හදිසි නීතිය සම්මත කිරීම ජිනීවා ප්‍රශ්න වැලක මුල : ජී. එල්. කියයි

134

හදිසි නීතිය සම්මත කර ගැනීම නිසා ලබන මාසයේ ජිනීවා නුවරදී පැවැත්වෙන මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට දැඩි බලපෑමක් එල්ල විය හැකි බව හිටපු විදේශ ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.

ඒ මහතා මේ බැව් පැවසුවේ ඊයේ (28 දා) පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද කීවේය.

ශ්‍රී ලංකාව අද පවතින තත්ත්වය හමුවේ හදිසි නීතිය සම්මත කර ගැනීම කිසි සේත්ම පිළිගත නොහැකියි. සාමාන්‍ය නීතිය යටතේ රට තුළ පවතින ගැටලු නිරාකරණය කරගත හැකියි. හදිසි නීතිය නිසා රටේ අනවශ්‍ය ගැටලු මතුවෙනවා. මේ සම්බන්ධව ලබන මාසයේ ජිනීවාහිදී පැවැත්වෙන 51 වැනි මානව හිමිකම් සමුළුවේදී ගැටලු රැසකට මුහුණ දීමට සිදුවෙනවා. හිටපු විදේශ ඇමැතිවරයකු ලෙස මෙය මා අත්දැකීමෙන් දන්නවා. ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික ගැටලු විසඳා ගැනීමට අපට ජාත්‍යන්තර සහාය අවශ්‍යයි. නමුත් මෙවැනි හේතු නිසා අපට ජාත්‍යන්තර සහාය ලබා ගැනීමේදී ගැටලුවලට මුහුණ දීමට සිදුවෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වූ විගස ගාලුමුවදොර අරගලයේ නිරතව සිටි තරුණ තරුණියන්ට පහරදීම අප තරයේ හෙළා දකිනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ එම විසුරුවා හැරීම සිදුකළේ හදිසි නීතිය යටතේ නොවන බවයි. හදිසි නීතිය නොමැතිව එවැනි ප්‍රහාරයක් එල්ල කළා නම් හදිසි නීතිය යටතේ කෙසේ සිදුවේදැයි කියා සිතාගත හැකියි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආරම්භක සාමාජිකයෙක් සහ සභාපතිවරයා ලෙස මම හදිසි නීතියට පක්‍ෂව ඡන්දය දුන්නේ නැහැ. එය හිතට එකඟව සිදුකළ නොහැකියි.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment