හදිසි මැතිවරණයකට පෙර සිස්ටම් චේන්ජ් කළ යුතුයි

210

මහ මැතිවරණයක් හරහා නව ‘ජනවරමක්’ ලබාගැනීමේ හදිසි අවශ්‍යතාව පිළිබඳව දේශපාලන පක්ෂ, මත මවන්නන් සහ විද්වතුන් කිහිප දෙනකු විසින් විටින් විට නගන ‘කාහල නාදය’ට ප්‍රතිචාර වශයෙන් දෝ, මැතිවරණ කොමිෂන් සභාපති තුමා 2023 මාර්තු/අප්‍රියෙල් මස වන විට, නියමිත පරිදි ‘පුංචි ඡඡන්දය’ හෙවත් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව ප්‍රකාශ කර ඇත. තවද, 2018 වසරේ එය පවත්වා 8,600 ක් ඉක්මවමින්, අති විශාල සභිකයන් සංඛ්‍යාවක් පත්කිරීමට සිදුවී, රුපියල් මිලියන 4,000 ක් පමණ වැය බරක් දැරූ බවත්, මෙවර ඒ වැය බර දෙගුණ වී රුපියල් මිලියන 8,000 පමණ වනු ඇතැයිද ඔහු පවසා ඇත. අප රට දැන් වැටී සිටින, වසර ගණනාවකට ගොඩ ඒමට නොහැකි භයානක ආර්ථික ව්‍යසනය හමුවේ, නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය සුපිරිසිදු ලෙස රැකීමේ මුවාවෙන් කඩිමුඩියේ, අපිරිසිදු, අක්‍රමවත්, මැතිවරණ පවත්වා, ජනතාවගේ ශාපයට ලක්ව ඇති දූෂිත, ආත්මාර්ථකාමී දේශපාලකයන් රැලක් නැවතත් කරලියට ගෙන ඒම කිසිසේත් අනුමත කළ නොහැකි බව, ළදරුවෙකුට පවා අවබෝධ වන ජාතික අපරාධයකි. එය වඩාත් තීව්‍ර වන්නේ, ‘225’ ශාපයට තිත තැබීම සඳහා, දේශහිතෛෂී ‘දේශපාලන වෘත්තිකයන්’ නව කුලකයක් වශයෙන් තෝරා ගැනීම ඇතුළුව රටෙහි සමස්ත දේශපාලන හා රාජ්‍ය පරිපාලන පද්ධතියටම බලපාන රැඩිකල්වාදී ‘ක්‍රම වෙනස්කම්’ වහා සිදු කරන ලෙසට, ජනතාව හා සාමකාමී ‘අරගලයේ’ බුද්ධිමත් තරුණ පිරිස විසින් තරයේ බල කරමින් සිටින අවස්ථාවක කරලියට පැමිණෙන නිසාය. මේ මොහොතේ ‘පුංචි ඡන්ද’ නොමැතිවීම ජනතාවට ප්‍රශ්නයක් නොවන නිසා, ‘කොරේ පිටට මරේ’ කියන්නාක් මෙන්, ඔවුන් මත බදු පිට බදු පටවා, මෙලෙස රටට ඉසිලිය නොහැකි වැය බරක් දරමින් ජනතාව නැවතත් ගොනාට ඇන්දවීමට සැරසෙන්නේ කාගේ වුවමනාවකටදැයි එළි කළ යුතුය.

නව පරපුරේ මෙන්ම කාගේත් ඒකායන අපේක්ෂාව වන්නේ, 2023 මාර්තු මස දක්වා වූ කෙටි ‘අන්තර් පාලන ආණ්ඩු’ කාලය තුළ, දේශපාලකයන් විසින් මැතිවරණ සටන්වල නිරත වෙමින් එම සීමිත කාලය කා දමනවා වෙනුවට, රටෙහි වත්මන් දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන අතරතුර, තිරසාර සංවර්ධනයක් කරා ගෙන යන වේගවත් ආර්ථික පිබිදීමක් සහ සාමය තීව්‍ර කරන, ‘මැතිවරණ සහ අනෙකුත් හදිසි ක්‍රම වෙනස්කම්’ සිදුකිරීමට එකඟ වී, නව මැතිවරණ ක්‍රමයකට හා ජනතාව පදනම් කරගත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නීතිගත කිරීම සඳහා පිටිය සකස් කිරීමයි.

නමුත් මහ ජනතාව ඉච්චා භංගත්වයට පත්කරමින්, නැවතත් පක්ෂ දේශපාලන යුදපිටියේ දිනපතා සිදුවන, බලු පොර, එදිරිවාදිකම් හා විගඩම්වලින් පැහැදිලිවම පෙන්වන්නේ, එම නුසුදුසු, වංක, ආත්මාර්ථකාමී, දූෂිත සහ ප්‍රතිපත්ති විරහිත දේශපාලකයන් රැලම නැවත වරක් බලයට ඒමට ඇති අසීමිත උන්මාදයයි. එනිසා, තීරණාත්මක ‘ක්‍රම දෝෂ’ (system errors) නිවැරදි නොකර, පවතින ක්‍රමය යටතේම මැතිවරණයක් පැවැත්වුවහොත්, නැවතත් එම දේශපාලකයන් බහුතරයක් පත්වීම ශක්‍රයාටවත් වැළැක්විය නොහැකි වී, රට අඛණ්ඩව අගාධය කරා ගමන් කරනු ඇත.

පසුගිය වසර 74 පුරාවට ඔවුන්ගේ ‘වීරකම්’ වල ඵල අපි අද දක්වා මොනවට අත්විඳිමින් සිටිමු.

තවද, එලෙස පත්වන ආණ්ඩුවකින්, සාමකාමී ‘අරගලය‘ පතන ‘රැඩිකල් ක්‍රම වෙනස්කම්’ අපේක්ෂා කිරීම ‘ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලීමක්’ වනු ඇත. මන්දයත්, ඔවුන්ගේ බහුතරයක්, බල තණ්හාව, ආත්මාර්ථකාමීත්වය, වාචාලකම, හීනමානය සහ ප්‍රචණ්ඩත්වය ප්‍රදර්ශනය කරමින් තම සුපුරුදු ව්‍යාපාරයට අවතීර්ණ වී, සාම්ප්‍රදායික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අභියෝගයක් වන සියලුම ‘ක්‍රම වෙනස්කම්’ ඒකමතිකව ප්‍රතික්ෂේප කිරීමට යොමු වන බැවිනි. එවිට ‘225’ හේ ශාපය නැවතත් කරලියට පැමිණෙනු ඇත!

‘සාමකාමී අරගලයේ’ සහ ඉන් ඔබ්බෙහි සිටින නව තාරුණ්‍ය විසින් ‘225 ම චුත වේවා’ යන සටන් පාඨයට සමගාමීව, තම සය වැදෑරුම් වැඩ පිළිවෙළෙහි අංක 5.2 තුළ, වත්මන් මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ අවශ්‍යතාව බලවත් ලෙස මතු කර ඇත. ඒ අනුව, පහත සාරාංශ ගත කර ඇති පරිදි, සැබෑ ශ්‍රී ලාංකික නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය පිළිඹිබු කරමින්, සාධාරණත්වය, සමානාත්මතාවය සහ කුසලතාව මත පදනම් වූ අවම තීරණාත්මක ‘ක්‍රම වෙනස්කම්’ සිදුකර, කුමන මැතිවරණයක් හෝ පවත්වන ලෙස ‘සර්ව/බහු පාක්ෂික අන්තර් පාලන ආණ්ඩුව’ට නොනවත්වා බල කළ යුතුවේ. ඉදිරියේදී, දේශපාලකයන්ට ශාප කිරීම වැළක්විය හැක්කේ එවිට පමණි.

ඕනෑම මැතිවරණයකට පෙර බලාත්මක කළ යුතු තීරණාත්මක ‘ක්‍රම වෙනස්කම්’ මෙවැනිය.

  1. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥප්තියට අනුව ප්‍රජාතන්ත්‍රවාදී ‘ඡන්ද සමානාත්මතාවය’ සහතික කිරීම. 2. කුසලතා පදනම්ව, ‘රට පළමුවට’ තබන, නිර්ව්‍යාජ ‘දේශපාලනික වෘත්තිකයන්’ පත්වීම සහතික කිරීම සඳහා සියලු පක්ෂවලට අනිවාර්ය අවම සුදුසුකම් හා ලකුණු ලබාදෙන සම්මුඛ පරීක්ෂණ ක්‍රමවේදයක් පැනවීම. 3.පාර්ලිමේන්තුවේ/පළාත් සභාවල කාන්තා හා තරුණ නියෝජනය 20% බැගින් සහතික කිරීමට, සියලු පක්ෂ නාම යෝජනා ලැයිස්තුවල සෑම 5 දෙනකු අතර අවම 01 කාන්තාවක් හා වයස 35 ට අඩු 01 අයෙකු සිටීම. 4. ‘ජාතික ලැයිස්තු’ මන්ත්‍රීන් අරමුණාත්මකව පත්කිරීම සඳහා අනිවාර්ය ක්‍රමවේදයක් නියම කිරීම. 5. පවතින සංකීර්ණ මිශ්‍ර මැතිවරණ (MMV) ක්‍රමයේ අනියම් අනුපාත වෙනුවට, හඳුන්වා දෙනු ලබන සමානුපාතික, කොට්ඨාස හා මධ්‍යම නාම සංචිත යනුවෙන් ශීර්ෂගත නාම යෝජනා ලැයිස්තු අතරින් තෝරාගත් එකක් යටතේ කුසලතා අනුව අපේක්ෂකයන් නම් කිරීමට පක්ෂවලට සමාන ඉඩ ප්‍රස්ථා ලබා දීම. 6. ‘වසර 5ක පක්ෂ මැතිවරණ ප්‍රකාශනය’,නියාමනයකට යටත්, නඩු පැවරිය හැකි ලියවිල්ලක් බවට සංනාම ගත කර, එය බුද්ධිමත් තීරණයක් සඳහා ප්‍රධානතම සාධකය බවට ඡන්ද දායකයාට ඒත්තු ගැන්වීම. 7. පක්ෂ මැතිවරණ‘ප්‍රචාරණය’ සඳහා ‘පොදු උපරිම වියදම් සීමාවක්’ නියම කර, සියලු පක්ෂවලට ‘සමතලා පිටියක්’ සහතික කරන අතර, ප්‍රචාරණය සඳහා මූල්‍ය ශක්තිය නොමැති සුදුස්සන්ටද අවස්ථාවක් උදා කර දීම. 8. ආසන දිනූ පක්ෂ ලබාගත් ජාතික ඡන්ද % අනුව ව්‍යස්ථාපිත අමාත්‍ය ධුර ලබාදී ,‘ස්ථීර ජාතික කැබිනෙට්ටුවක්’ ස්ථාපිත කර, ‘ශ්‍රී ලාංකිකත්ව’ යේ සංකල්පය තිරසාර කිරීම. 9. ‘පැති මාරු ක්‍රමය තහනම් කර, ‘දූෂිත ඩීල්’ රහිත, සදාචාරාත්මක හා සම්මුතිවාදී දේශපාලන සංස්කෘතියක් සහතික කිරීම. 10. පළාත් සභා වඩාත් ශක්තිමත් කර පාර්ලිමේන්තු මන්ත්‍රී කාර්යභාරය හා වරප්‍රසාද සහේතුක කිරීම. 11. පළාත් පාලන මැතිවරණය නිර්දේශපාලනය කර, ගමේ ගරුත්වය ලබන, පිළිගත් හා සමාජශීලී ‘ස්වාධීන’ සභිකයන් පත්කිරීම තුළින් ජනතාවට අපක්ෂපාති, දූෂණයෙන් තොර සේවයක් ලබාදීම. 12. සඵල පිරිවැය පාලන පියවරයන් තුළින් මැතිවරණ ක්‍රියාවලියේ, උපරිම ඵලදායිතාවක් සහතික කිරීම. 13. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා සියලු පූර්ව කටයුතු අවසන් කිරීම. 14. ඉදිරි ඕනෑම මැතිවරණයකට බලපාන පරිදි, ඉහත තීරණාත්මක ‘ක්‍රම වෙනස්කම්’ අනුමත කිරීම ආදියයි.

ඉහත ‘ක්‍රම වෙනස්කම්’ සඳහා රචකගේ යෝජිත ක්‍රමවේදය දැනටමත් ජාතික පුවත්පත්වල පළ වී ඇත. නිගමන නම්, ලංකා ඉතිහාසයේ ඉතා දරුණුතම ආර්ථික ව්‍යසනයට ගොදුරුවී, අසීමිත දුක් විඳින අසරණ ජනතාව මුදා ගන්නා අතරතුර, එම තත්ත්වයට ප්‍රධාන ලෙස හේතු වූ දේශපාලන, ඡන්දදායක හා මාධ්‍ය සංස්කෘතිය වෙනස් කරමින් ‘නූතන නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය’ අනුව වෘත්තීය මට්ටමේ සම්මුතිවාදී සහ ඵලදායී පාර්ලිමේන්තු සංස්කෘතියක් සහතික කරන නව මැතිවරණ ක්‍රමයකට හා ව්‍යවස්ථාවක් බිහි කිරීමට තවදුරටත් කල් නොමරා පිටිය සකස්කළ යුතුය. ඒ සඳහා වියදම් වන්නේ, යෝජිත එක මැතිවරණයක වියදමින් අංශු මාත්‍රයකි. අවශ්‍ය වන්නේ, ස්වාධීන මැතිවරණ කොමිසමක නිසි දායකත්වය හා අවංකව ‘රට පළමුවට’ තබන නියෝජන දේශපාලනික කැපවීමයි.

එසේ හෙයින්, ජාති, ආගම්, කුල හා පක්ෂ භේද මෙන්ම බල ලෝභී ව්‍යාපෘති හා කකුලෙන් ඇදීම්ද වහා නවතා, සියලුම දේශ හිතෛෂී දේශපාලඥයන්, ආගමික නායකයන්, සංවේදී සිවිල් සංවිධාන, ජනතාව හා ජනමාධ්‍යයන් එකාසේ, අවංකව ‘අන්තර්කාලීන සර්ව/බහු පාක්ෂික රජයකට හෝ වැඩපිළිවෙලකට’ කඩිනමින් සඵල ලෙස දායකවී, යථෝක්ත ‘ක්‍රම වෙනස්වීම්’ සම්මුතිවාදීව අනුමත කිරීම අත්‍යවශ්‍යය. සාමකාමී, බුද්ධිමත් ‘අරගලයේ’ තරුණ තරුණියන් විසින් කරලියට ගෙන ආ, කට හඬක් නොමැති ජනතා අපේක්ෂාව එයයි.

මෙම තීරණාත්මක අවස්ථාව මග නොහැර, අප මාතෘභූමිය අරාජික වී ඉතිහාසයේ කුණු කූඩයට වැටීම වළකමු!

බර්නාඩ් ප්‍රනාන්දු
හිටපු නියෝජ්‍ය මහා කළමනාකරු
ලංකා බැංකුව

advertistmentadvertistment
advertistmentadvertistment