය සිදුවේ. එමෙන්ම සමේ පැහැපත් භාවයක් ඇති කිරීමට ද ගොටුකොළවලට හැකියාවක් පවතී.

මේ අනුව ගී‍්‍රන් ටීවලට ගොටුකොළ මුසුකර පානය කිරීමෙන් එදිනෙදා තේ පානය වඩාත් සෞඛ්‍යසම්පන්න පානයක් බවට පත්කරගත හැක. බොහෝ අන්තර්ජාතික පර්යේෂණ මගින්ද තහවුරු වී තිබෙන්නේ ගී‍්‍රන් ටී පානයත්, ගොටුකොළ පානයත් මිනිසාගේ සෞඛ්‍යය දිරිමත් කර නිරෝගී කරන බවයි. එහි පෝෂ්‍ය ගුණය හා ඉන් මිනිස් සිරුරට යහපතක් මිස කිසි ලෙසකින් අගුණක් නොවන බව සහතිකව කිව හැකිය. මිනිස් සිරුරට තේ පානය ගුණදායකය. කාර්යබහුලත්වය නිසා කාලය වෙන්කර ගත නොහැකි අයට නිරෝගිමත් දිවියකට මෙකී පානයන් මහෝපකාරී වන වග නිසැකය. අවුරුදු සියයට එකසිය විස්සක් ආයුබෝ වේවා කියා ප‍්‍රාර්ථනා කළ පරිදි නිරෝගී මිනිසුන්ගෙන් පිරි සමාජයක් යළි නිර්මාණය කිරීම අපගේ අරමුණය.

කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන අණුක ජීවවේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ කථිකාචාර්ය ආචාර්ය සමීර ආර්. සමරකෝන් මහතා සමග සාකච්ඡා කර සැකසූ ලිපියකි.

advertistmentadvertistment
advertistmentadvertistment