හම්බන්තොටින් හමුවූ ලොව පැරණි දියබත් නැව සංරක්‍ෂණයට ඇමරිකාවෙන් ඩොලර් 82,900 ක්

257

හම්බන්තොට, ගොඩවාය ප්‍රදේශයෙන් සොයාගෙන ඇති දකුණු ආසියාවේ පැරණිම මුහුදුබත් නෞකාව සංරක්‍ෂණය සහ එහි කෞතුක වස්තු ලේඛනගත කිරීම සඳහා සංස්කෘතික උරුමයන් සංරක්‍ෂණය සඳහා වන එක්සත් ජනපද තානාපති අරමුදල මගින් ශ්‍රී ලංකාවේ මධ්‍යම සංස්කෘතික අරමුදලට ඇමෙරිකානු ඩොලර් 82900 ක් ප්‍රදානයක් කර ඇත.

මෙම ප්‍රදානය එක්සත් ජනපද තානාපතිනී ජූලි චංග් මහත්මිය විසින් ගාල්ල කොටුව පිහිටි සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරයේ පැවති උත්සවයකදී මධ්‍යම සංස්කෘතික අරමුදලට ලබා දෙන ලදී. ශ්‍රී ලාංකික කිමිදුම්කරුවන් දෙදෙනකු විසින් සොයා ගන්නා ලද මෙම නෞකාව ආසියා ශාන්තිකර කලාපයේදී දැනට හඳුනාගෙන ඇති පැරණිම දියබත් නැව වන අතර ගිලීගොස් ඇති ලොව පැරණිම නැව්වලින් එකකි.

මෙම සංරක්‍ෂණය හා ලේඛනගත කිරීම මගින් අතීතයේ පටන් ශ්‍රී ලංකාව නාවික කේන්ද්‍රස්ථානයක් ලෙස නිරූපණය කළ භූමිකාව සංස්කෘතික උරුමයක් ලෙස ප්‍රවර්ධනය කිරීම එක්සත් ජනපදයේ බලාපොරොත්තුව බව ජුලී චංග් මහත්මිය පැවසුවාය.

සංස්කෘතික උරුමය සංරක්‍ෂණය සඳහා වූ එක්සත් ජනපද අරමුදල 2011 වර්ෂයේ සිට මේ දක්වා ඇමරිකානු ඩොලර් 1,387,29 ක් වටිනාකමින් යුත් ව්‍යාපෘති 15 කට ආධාර සපයා ඇත. ආධාර ප්‍රදාන අවස්ථාවට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ. මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්‍ෂ මහාචාර්ය ගාමිණී රණසිංහ, ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යා නිලධාරි රසික මුතුකුමාරණ යන මහත්වරුද එක්වූහ.
ජගත් කනහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment