හන්දිපත් වේදනාවට බලපාන හේතු

1330

දණහිස සන්ධිවල වේදනාවක් ඇති වනවිට හෝ දෑත් දෙපාවල ඇඟිලි දිග හැරීමේදී, නැවීමේදී වේදනාවක් ඇති වනවිට අපට එකවරම මතකයට නැෙඟන්නේ හන්දිපත් රුදාව එසේත් නැත්නම් ආතරයිටීස් රෝගය ඇති වී දැයි කියාය. ඇත්තෙන්ම මේ සියලූ වේදනාවන්ට හේතුව ආතරයිටීස් දැයි කියා විමසා බලමු.

 වෛද්‍යතුමනි, සිරුරේ දණහිස, වැලමිට වැනි විශාල සන්ධිවල සහ දෑත් දෙපාවල කුඩා සන්ධිවල වේදනාව ඇතිවීමට බලපාන හේතු මොනවා ද?

 ආයුර්වේදයේ සහ දේශීය වෛද්‍ය ක‍්‍රමයේ සන්ධි ආශ‍්‍රිත රෝගවලට හේතු ඉතා හොඳින් හඳුනාගෙන ඒවා වර්ගීකරණය කර ඇත.

 නමුත් වර්තමානයේ බොහෝ දෙනා සෑම සන්ධි රෝගයකටම හේතුව ආතරයිටීස් යැයි පැවසීමට හුරු වී තිබේ. එය වැරදි ආකල්පයකි.

 සන්ධියක ක‍්‍රියාකාරීත්වයකට බාධාවන හෝ පීඩාවට පත්වන කුමක් හෝ වෙනස්වීමක් සන්ධි රෝගයක් ලෙස හැඳින්විය හැකිය. ඒ සඳහා බලපාන සුලබ හේතු කිහිපයක් ඇත.

 සන්ධිගත වාත රෝග

 වයසට යනවිට සන්ධිවල සන්ධිගත වාත රෝගය හෙවත් පොදුවේ පවසන ආතරයිටීස් රෝගය මතුවේ.

 එහිදී අස්ථි දිරීමට ලක්වීම, කාටිලේජ ගෙවීයෑම, අස්ථි එකිනෙක ගැටීම වැනි රෝග හටගනී. මෙම රෝග බහුලවම දකින්නට ලැබෙන්නේ මැදිවියට පත්වන විටදීය.

 හදිසි අනතුරු

 සන්ධිවල ක‍්‍රියාකාරීත්වයට බාධා ඇතිකරන බාහිරින් සිදුවන විවිධ අනතුරු නිසා ද සන්ධි රෝග මතුවේ.

 වැටීම්, තැලීම්, පහරදීම්වලට ලක්වීම, හදිසි රිය අනතුරු වැනි හේතු ඉන් කිහිපයකි. මෙවැනි අනතුරු නිසා ද බහුලව සන්ධිවල ක‍්‍රියාකාරීත්වයට බාධා මතුවේ.

 විෂබීජ ඇතුළු වීම

 යම් යම් විෂබීජ සන්ධි තුළට ඇතුළු වීම නිසා සන්ධිවල ක‍්‍රියාකාරීත්වයට බාධා මතු වේ. නිදසුනක් ලෙස අප පවසන සෙප්ටික් ආතරයිටීස් රෝග දැක්විය හැකිය.

 මෙම තත්ත්වය බාල, තරුණ, මැදිවිය ආදී ඕනෑම අවධියක දී මතුවිය හැකිය.

 ආමවාත රෝග

 ආමවාත රෝගයේ දී සිදුවන්නේ අපගේ සිරුරින් සන්ධිවල ක‍්‍රියාකාරීත්වයට එරෙහිව ප‍්‍රතික‍්‍රියාවක් මතුවීමය. මෙය ජනාමය හේතු නිසා හටගන්නා පරම්පරාගත රෝගයකි. මෙහි දී සිරුරින් ඇතිවන වැරදි සංඥා නිසා සන්ධිවල ක‍්‍රියාකාරීත්වයට එරෙහිව සිරුරින්ම හටගන්නා වැරදි ප‍්‍රතික‍්‍රියාවන් නිසා සන්ධිවල ක‍්‍රියාකාරීත්වය දුර්වල වේ. මෙය වයස් භේදයකින් තොරව බාල, මහලූ, ඕනෑම වයසක දී මතුවිය හැකිය. ජානමය රෝගයක් නිසා මෙය අන් අයට බෝ නොවේ.

 බටහිර වෛද්‍ය ක‍්‍රමයේ දී මෙය රුමටොයිඞ් ආතරයිටීස් ලෙස හඳුන්වයි.

 නිසි ප‍්‍රතිකාර ලබා නොගත්විට මෙම රෝගයේ දී අතපය ඇඟිලි ඇදවීමට ලක්වීම, කොරවීමට ලක්වීම ආදී අපහසුතා මතුවීම දැකිය හැකිය.

 වෛද්‍යතුමනි, මෙවැනි සන්ධි රෝග සඳහා ඇති ආයුර්වේද ප‍්‍රතිකාර මොනවා ද?

 ආයුර්වේදයේ සහ දේශීය වෛද්‍ය ක‍්‍රමයේ සන්ධිගත රෝග සඳහා අති සාර්ථක ප‍්‍රතිකාර පවතී. මෙම ප‍්‍රතිකාර වසර දහස් ගණනක සිට භාවිත කර සාර්ථක ප‍්‍රතිඵල ලැබූ ඒවාය. ඒනිසා සන්ධිගත රෝගයක් මතු වූවිට මුල් අවස්ථාවේදීම නිවැරදි ආයුර්වේද ප‍්‍රතිකාර සඳහා නිසි සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වෙත යොමුවීමෙන් ඒවා සුවකර ගත හැකිය.

 එහිදී සන්ධි ක‍්‍රියාකාරීත්වයට බාධා ඇතිවීම සඳහා බලපා ඇති හේතුව හඳුනාගත් පසු වෛද්‍ය ප‍්‍රතිකාර ලබාදේ. මෙම ප‍්‍රතිකාරවල දී බාහිර ස්ථානීය ප‍්‍රතිකාර සහ අභ්‍යන්තර ඖෂධ ප‍්‍රතිකාර යන ආකාර දෙකට අනුව ප‍්‍රතිකාර කිරීම සිදුකරයි.

 තෙල් සාත්තුව, උණු පොට්ටනිවලින් තැවීම, පත්තු බැඳීම, මැල්ලූම් බැඳීම ආදී ලෙසින් රෝගයේ ස්වභාවය අනුව ස්ථානීය ප‍්‍රතිකාර කරනු ලබයි. මෙම ප‍්‍රතිකාර බටහිර වෛද්‍ය ක‍්‍රමයේ දී නවීන තාක්‍ෂණය භාවිත කර සිදුකරනු දැකිය හැකිය.

 කසාය වර්ග ආදිය පානයට ලබාදීමෙන් අභ්‍යන්තර ප‍්‍රතිකාර සිදුකරයි. එවිට රෝගය සුව වීම ඉක්මන් වේ.

 මෙලෙස සිදුකරන ප‍්‍රතිකාර මගින් ඕනෑම සන්ධිගත රෝගයක් ඉක්මනින් සුවපත් කිරීමට ආයුර්වේද සහ දේශීය වෛද්‍ය ප‍්‍රතිකාර ක‍්‍රමවලට හැකියාව ඇත.

හන්දිපත් වේදනාවට බලපාන හේතු
advertistmentadvertistment
advertistmentadvertistment