හදවත රැකගන්න රැ දහයට නිදාගන්න

650

රාත‍්‍රී 10ත් 11ත් අතර කාල සීමාවේ නින්දට යෑම හෘදය වස්තුවේ නිරෝගී බව ආරක්ෂා කරගැනීමට උපකාරී වන බව එංගලන්තයේ පර්යේෂකයන් පිරිසක් විසින් සිදු කරන ලද නවතම අධ්‍යයනයකදී අනාවරණය කරගෙන තිබේ.

 මෙම අධ්‍යයනය සිදු කළ කණ්ඩායමේ ප‍්‍රධානියා වන එංගලන්තයේ එක්සෙටර් විශ්ව විද්‍යාලයේ ස්නායු විද්‍යාව සම්බන්ධ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඬේවිඞ් ප්ලැන්ස් පවසනුයේ හෘදය වස්තුව ආරක්ෂා කරගැනීමට අවශ්‍ය නම් රාත‍්‍රී 10-11 අතර කාලයේ නින්දට යාමට සැවොම පියවර ගත යුතු බවයි.’ අප සැමගේ ශරීරය තුළ දවසේ පැය 24 පුරාම ක‍්‍රියාත්මක වන ඔරලෝසුවක් තිබෙනවා. ඉහත කී වේලාවට නින්දට ගියහොත් එම ඔරලෝසුව නැවත සකස් කිරීමට හේතු වන උදෑසන හිරු එළිය දැකබලා ගත හැකියි.

 හෘදය වස්තුවට අහිතකරම නින්ද ලබා ගන්නා කාලය වනුයේ මධ්‍යම රාත‍්‍රියෙන් පසු කාලයයි. මධ්‍යම රාත‍්‍රිය පසු වී නින්දට යෑමේදී උදෑසන හිරු එළිය දැකීමේ හැකියාව අඩු කෙරෙන අතර ඉන් ශරීරයේ ඇතුළත පවතින ඔරලෝසුව නැවත සකස් කිරීම මගහරවන බව වෛද්‍ය ප්ලැන්ස් කියයි.

 ‘සර්කෙඩියන්’ රිද්මය නමින් හැඳින්වෙන ශරීරය තුළ ක‍්‍රියාත්මක වන ඔරලෝසුව මිනිසාගේ කායික හා මානසික ක‍්‍රියාකාරිත්වය නියාමනය කෙරෙන අතර නියමිත වෙලාවට නින්දට යෑම, ව්‍යායාම කිරීම, නියමිත වේලාවට ආහාර වේල් ගැනීම වැනි ක‍්‍රියාමාර්ගයන් පවත්වාගෙන යන්නේ නම් සෞඛ්‍ය සම්පන්න වේලාවක නින්දට යෑම අපහසු නොවන බව අධ්‍යයනය සිදු කළ පර්යේෂකයෝ පවසති.

 ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment