හම්බන්තොට නගරාධිපති ඇතුළු පිරිසක් ලූණු සේවක විරෝධතාවට කඩා පැන යකා නටති

413

හම්බන්තොට ලූණු ලේවායට අයත් වෑන් රථයකට ඊයේ (11දා) අලූයම මැරයන් පිරිසක් විසින් පහරදී අලාභහානි සිදුකිරීම හා ලේවායේ කළමනාකාරිත්වයට එරෙහිව පිරිසක් සිදුකරන සත්‍යග‍්‍රහයට විරෝධය පා සමාගමේ සේවකයින් තුන්සියයක් පමණ පැවැත්වූ විරෝධතාවට හම්බන්තොට නගරාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් කඩාපැනීම නිසා ඊයේ පෙරවරුවේ එම ස්ථානයේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වී තිබේ.

හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර මහතා මෙහිදී පිරිසක් රැුගෙන විරෝධතාවට කඩා පැන සේවකයින්ට අසභ්‍ය වචනයෙන් බැණ වදිමින් තර්ජනාත්මකව හැසිරුණු බව විරෝධතාවට එක්වූ සමාගම් සේවකයෝ පවසති.

සිද්ධිය සම්බන්ධයෙන් සහ තමාට නගරාධිපතිවරයා ජීවිත තර්ජනය කළ බව කියමින් හම්බන්තොට පොලිසියට තමන් පැමිණිල්ලක් කළ බව හම්බන්තොට ලංකා සෝල්ට් රාජ්‍ය සමාගමේ සභාපති නිශාන්ත සඳභරණ මහතා ‘දිවයින’ට පැවසීය.

එසේම, ලේවායේ ලූණු තොග කාලයක පටන් කුණු කොල්ලයට ලබාගැනීමට නගරාධිපතිවරයා දරන උත්සාහය නිසා ඇතිවී තිබෙන අර්බුදය පිළිබඳව තමන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දුන් බවද, පාඩු ලබමින් තිබූ සමාගම මේ වනවිට ලාභ ලබන තත්ත්වයකට ගෙන එමින් සේවකයින්ට ප‍්‍රසාද දීමනා ලබාදීම දක්වා ආදායම් වර්ධනය කරගත්තේ හම්බන්තොට ප‍්‍රාදේශීය දේශපාලකයින්ගේ කප්පම් ගැනීම් තමන් නවතා දැමීම නිසා බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ලේවායේ ඇතිව තිබෙන තත්ත්වය පිළිබඳව ඊයේ සවස සමාගමේ සභාපතිවරයා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතර කොළඹදී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබිණි.

ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment