හපුහින්නට එරෙහි පෙත්සම සලකා බැලීම 23 වැනිදා

82

ඉදිරි පළාත් පාලන මැතිවරණයට අදාළව ඇප මුදල් තැන්පතු භාර ගැනීමෙන් වළකින ලෙසට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා විසින් දිස්ත්‍රික් ලේකම්වරුන් හා තේරීම් භාර නිලධාරීන් වෙත පසුගිය ජනවාරි 10 වැනිදා නිකුත්කර තිබූ චක්‍රලේඛය බලරහිත කරන ලෙස ඉල්ලා සමගි ජනබලවේගය පක්‍ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා විසින් ගොනු කර තිබූ රිට් ආඥා පෙත්සම සලකා බැලීම සඳහා ලබන 23 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (16දා) නියම කළේය.

එම පෙත්සම ප්‍රියන්ත ජයවර්ධන, මූර්දු ප්‍රනාන්දු හා අචල වෙන්ගප්පුලි යන විනිසුරු මඬුල්ල හමුවේදී කැඳවිණි.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ එකී ක්‍රියාව ජනතාවගේ සර්වජන ඡන්ද බලය භාවිත කිරීමේ අයිතියට කළ බාධාවක් වන බැවින් එම පෙත්සම කඩිනමින් සලකා බැලීමට දින නියම කරන ලෙස පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම මැතිවරණයට අදාළ තවත් පෙත්සමක් සහ අතරමැදි පෙත්සම් කිහිපයක් ලබන 23 වැනිදා කැඳවන බැවින් මෙම රිට් ආඥා පෙත්සම ද එම විනිසුරු මඬුල්ල හමුවේදීම කැඳවන ලෙසටද විනිසුරු මඬුල්ල නියෝග කළහ.

කැබිනට් මණ්ඩලයේ ලේකම්වරයා විසින් කළ දැනුම්දීමක් අනුව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා එම ලිපිය නිකුත්කර ඇති බවත් එය නිකුත්කර පැය කිහිපයක් ඇතුළත ලිපිය ඉල්ලා අස්කරගෙන ඇති බවත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නෙරින් පුල්ලේ මහතා විනිසුරු මඬුල්ලට දැනුම් දුන්නේය.

ඒ. ජේ. ඒ අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment