හබරාදුවේ එන්නත් සොරකමක්

237

හේමන්ත රන්දුණු, අහංගම – සුගතපාල දියගහගේ, හබරාදූව ඒ. එල්. ඒ. ආරියරත්න, වංචාවල – ගැමුණු චන්‍ද්‍රලාල්, ගාල්ල – ලලිත් චාමින්ද, එස්. කේ. කළුආරච්චි

හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන් රුපියල් අනූදහසක් වටිනා සයිනොෆාම් එන්නත් 30 ක් සොරාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පුළුල් පරීක්‍ෂණ අරඹා තිබේ.

 කොරෝනා එන්නත්කරණය අතරතුර මහජනතාවට ලබාදීම සඳහා ගෙන ආ එන්නත් තොගය අතුරින් 30 ක් සොරාගෙන ඇති බව පොලිසිය පවසයි.

 හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන් මෙම සයිනොෆාම් එන්නත් සොරකම් කර ඇති බවට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා විසින් හබරාදූව පොලිසියට පැමිණිලි කර තිබේ.

 සායනයකින් පසු සෞඛ්‍ය නිලධාරීන් කාර්යාලයට යවා ඇති එන්නත් ප‍්‍රමාණය ශීතකරණයේ තැන්පත් කිරීමට සූදානම් වූ අවස්ථාවේ එන්නත් 30 ක් අඩංගු ඇසුරුමක් අඩු බව දැනගැනීමෙන් පසු එය සොයා බලන ලෙසත් එය ගත් අයකු සිටී නම් ගෙනැවිත් දෙන ලෙසත් වෛද්‍ය නිලධාරිවරයා ඉල්ලා ඇතත් එය ආපසු ලැබී නැත.

 පසුව එම එන්නත් ප‍්‍රමාණය අඩුවීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලය ද දැනුවත් කොට වෛද්‍ය නිලධාරිවරයා පොලිසියට පැමිණිලි කර ඇත.

 පොලිසිය පැවසුවේ මේ සම්බන්ධයෙන් එන්නත් ප‍්‍රවාහනය කරන ලද වාහනයේ රියැදුරුගෙන් ද එන්නත් බාරව ගිය පරිපාලන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය ගෙන් ද සුළු සේවකයකු ගෙන් ද ප‍්‍රකාශ සටහන් කරගත් බවය. හබරාදූව පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක පි‍්‍රයන්ත උදයකුමාර මහතාගේ උපදෙස් පරිදි උප පොලිස් පරීක්‍ෂකවරුන් වන පියල් ජයශාන්ත සහ විමල් පේ‍්‍රමවංශ යන මහත්වරු වැඩිදුර පරීක්‍ෂණ පවත්වති. ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් පරිදි කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් ද පරීක්‍ෂණයක් ආරම්භ කරනු ලැබීය.

 සැකකරුවන් දෙදෙනා අධිකරණය වෙත ඊයේ ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. හබරාදූව පොලිසිය විමර්ශන පවත්වාගෙන යයි.

advertistmentadvertistment
advertistmentadvertistment