හද කම්පනය කරන පොලිස්කාරයාගේ කතාව ‘ඉලා වීෂා පූංචිරා’

192

ජෝෂප් සහ නයාට්ටු යන ප්‍රකට මලයාලම් චිත්‍රපට රචනා කළ තිර රචක ෂාහි කබීර් අධ්‍යක්ෂණය සඳහා පිවිසුනේ ඉලා වීෂා පූංචිරා චිත්‍රපටය නිර්මාණය කරමිනි. එය සැබවින්ම ප්‍රේක්ෂකයා කම්පනය කරන විශිෂ්ට නිර්මාණයක් බව නොකියාම බැරිය. ඒ කතාව සිනමා ලෝලියා නොසිතූ නොපැතූ තැනකට ගෙනයන බව සඳහන් කළ යුතුය. පොලිස්කාරයන් දෙදෙනාගේ ගැටුම, දිස්ත්‍රික්කයක් පුරා විසිර ඇති මියගිය කාන්තාවකගේ සිරුරු කොටස්, අවසානයේ නිමාව කොතනද? එය අප කම්පනය කළ බව නොකියාම බැරිය. ඇත්ත නළුවකු වන සෞබින් සහීර් ‘මධූ’ නමැති පොලිස් නිලධාරියාගේ චරිතයට උපරිම සාධාරණය ඉටුකරන බව නොකියාම බැරිය. ඔහුගේ වේදනාව අපිත් අත්විඳිමු. ඒ සියලු දෙනාම ජීවිතයට යටින් දිවෙන දුක්ඛ ප්‍රවාහයට බිලිවන බැවිනි.

හද කම්පනය කරන පොලිස්කාරයාගේ කතාව 'ඉලා වීෂා පූංචිරා'

ෂාහි කබීර් රාජ්‍ය සම්මානලාභී ලේඛකයෙක් පමණක් නොව සැබෑ ජීවිතයේ පොලිස්කාරයෙකි. ඉලා වීෂා පූංචිරා චිත්‍රපටයේ තිර රචනය කර ඇත්තේ කේරළ පොලිසියේ ඔහුගේ සගයන් වන නිදිෂ් සහ ෂාජි මාරද් විසිනි. පොලිස්කාරයන් තිදෙනකු විසින් තවත් පොලිසියේ දෙදෙනකුගේ කතාව වඩා සුවිශේෂී ලෙස මලයාලම් සිනමාවට පමණක් නොව ලෝක සිනමාවට දායාද කර ඇති බව අනිවාර්යයෙන් සටහන් කළ යුතුමය. මේ තිදෙනාම කොට්ටයම් දිස්ත්‍රික්කයේ අඩි තුන්දහසක් උසින් පිහිටි කඳු මුදුනේ කුඩා රැහැන් රහිත පොලිස් ස්ථානයේ සේවය කර තිබේ. මුළු කොට්ටායම් දිස්ත්‍රික්කයේම රැහැන් රහිත සන්නිවේදනය ලබා ගන්නා මෙම ස්ථානය රිපීටර් ස්ටේෂන් ලෙස හඳුන්වයි. ලෝකයෙන් හුදකලාව ඇති වැස්සට හෙණ පතිතවන මේ පොලිස් ස්ථානයේ අත්දැකීම වඩා හොඳින් සිනමා පටයෙන් එළිදක්වා ඇත. එය දකින අපේ ඇඟේ හිරිගඩු පිපෙයි. ඇත්තෙන්ම 95 වැනි ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම ගීතයට සම්මාන දිනාගත් තෙලිඟු ‘නාටු නාටු’ ගීතය ගැන දැන් ලොවම කතා කරයි. එහෙත් ඔස්කාර් සම්මාන දිනා ගතයුතු සිනමාපට නිපදවෙන්නේ කේරලයෙන් බව කිව යුතුය. ඒ තරමට මලයාලම් සිනමාව ඉදිරියට පැමිණ ඇත. ඔවුහු මනුෂ්‍ය අත්දැකීම, ජීවිත ඛේදය සිනමාපටයට නඟන්නේ කිසිවකු බලාපොරොත්තු නොවන ආකාරයටය. එය ඒ සිනමාකරුවන්ට සුවිශේෂී දක්ෂතාවයකි. එසේම නළු නිළියෝද තරු නොවෙති. තරුවලට රංගනය නොව නැටුම් නම් ඉදිරිපත් කළ හැකිය. එය වෙනම කතාවකි. සිය ත්‍රාසජනක චිත්‍රපටය ගැන කතා කරන ෂාහි කබීර් පවසන්නේ, “එය පොලිසිය ගැන නොවේ, එය ජෝසප් සහ නයාට්ටු දෙකටම වඩා වෙනස් ය. මේක පුද්ගලික චිත්‍රපටයක් එයට දේශපාලන පසුබිමක් නැහැ.

ඇත්තෙන්ම පොලිස් ස්ථානය යනු සෘණාත්මක ප්‍රශ්නවලින් පිරුණු ස්ථානයක්. එහි සේවය කරන අය වශයෙන් මේවා අපගේ මානසික සෞඛ්‍යයට බලපානවා. එය මානසික අවපීඩනය හා සාංකාව ඇති කරනවා. ඒක ඇත්ත යථාර්ථයක්. ඇත්තෙන්ම අධක්ෂවරයා කියන කතාව වඩා සජීවීව ඉදිරිපත් කරනුයේ ‘මධු’ නමැති පොලිස් නිලධාරියාගේ චරිතය හරහාය. ඔහු ලිංගික දුර්වලතාවයකින් පෙළෙන නිසා විවාහ ජීවිතය අසාර්ථකය. බිරිඳ අමෘතා වෙනත් සබඳතාවයක් ගොඩනඟාගෙන ඇත. ඒ රහස් පෙම්වතා නිසා අමෘතා ගැබ්ගෙන තිබේ. ඒ සොර සැමියා අන් කවරෙක්වත් නොව තමා සමගම එකට සිටින ‘සුධී’ නමැති පොලිස් නිලධාරියා බව හෙළිවන්නේ පසුවය. එහෙත් මොහු තවස් ස්ත්‍රියක් හා විවාහයට සූදානම් වේ. ගැබ්ගත් අමෘතා එල්ලී සියදිවි නසාගෙන සිටින අයුරු ගෙදරට ගිය මධු දකී. එයින් බලවත් කම්පනයට පත්වන ඔහු සිදු කරන්නේ කුමක්ද? වඩා බිහිසුණු කතාව එළඹෙන්නේ මෙයින් පසුවය. එය හෙළි කිරීම මේ චිත්‍රපටය නැරඹීමට සිටින අයට කරන අසාධාරණයකි. එහෙත් සටහන් කළ යුතු එකම තැනක් ඇත. එය චිත්‍රපටයේ අවසාන දර්ශනයයි. එහි කම්බි වටේ පැටලුණු ඉරීගිය ෂර්ට් කැබැල්ල සුළඟේ පාකර හරිමින් පොලිස් ස්ථානාධිපතිවරයා ඉහළට දැනුම් දෙන්නේ ‘සුධී’ මියයන්නේ හෙණ වැදීමෙන් බවයි. එය චිත්‍රපටයේ කූට ප්‍රාප්ත අවස්ථාවකි. එක් සොර සැමියකුට දඬුවම් ලැබීම මේ පොලිස් නිලධාරියාටත් යම් කුරිරු සතුටක් ලැබිය හැකි අවස්ථාවකි. (ඔහුගේ බිරිඳද රියැදුරු සමග පැනගොස් තිබේ) අපේක්ෂා භංගත්වයයි ඔහුට පොදු වූවක් නම් නොවේ. එහි හරි

වැරැද්ද ගැන විමර්ශන කිරීම අපට අවශ්‍ය නැත. හිස් ජීවිත සමගම ඉරුනු ෂර්ට් කැබැල්ල සුළඟේ පාවී යෑමත් අතර ඇත්තේ විශේෂ සම්බන්ධයකි. නමුත් මේ සියලු දර්ශන වඩා හොඳින් ඉදිරිපත් කරමින් මෙහි අධ්‍යක්ෂ ෂාහි කබීර් සිනමා රසිකයා කම්පනයට පත්කරයි. මේ සටහන ලියන මමද එසේ කම්පනයට පත්වූයෙක්මි. අවට ලෝකයේ සිදුවන දෙයට වඩා චිත්‍රපටය අවසානයේ සිදුවූයේ කුමක්දැයි විනාඩි ගණනක් තිස්සේ තනිව කල්පනා කරමින් සිටියෙමි. එය සැබවින්ම නිර්මාණකරුගේ දක්ෂතාවයයි. මලයාලම් චිත්‍රපට බොහොමයක් වඩා සුවිශේෂ වන්නේ ඒ නිසාය. ‘නයාට්ටු’ චිත්‍රපටයද පොලිස් නිලධාරීන් දෙදෙනකු හා නිලධාරිනියක පිළිබඳ කතාවකි. දේශපාලන අධිකාරියේ බල ව්‍යාපෘතියක් හේතුවෙන් මොවුන් ගොදුරු බවට පත්වේ. මේ නිසා එක් නිලධාරියෙක් සියදිවි නසාගන්නා අතර අනෙක් දෙදෙනාට සිරබත් කන්නට සිදුවේ. එය ඛේදනීය අවසානයකි. නමුත් නයාට්ටු චිත්‍රපටයට වඩා ‘ඉලා වීෂා පූංචිරා ’ බොහෝ ඉදිරියෙන් බව සටහන් කළ හැකිය. එහෙත් මම තවමත් ඉතාම අශාවෙන් ‘නයාට්ටු’ චිත්‍රපටයේ Appalaale නම් මලයාලි ගීතය රසවිඳිමි. ඒ ගැන උරණ නොවන්න.

● චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment