හඳුනගෙන සති දෙකයි: මුහුණු පොතේ යාළුවා ලක්‍ෂ 44ක් ගිලලා – සැකකරු අධිකරණයට

708

මුහුණු පොතෙන් හඳුනා ගෙන දෙසතියක දී ඇති කර ගත් විශ්වාසයක් මත රුපියල් හතළිස් හතර ලක්ෂ අසූපන්දාහක මුදලක් තරුණයකුගෙන් වංචනික ලෙස තම බැංකු ගිණුමට බැර කර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට ඉංජිනේරු ශිෂ්‍යයකු පෑලියගොඩ පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරික තරුණයකුගේ විදෙස් ගත වීමේ සිහිනය ඉටුකරදීමට පොරොන්දු වූ මුහුණුපොතෙන් හඳුනාගත් මිතුරා සම්බන්ධයෙන් ඔහු විසින් පෑලියගොඩ පොලිසියේ විශේෂ දූෂණ මර්දන ඒකකයට 10 වැනිදා කළ පැමිණිල්ලකට අනුව මෙම සැකකරු 13 වැනිදා අත්අඩංගුවට ගෙන ඇත.

බිනර පෝදිනය යෙදී තිබූ පසුගිය 10 වැනිදා ව්‍යාපාරික තරුණයා කිරිබත්ගොඩ ප්‍රදේශයේ පිහිටි අධිශ්‍රේණිගත පෞද්ගලික මූල්‍ය ආයතනයකින් රුපියල් හතලිස් හතර ලක්ෂ අසූදාහක මුදල මුහුණු පොතේ මිතුරාගේ ගිණුමට බැර කර ඇති අතර එම මුදල සිය පියා සතුව තිබූ වැගන් ආර් වර්ගයේ වාහනයක් විකිණීමෙන් සොයා ගෙන ඇත.

මුදල් ගිණුමට බැර කිරීමෙන් අනතුරුව තමන් කිසිවිටක නුදුටු පුද්ගලයකු විශ්වාස කර මෙතරම් විශාල මුදලක් කිසිම ගිවිසුමක් නොමැතිව තැන්පත් කිරීම නොකළ යුතුව තිබුණේ යැයි පසුතැවිලි වී නැවත බැංකුවට ගොස් මුදල් ගෙවීම නතර කරන ලෙස ඉල්ලා සිටිය ද එය කළ නොහැකි බව එම මූල්‍ය ආයතනය ඔහුට පැවසීම නිසාත් මුදල් තැන්පත් කර විනාඩි පහළොවක් තුළ රුපියල් හය ලක්ෂ අසූදහසක් හැර තිස් අට ලක්ෂයක මුදලක් සැකකරු විසින් රැගෙන තිබූ නිසාත් ව්‍යාපාරික තරුණයා එදින සවස තුනට පමණ පෑලියගොඩ පොලිසියේ විශේෂ දූෂණ විමර්ශන ඒකකයට පැමිණ පැමිණිලි කර ඇත.

බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතා ඇතුළු උසස් පොලිස් නිලධාරීන්ගේ උපදෙස් මත වහාම ක්‍රියාත්මක වූ විශේෂ දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උපුල් රංජිත් ලියනගේ මහතා ඉහත පැවසූ මූල්‍ය ආයතනයේ ප්‍රධාන ශාඛාවෙන් කරන ලද ඉල්ලීමකට අනුව ඒ වන විට ගිණුමේ ඉතිරිව තිබූ හය ලක්ෂ අසූහතර දහසක් වූ මුදල ගෙවීම තහනම් කරන ලෙස නියෝග ලබා ගෙන ඇත. සැකකරු 11 වැනිදා ඉරිදා ගිණුමේ ඉතිරි රුපියල් ලක්ෂ හතකට ආසන්න මුදල ආපසු ගැනීමට උත්සාහ කර ඇති අතර ගිණුම තහනම් කර ඇති බව සඳහන් වූ බැවින් එය සිදුකළ පොලිස් පරීක්ෂකවරයාට දුරකථන ඇමතුමක් ලබාදී නීත්‍යානුකූල ක්‍රමයට තමා මුදල් ගනුදෙනු කර ඇති බවත් එසේ තිබියදී එය තහනම් කළ හේතුව කුමක්ද කියා විමසා ඇත.

සැකකටයුතු ගිණුමක් පොලිසියේ බලය මත තහනම් කර ඇති බවත් හේතුව පැවසීමට පොලිසියට පැමිණෙන ලෙසත් පොලිස් පරීක්ෂකවරයා සැකකරුට පවසා ඇති අතර 13 වැනිදා පොලිසියට පැමිණි සැකකරු ප්‍රශ්න කිරීමෙන් පසුව පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු ඉහත සඳහන් කළ පෞද්ගලික මූල්‍ය ආයතනයේ හිඟුරක්ගොඩ කවුඩුල්ල ශාඛාවේ ගිණුම් හිමිකරුවකු වන අතර ඔහු ලංකාවේ සිට විදෙස් මුදල් හුවමාරු වන විවිධ රහසිගත ජාල අතරින් එක් ජාලයක නියෝජිතයෙකි. පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඉංජිනේරු පාඨමාලාවක් හදාරන ශිෂ්‍යයකු බවට ද අනාවරණය වී ඇත.

ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ කරුණු අනුව 13 වැනිදා අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (14 වැනිදා) මහර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

බස්නාහිර පළාත උතුර භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ විශේෂ අධීක්ෂණය මත කැලණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. පී. ඒ. ක්‍රිෂාන්ත, සහකාර පොලිස් අධිකාරී මහින්ද විල්ලෝරාරච්චි, පෑලියගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කළුවිතාරණ යන නිලධාරීන්ගේ උපදෙස් මත පෑලියගොඩ පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උපුල් රංජිත් ලියනගේ, පොලිස් සැරයන්වරුන් වන (47575) ආනන්ද, (35433) මහේෂ්, (33983) බංඩාර, (12011) ජයවර්ධන, පොලිස් කොස්තාපල්වරුන් වන (33782) කුලසේකර, (21957) දිසානායක, කාන්තා පොලිස් කොස්තාපල් (12636) මලිති යන නිලධාරීහු මෙම මුදල් වංචාව සම්බන්ධයෙන් විමර්ශන සිදු කළහ.

කැලණිය මංගලා මදුරප්පෙරුම

advertistmentadvertistment
advertistmentadvertistment