බම්බලපිටියේ ඉඩමකට පැන ආරක්‍ෂක නිලධාරීන්ට පහර දීලා – හම්බන්තොට නගරාධිපති පොලිස් ඇපමත එළියට

230

බම්බලපිටිය කොතලාවල ඇවනිව්හි පිහිටි ඉඩමකට කඩා වැදී එහි ආරක්‍ෂක නිලධාරීන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හම්බන්තොට නගරාධිපති එරාජ් ප‍්‍රනාන්දු පොලිස් ඇපමත ඊයේ (19 දා) මුදාහැර ඇත.

මෙම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි එරාජ් ප‍්‍රනාන්දු ඊයේ (19 දා) පෙරවරුවේ බම්බලපිටිය පොලිසිය වෙත භාරවී තිබිණි. එහිදී සැකකරුගෙන් ප‍්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කරන ලදී.

පසුව සැකකරු පොලිස් ඇපමත මුදාහැරීමට කටයුතු කළ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා පැවැසීය.

බම්බලපිටිය කොතලාවල ඇවනිව්හි පිහිටි ඉඩමක් සම්බන්ධයෙන් දෙපාර්ශ්වයක් අතර කාලයක පටන් ආරවුලක් පවතින අතර මේ සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක්ද විභාග වන බව පොලිසිය පවසයි.

ඉකුත් 14 වැනිදා රාති‍්‍රයේ සිය මෝටර් රථයෙන් පැමිණ ඇති එරාජ් ප‍්‍රනාන්දු මහතා මෙම ඉඩමට ඇතුළු වී එහි සිටි ආරක්‍ෂක නිලධාරීන්ට පහරදී තුවාල කර තිබිණි.

පහරකෑමට ලක්වූ ආරක්‍ෂක නිලධාරීන් රෝහල්ගත කර ඇත. බම්බලපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.

හේමන්ත රන්දුණු

 

advertistmentadvertistment
advertistmentadvertistment