හඳුන්ගොඩගේ ලැප් එක ඉල්ලපු සීඅයඩීය උසාවියට කැඳවයි

229

සමාජ මාධ්‍ය ක්‍රිකාකාරිකයකු වන දර්ශන හඳුන්ගොඩ මහතාගේ ලැප්ටොප් පරිගණකය හා ජංගම දුරකථනය, කැමරා උපකරණ විමර්ශන සඳහා අවශ්‍ය වන බැවින් ඒවා භාරදෙන ලෙසට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කර ඇති දැනුම් දීම සම්බන්ධයෙන් ලබන ජූලි 19 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස දක්වා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා වෙත නොතිසි යැවීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (07දා) නියෝග කළේය.

එම්. වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් සිදුවූ හානියට වන්දි ඉල්ලා නඩු පැවරීම සම්බන්ධයෙන් සිය සේවාදායකයා විසින් කරන ලද ප්‍රකාශයකට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනකු විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ සිවිල් නඩුකරයක් පවරා තිබියදීත් එලෙස ඔහුගේ මාධ්‍ය වෘත්තියට යොදා ගන්නා පෙරකී උපකරණ ලබාගැනීමට උත්සාහ දැරීම ඉතා අයුක්ති සහගත බව පෙන්වා දෙමින් දර්ශන හඳුන්ගොඩ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා කළ කරුණු දැක්වීම සලකා බැලු මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පරිදි දර්ශන හඳුන්ගොඩ මහතාට තම අධීකරණය විසින් විදේශ ගමන් තහනමක් පනවා ඇතත් එකී උපකරණ ඔහුගෙන් ලබාගැනීම සඳහා නියෝගයක් කර නොමැති බවද මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා එම නියෝගය නිකුත් කරමින් පැවසීය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment