හඳ ඇඳි තිලකය තිලකා රණසිංහ දිවි සැරි අසිරිය

5077

හද ඇඳි තිලකය මා අතට පත්වූ පසුව මට මුලින්මව ඇති වූ ප්‍රශ්නය වූයේ අවුරුදු 30 ක් 40 තිලකාව ඇසුරු කළ මට මේ කතා පුවත රැගත් පොත එතරම් රසවත් නොවනු ඇතිය යන්නය. එහෙත් නිහතමානිව කිව යුත්තේ මට අමතක වූ තැන් දීර්ඝ කාලයක් සේවය කළත් මා නොදත් තැන් බොහොමයක් හද ඇඳි තිලකයෙන් උකහා ගැන්මට පුළුවන් වූ බවය.

මෙබඳු පොත් පිටවන්නේ කිසියම් උදාර චරිතයක් මියගොස් වසර කිහිපයක් ඉක්මවා ගිය පසුවය. මෙහිදී හද ඇඳි තිලකයේ ප්‍රධානතම හා වටිනාකම වන්නේ ජීවත්ව සිටින තිලකාත් තිලකාගේ ඇසුරේ සිටි ජ්‍යෙෂ්ඨයන්, සමකාලීනයින් හා අලුතෙන් එක් වු සහෘදයන් පිළිබඳව වැදගත් බොහෝ දේ නිවැරදිව ලියා තිබීමය.

තේවිස් ගුරුගේ වැනි ශ්‍රේෂ්ඨ චරිතයකින් උගත් දේ තවමත් කවුරුත් මතක් කොට නැත. ලියා නැත. තේවිස් ගුරුගේ යන්න උච්චාරණය පවා තවමත් නොදනි. බොහෝ දෙනාට තේවිස් ගුරුගේ යන්න කියවෙන්නේ තේමිස් ගුරුගේ ලෙසය. තනාපති යන්න තානාධිපති ලෙසය. හමුදාපති හමුදාධිපතිය. දොඩන්දූව, ඉමදූව උච්චාරණය කරන්නේ දොඩන්දුව, ඉමදුව ආදී වශයෙනි. මෙලෙස කොලොප්පම් නිවේදකයින් ලෙස බිහි නොවී නිවැරදි මාවතකට පිවිසෙන සැටි හද ඇඳි තිලකය ඉඳුරාම පවසයි.

හඳ ඇඳි තිලකය තිලකා රණසිංහ දිවි සැරි අසිරිය

තේවිස් ගුරුගේ ගේ හරබර දේශනවලින් පෝෂණය වී සිටි මේ ආධුනික නිවේදක නිවේදිකාවන්ට ගුරුගේ මහතා තමා නිවේදන ක්‍ෂේත්‍රයට ආ මුල් අවධියත් පසු එය හසුරුවා ගත් අයුරුත් අද අධ්‍යක්‍ෂ ජනරාල් තනතුර දක්වා උසස් වී සිටින විට ඒ ආ ගමනේ අත්දැකීම් බිඳක් මේ නිවේදක නිවේදිකාවන්ට කීවේ ඔවුනට මේ නිවේදක ක්‍ෂේත්‍රයේ තිබෙන භාරදූරත්වය මෙන්ම ඔවුන් අත තිබෙන දැඩි වගකීම ගැන දැන ගැනීම පිණිසය. එය තිලකා ඇතුළු එකී කණ්ඩායමට ඉමහත් සේ ප්‍රයෝජන විය.

අප කතා කළ යුත්තේ අප සමඟ සිටින ජනතාවට ය. ඔවුන්ගේ තරාතිරම ජාති ආගම් අදාළ නොවේ. බාල තරුණ වැඩිහිටි පූජ්‍ය පක්‍ෂ මේ ආදී විවිධ තරාතිරමේ ජනතාවට අසා සිටිය හැකි පරිදි අප ඔවුන් ඇමතිය යුතුය. එසේම අපේ හඬ, කතාව, ප්‍රසන්න විය යුතුය. හුරතල් කතා බහ නොව ළෙන්ගතු බව හා හඬ ලාලිත්‍යයක් තිබිය යුතුය. එලෙසම නිරතුරුවම කියවීමට හුරු විය යුතු අතර අප රට තුළ සිදුවන වැදගත් තොරතුරු මෙන්ම ලෝකය පුරා සිදුවන විශේෂිත තොරතුරු ගැනත් අවධානයෙන් සිටිය යුතුය.

හද ඇඳි තිලකය අපට දැන හුරුකම් පවසන බව කියාදෙන බව උගන්වන බව නොකියාම බැරිය. තිලකා පිළිබඳව දිග හැරෙන මේ කතාවේ කෙනෙකුගේ විවිධ වූ නිසඟ කුසලතා අපමණ බව කියා සිටී. මියගිය අයෙකුගේ පුවතක් නම් ඕනෑම කෙප්පයක් ඇද බෑමට පුළුවන. මේ කතා වස්තුවේ වැදගත්කම වන්නේ ජීවතුන් අතර සිටියදී තම පරිසරය වටා රැඳුණු පිරිස් පිළිබඳව මතකය නිවැරදි ලෙස ලියා පළ කිරීමය. එතැනදී මේ කෙල්ලට මේතරම් මතක තිබුණාද කියා සිතන තරම්ය.

ගුවන් විදුලිය වැනි සන්නිවේදන ආයතන තුළ රැකියාවක නිරත වීම ලේසි පහසු නොවේ. විiුත් සන්නිවේදනයට එකල පෞද්ගලික නාලිකා තිබුණේ නැත. මුළු ලංකාවටම තිබුණේ එකම එක ආයතනයකි. ඒ ගුවන් විදුලි සංස්ථාවය. එහෙයින් එමඟින් විකාශනය වන හැම ප්‍රවෘත්තියක්ම, හැම වැඩසටහනක්ම මුළු ලංකාවේම ශ්‍රාවකයන්ගේ ග්‍රහණයට හසුවෙයි. එහෙයින් ගුවන් විදුලි සංස්ථාව තුළ නියුතු ඉතාමත් සුළු සේවකයා සිට ඉහළම නිලධාරියා දක්වා බෙදී යන ලෙස විශාල වූ වගකීම් සම්භාරයක් එක් එක් පුද්ගලයා සතුව ඇත. ජාතිය සතු එකම ගුවන් විදුලියේ විකුම් පෑ තිලකා රූපවාහිනිය පැමිණීමෙන් පසුව රූපවාහිනී තිරය ඔස්සේ හමුවීම පුදුමයක් නොවේ යැයි සිතමි. එයට හේතුව මා මුලින් කී ලෙස අඩිතාලම ශක්තිමත් වූ හෙයිනි. රූපවාහිනියේදී රූපයටද ප්‍රධාන තැනක් තිබේ. හඬ ගුවන් වුදුලි ස්වරූපයෙන් එළියට නොආ යුත්තේය. ඇස් දෙක කැමරාවට යොමු කළ යුතු අතර මැදිරිය තුළ අවසන් විනාඩි 3 දී එක්වන ආලෝක ධාරාවන්ට ඇස් පුංචි කර ගැනීම හෝ හකුළා ගැනීමෙන් තොරව සිටිය යුතුය. තව බොහෝ දේ රූපවාහිනි ඉදිරිපත් කරන්නකු විසින් පසක් කොට තිබිය යුතුය. ආචාර ධර්ම පද්ධතිය ගුවන් විදුලියටත් වඩා සැරය. ගුවන් විදුලිය හා රූපවාහිනි යන දෙකම තිලකා තරණය කිරීම පැසසුම් කටයුතුය. මෙම ක්‍ෂෙත්‍රයට පිවිසීමට දඟලන අයට හද ඇඳි තිලකය පාඩම් පොතක් බව නොකිවමනාය.

හද ඇඳි තිලකය තමා බබළවා ගැන්මට කොතනදීවත් පිටුවකින්වත් උත්සහ කොට නොමැත. තමා සතු අනුභූතීන් සියල්ල ඉස්පාසුවක් තැනිව එකතු කොට ඇත. “ජීවත්ව සිටින කාලය තුළදී කලාකරුවා ඇගයීම මළපසු කරන ප්‍රශස්ත ගායනයට වඩා අගනේය”. මා විසින් බොහෝ තැන්වලදී කියන වැකි කීපයකට අතිශය සාධාරණයක් තිලකා ඉටුකොට ඇති බව නම් කුහක නොවී කිව යුත්තකි.

සමාජයේ ඉහළම කලාකරුවන් හඳුනා ගැන්ම ඇසුරු කිරීම සම්මුඛ සාකච්ඡා පැවැත්වීම ඒවා ඇගයීමට ලක්වීම වැනි දේ පිළිබඳව ඇති සටහන් කොහේ හෝ සංරක්‍ෂණය නොවී ඇති මෙබඳු අවදියක හද ඇඳි තිලකය ඔස්සේ එළියට පැමිණීම පිළිබඳව ඇත්තෙන්ම තිලකාවන් ආඩම්බර විය යුතුය.

තිලකා රණසිංහ දිවි සැරි අසිරිය ඇගයීම පිළිබඳව පිටු ගණනක් ලියා පළ කළ හැකිමුත් සම්පින්ඩනාත්මකව සටහන අවසන් කළ යුතු යැයි හැඟේ. කාර් රේස් යන්නට තරම් ධෛර්යමත් ගැහැනියක් වන තිලකා අද අස්වැසිල්ලකදී ගීත ලිවීමේ කාර්යය ද සාර්ථකව අවස්න කළා පමණක් නොව ගායනයටද සමත්වූවාය. නාරද සමග පැවති ආත්මීය බැඳීමේදී තිලකාගේ හඬ නාරදයන් විසින් ඔපමට්ටම් කළාට ද සැකයක් නැත.

හද ඇඳි තිලකය සමස්තයක් වශයෙන් ගත් කල කාලීන වැදගත්කමක් මෙන්ම මෙකල පළවිය යුත්තක් ලෙස සිතමි. මාධ්‍ය යනු කුමක්ද? මාධ්‍ය කෙරුවාව ලේසි නැති බව හා එහි දශක ගණනාවක් රැඳී සිටීමට නම් දත යුතු දේ නොවලහා දැන ගැන්මට හද ඇඳි තිලකය ඉවහල්වේය යන්න මගේ සිතුවිල්ලයි.

තිලකාවන් විසින් වසර ගණනාවක් පුරා තිබූ මතක මුදාහරින විට ශෝන් මැක්ස්මස් දිසානායකයන් විසින් අපට අවබෝධ වන ලෙසත් සිත්ගන්නා ලෙසත් ලියා පළ කිරීම අගය කළ යුතුවේ.

● අනුර ෆොන්සේකා

advertistmentadvertistment
advertistmentadvertistment