හන්තානේ හැදූ “බයෝ ෆිල්ම්” ක්‍ෂුද්‍රජීවී ජෛව පොහොර වී වගාව සරු කරයි

891

මහනුවර – හන්තානේ පිහිටා ඇති මූලික අධ්‍යයන ආයතනයේ සොයාගැනීමක් ලෙස 2002 වසරේදී මහාචාර්ය ගාමිණි සෙනවිරත්න මහතා ඇතුළු පර්යේෂණ කණ්ඩායම විසින් විදු ලොවට හඳුන්වා දුන් දිලීර-බැක්ටීරියා මිශ්‍ර “ජෛව පටල” (Bio Film) තාක්ෂණය පිළිබඳව අද වන විට ඇමෙරිකාව, බ්‍රසීලය, කැනඩාව, ඉන්දියාව, ඉන්දුනීසියාව හා යුක්‍රේනය වැනි රටවල් විශේෂ අවධානය යොමුකර ඇත. ඒ මෙම තාක්ෂණය ඔස්සේ නිපදවිය හැකි දහසකුත් දේ අතර තවත් එක් නිෂ්පාදනයක් වන “ජෛව පටල (Bio Film) ජෛව පොහොර” මගින් ලබාගත හැකිව තිබෙන සුවිශේෂී කෘෂිකාර්මික වරප්‍රසාද නිසාය.

හන්තානේ හැදූ “බයෝ ෆිල්ම්” ක්‍ෂුද්‍රජීවී ජෛව පොහොර වී වගාව සරු කරයි

මහාචාර්ය ගාමිණී සෙනෙවිරත්න මහතා ඇතුළු පර්යේෂණ කණ්ඩායම විසින් පේටන්ට් කර ඇති මෙම සොයාගැනීම ශ්‍රී ලංකාව මගින් ලෝකයට හඳුන්වා දෙන තාක්ෂණයක් වන අතර, මෙහිදී සිදුකරනු ලබන්නේ වී, තේ, එළවළු හෝ කුමන මාදිලියක වගා මාධ්‍යයක් තුළදී හෝ බෝග සඳහා ලබාදෙන පෝෂක නොහොත් පොහොර, පිරිමැසුම්දායක අන්දමින්, කාර්යක්ෂමව බෝගයට උරාගැනීමට සැලැස්වීමය. එය සිදුකරනු ලබන්නේ විද්‍යාගාර වගා මාධ්‍යයක් තුළදී වගා කර සම්මිශ්‍රණය කරනු ලබන දිලීර-බැක්ටීරියා ක්ෂුද්‍ර සහජීවනයක් මගිනි. එනම්, ස්වභාවික වනාන්තරයක සිදුවන අන්දමෙන්ම යම් බෝගයකට, ශාකයකට හෝ රූස්ස ගස් කොළන් සහිත පරිසරයක පසේ සිදුවන ජීර්ණ ක්‍රියාවලිය නම්, ක්ෂුද්‍රජීවී ක්‍රියාවලියකි. එසේම, එසේ ජීර්ණය කිරීමෙන් ලැබෙන නයිට්‍රජන්, පොස්පරස් හා පොටෑෂියම් සහිත ප්‍රධාන හා අංශු මාත්‍රික පෝෂක (මූලද්‍රව්‍ය) ශාකයන්ට උරාගැනීමට අවශ්‍ය ජෛවීය ක්‍රියාවලිය සිදුකරනු ලබන්නේ ක්ෂුද්‍ර ජීවීන් මගිනි. ඒ සඳහා සුවිශේෂී ක්ෂුද්‍ර ජීවීන් කාණ්ඩ පසේ ස්ථානගතවී සිටී. සිංහරාජය වැනි වනාන්තරයක අඩි 100-200 රූස්ස ගසකට පවා වැඩෙන්නට පෝෂණය සපයනු ලබන්නේ මෙවන් ඇසට නොපෙනෙන ක්ෂුද්‍ර ජීවීන් විසිනි.

හන්තානේ හැදූ “බයෝ ෆිල්ම්” ක්‍ෂුද්‍රජීවී ජෛව පොහොර වී වගාව සරු කරයි
මහාචාර්ය ගාමිණී සෙනෙවිරත්න
 

මහාචාර්ය ගාමිණී සෙනෙවිරත්න මහතා විසින් සොයාගන්නට යෙදුණු මෙම ජෛව පටල තාක්ෂණය අනතුරුව වගා බිම් සඳහා යොදා ගැනීමේ හැකියාව සොයා බැලෙන අතර, සත්‍ය වශයෙන්ම මේ මගින් රසායනිකද, කාබනිකද නොව සියලු පොහොර යොදා කරනු ලබන වගාවන්හි පොහොර කාර්යක්ෂමතාව වැඩිකරන අපූරු ප්‍රතිකාරකයක් බව හඳුනාගන්නේ ඉන් පසුවය. 2005 – 2008 දක්වා කරන ලද මෙම ක්ෂේත්‍ර පර්යේෂණ නිමවූ සැණින් මෙම Bio Film (ජෛව පටල) තාක්ෂණය වාණිජ නිෂ්පාදනයක් ලෙස වැඩි ප්‍රමාණවලින් වගා බිම් වෙත ලබාදීමේ අවශ්‍යතාව ඉටුකරනු වස් රාජ්‍ය- පෞද්ගලික (Public Privet Partnership) එකමුතුව සඳහා අත හිත ලබාදෙන්නේ ප්‍රකට ව්‍යාපාරිකයකු වන සමන්ත කුමාරසිංහ මහතා සහ ඔහුගේ පුත් සමුදිත කුමාරසිංහ මහතාය. එනම්, ප්‍රකට දේශීය සන්නාමයක් වන නේචර්ස් සීක්‍රට් සමාගමට අනුබද්ධිතව “ලංකා බයෝ ෆිල්ම් ෆටිලයිසර් පුද්ගලික සමාගම” පිහිටුවා අනතුරුව නිෂ්පාදන ප්‍රමාණය වැඩිකරන අතර, මහාචාර්ය ගාමිණී සෙනෙවිරත්න, මූලික අධ්‍යයන ආයතනයේ ජ්‍යෙෂ්ඨ තාක්ෂණික නිලධාරී අනුර පතිරණ ඇතුළු කණ්ඩායම තවදුරටත් වෙනත් බෝග සඳහාද මෙම ප්‍රතිකාරකය යෙදීම සිදුකරගෙන යනු ලැබීය. ඒ අනුව පළමුව තේ වගාවේ අත්හදා බැලීම් සාර්ථක කර Bio Film දැන් වී වගාවට යෙදීම පිළිබඳව ක්ෂේත්‍ර පර්යේෂණ අවසන් අදියර දක්වා රැගෙන විත් ඇත.

හන්තානේ හැදූ “බයෝ ෆිල්ම්” ක්‍ෂුද්‍රජීවී ජෛව පොහොර වී වගාව සරු කරයි

මෙහිදී හඳුනාගෙන ඇත්තේ රසායනික පොහොර දිගින් දිගටම යොදා ක්ෂුද්‍ර ජීවීන් හීන වූ පසේ පවා නැවත ක්ෂුද්‍ර ජීවීන් වර්ධනය කර, වැඩි අස්වැන්නක් ලබන්නට හා පොහොර ප්‍රමාණය කාර්යක්ෂමව උරාගන්නට සැලැස්වීම මගින් යොදන පොහොර ප්‍රමාණය 50% දක්වා අඩුකරන්නට මේ මගින් ඉතා ඉහළ හැකියාවක් බෝගයකට ලබාදෙන බවයි. මෙහිදී යොදන්නේ සත්‍ය, ගුණාත්මක කාබනික පොහොර නම් තවදුරටත් වැඩි කාර්යක්ෂමතාවකින් පොහොර උරාගැනීම සිදුවන බව හා වගා බිමේ හිතකර ක්ෂුද්‍ර ජීවීන්ගෙන් බහුල වී, ගැඩවිල් පණුවන් ගැවසෙන සාරවත් පසක් දක්වා ඉතා ඉක්මනින් දියුණු කළ හැකි බවයි.

100% ක්ම ස්වභාවික, කාබනික, රසායනික ද්‍රව්‍යවලින් තොර, දේශීය අමුද්‍රව්‍යවලින් නිස්සාරණය කරගනු ලබන මෙම විශේෂ ජෛව පටල ක්ෂුද්‍ර ජීවී ප්‍රතිකාරකය සැබවින්ම පෝෂණය සපයන පොහොරක් නොව, තිබෙන පෝෂක නිවැරදිව හා කාර්යක්ෂමව සොබා දහමේ රිද්මයට ශාකයකට ලබාදෙන ප්‍රතිකාරකයක් බව මෙහි නිමවුම්කරුවන් වන මහාචාර්ය ගාමිණී සෙනෙවිරත්න හා අනුර පතිරණ යන මහත්වරු පවසති.

ඔවුන් මේ බව පැවසුවේ ඉකුත්දා ඉබ්බාගමුව හා මැල්සිරිපුර ගොවිජන සේවා බල ප්‍රදේශවල කුඹුරු සඳහා Bio Film ජෛව පොහොර යොදා සිදුකරන ලද ක්ෂේත්‍ර පර්යේෂණ වල ප්‍රගතිය විමසීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

”2022/23 රජයේ “පරිසර හිතකාමී පොහොර වැඩසටහන” ප්‍රතිපත්තිය යටතේ දිවයින පුරා කුඹුරු අක්කර 280,000 ක බයෝ ෆිල්ම් ජෛව පොහොර භාවිතය අප ව්‍යාප්ත කළා. කිලිනොච්චිය, වවුනියාව, මන්නාරම හා මුලතිව් දිස්ත්‍රික්ක ඇතුළු වී වගාකරන දිස්ත්‍රික්ක රැසක් මීට ඇතුළත් වුණා. මේ වපසරිය තුළ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගොවිජන සේවා බලප්‍රදේශ 10 ක කුඹුරු අක්කර 150,000 ක අපි මේ ජෛව පොහොර ක්ෂේත්‍ර යෙදීම සිදුකළා. මේ ගෙවී යන්නේ එහි 6 වැනි කන්නය. ඇත්තටම පොහොර ඉතිරියත්, වගා අස්වැන්න වැඩිවීමත් වගා සරුසාර වීමත් දක්නට ලැබෙනවා” යයි. සාකච්ඡාවට එක්වූ ව්‍යාපෘති කළමනාකරු උෂාන් ද සිල්වා මෙහිදී පැවසීය.

මෙම සාකච්චාව සඳහා බතලගොඩ හා මැල්සිරිපුර ගොවිජන සේවා බලප්‍රදේශවල ගොවිජන සේවා නිලධාරීන් මෙන්ම බයෝ ෆිල්ම් ජෛව පොහොර භාවිතා කර ඉන් ප්‍රතිලාභ ලැබූ ගොවීන් රැසක් ද පැමිණ සිටි අතර, එහිදී Bio Film යෙදූ කුඹුරු මහාචාර්ය ගාමිණී සෙනෙවිරත්න ඇතුළු මූලික අධ්‍යයන ආයතනයේ පරීක්ෂාවට ලක්කෙරිණි.

එහිදී අදහස් දැක්වූ මහාචාර්යවරයා සහ තාක්ෂණ නිලධාරිවරයා පැවසුවේ මෙම ජෛව පොහොර ප්‍රතිකාරකය හුදෙක් පොහොරක් නොව, රසායනික හෝ කාබනික පොහොර යොදන අතරේ කුඹුරට යොදන පෝෂක කාර්යක්ෂමතාව වැඩිකරන්නක් බවයි. “නමුත් මෙහි නිසි ප්‍රතිපල ගන්න ප්‍රමිතිගත පොහොර යොදන්න ඕන. විශේෂයෙන්ම කාබනික පොහොර ප්‍රමිතිගත වෙන්න ඕන. එහිදී රසායනික පොහොර භාවිතය නම් 30%-50% අතර ප්‍රමාණයකින් අඩුකරගන්න පුළුවන් බව හා වගාවේ පළදාව 10%-30% කින් වැඩිකරගන්නත් පුළුවන්. ශක්තිමත් මූල මණ්ඩලයක් ඇතිවීම, වායුගෝලයේ නයිට්‍රජන් තිර කර ශාකයට ලබාදීම වැඩිකිරීම, පසේ වගාවට හිතකර ක්ෂුද්‍ර ජීවීන් ගහණය වැඩිවීම, හා ගැඩවිල් පස් ඇති වීම සිදුවන බව පර්යේෂණවලින් සනාථ වී ඇති බව මෙහිදී ඔවුහු පැවසූහ.

මේ පිළිබඳව අදහස් දැක්වූ මැල්සිරිපුර නෙල්ලිය, වෙල්ගල ග්‍රාමයේ ගොවියකු හා ප්‍රදේශයේ කෘ ප නි ස නිලධාරියකු වන ගැමුණු ජයතිලක තම කුඹුරට අපව රැගෙන ගොස් පැවසුවේ තමන් මේ වනවිට කන්න 3 ක් නොකඩවා Bio Film ජෛව පොහොර භාවිතා කර ඉතා හොඳින් තම වගාවේ වෙනස වටහා ගැනීමට හැකිවූ බවයි. එනම්, අක්කර 2 ට ලබා දෙන රසායනික පොහොර කිලෝ ග්‍රෑම් 98 කිලෝග්‍රෑම් 42 ට බස්සවා, හොඳින් පඳුරු දැමූ අස්වැන්න වැඩි ගොයමක් ලබාගත් බවයි. “මේ බලන්න, කුඹුරේ පඳුරක් පඳුරක් පාසා ගැඩවිල් පස් දාලා. පස කළුපාට වෙලා. කුඹුරට බහිනකොට ඉස්සර වගේ නෙමෙයි දැන් එරෙනවා. පස සරු වෙලා. ගොයම පඳුරු දාලා. කරල් වැඩීයි. බෝල් නෑ. ඉතිං තව මොනවද..? අක්කරයට ජෛව පොහොර ලීටරයයි දාන්නෙ. අපට නිකං දුන්නෙ. මූලික බිම් සැකැස්මේදී මිලි ලීටර් 500 ක් දැම්මා. බන්ඩියේදී ඉතිරි මිලි ලීටර් 500 දැම්මා. කවුරු මොනවා කිව්වත් මට නම මේ ජෛව පොහොරෙන් සෙතක් වුණා.” ගැමුණු කියයි.

“අපි කන්න දෙකක් වැඩකළා ජෛව පොහොර එකතුකරලා. ඇත්තටම ගොයම නිල් පාට වෙලා හින්ද පොහොර 50% යි ගියේ. බොරුවට පොහොර දාන්න ඕන නැහැනේ. පස සරු වෙලා. ගැඩවිල් පස් දාල වගේ මුල් ළඟ පස් හැදිලා. පසත් සරුයි, ගොයමත් සරුයි.” කීවේ ඉබ්බාගමුව, තලගස්වැව වැලිඉස්සර හා ගොරොක්ගහකුඹුර වගාකරන ආර්. ඒ. ආරියදාස ගොවි මහතාය.

මහාචාර්ය ගාමිණී සෙනෙවිරත්න ප්‍රමුඛ හන්තාන මූලික අධ්‍යයන ආයතනය සොයා ගත මෙම අපූරු ජෛව ප්‍රතිකරකයෙන් අද රටේ නන් දෙස කුඹුරු සරු වනු පෙනේ. නමුත් ඉන් සාර්ථක ප්‍රතිපල ලබාගැනීමට නම් වගාවට සත්‍ය වශයෙන්ම ප්‍රමිතිගත කාබනික පොහොර යෙදිය යුතුවේ. එවිට නැවත පසට ක්ෂුද්‍ර ජීවීන් වැඩි වැඩි වශයෙන් එකතුවන නිසා පස සජීවී, සරු පසක් බවට පත්වේ. එවිට මේ හිතකර ක්ෂුද්‍ර ජීවී සහජීවනය තවදුරටත් වගාව සාර්ථක කරනු ඇත. මූලික අධ්‍යයන ආයතනය කියන පරිදි ඇමෙරිකාවේ වගා බිම් සඳහා යෙදීමට දැනටමත් මෙම Bio Film ජෛව පොහොර තාක්ෂණයේ සහාය ඉල්ලා ඇත. මෙන්ම පෙර දැක්වූ රටවල දැනටමත් ක්ෂේත්‍ර සාම්පල වශයෙන් භාවිතයට එක්කර ඇත. මෙවන් තත්ත්වයක් තුළ රටේ අටුකොටු පිරවීම සඳහා මෙවන් සමයක පොහොර ඉතිරි කර වැඩි අස්වැන්නකට යෑමට මේ කාර්යක්ෂම පොහොර ප්‍රතිකාරකය ඖෂධයක් බව අපගේ අදහසයි.

  • ජගත්
advertistmentadvertistment
advertistmentadvertistment