හදාගන්න ගත් දැරිය අඹුකමට තියාගෙන

194

දරුවෙකු නොමැති වීම හේතුවෙන් මීට වසර හතකට පමණ පෙර හදා වඩා ගැනීම සඳහා පරිවාස භාරයෙන් ලබා ගත්, දැනට වයස අවුරුදු 15 ක් වන බාල වයස්කාර දැරියකට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කළ සුළු පියා (භාරකරු) අත්අඩංගුවට ගත් බව ගල්කිරියාගම පොලිසිය පවසයි.

කැකිරාව කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරී කරුණා කීර්තිරත්න මහතාට ලැබුණු පැමිණිල්ලකට අනුව පොලිසිය දැනුවත් කර සිදු කළ විමර්ශනයකින් පසු පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

තම එකම දරුවා ජීවිතක්ෂයට පත්වීමේ සිත්තැවුලට පත්ව, මෙම යුවළ පරිවාස භාරයේ සිටි එම දැරිය 2016 වර්ෂයේ දී දරු කමට හදා වඩා ගැනීමට ලබාගෙන තිබූ බව පොලිසිය කියයි.

පසුව නිවසේ ඇති වූ අගහිඟකම් හේතුවෙන් දැරිය හදා වඩා ගැනීමට භාරගත් මව විසින් දැරිය පුංචි අම්මා භාරයේ තබා මීට මාස තුනකට පමණ පෙර රැකියාවක් සඳහා විදේශගතව ඇති බවත් ඒ අතරවාරයේදී මෙම අපයෝජනය සිදුව ඇති බව පොලීසිය අනාවරණය කර ගෙන තිබුණි.

පුංචි අම්මා දින දෙකකට තම නිවසට ගිය අවස්ථාවේදී දැරිය හදා වඩා ගැනීමට ලබා ගත් සුළු පියා (භාරකරු) විසින් දැරිය කීප අවස්ථාවකදී බරපතළ ලිංගික අපයෝජනයට ලක්කර ඇති බවත් කිසිවකුට හෝ එය පැවසුවහොත් මරා දමන බවටද දැරිය බිය ගන්වා තිබූ බවද පොලීසිය සඳහන් කළේය.

බියට පත් වූ දැරිය එම සුළු පියාගේ ජංගම දුරකථනය ගෙන පුංචි අම්මගේ දුවට සිදුවූ සියල්ල පැවසීමෙන් අනතුරුව, ඇය විසින් කැකිරාව ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරී කරුණා කීර්තිරත්න මහතාට මේ බව දැනුම් දීමෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් සිදු කර තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

ගල්කිරියාගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුක්මල් රත්නායක මහතාගේ උපදෙස් මත නිලධාරීහු පිරිසක් සැකකරු අත්අඩංගුවට ගත්හ.

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment