හම්බන්තොට මන්දපෝෂණය ගැන කියූ දොස්තර කෙහෙළිය ඇතුළු බලධාරීන්ගෙන් ලක්‍ෂ 100ක් ඉල්ලා නඩු මඟට

225

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්‍ද්‍රගුප්ත හා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අසේල ගුණවර්ධන ඇතුළු සෞඛ්‍ය බලධාරීන්ගෙන් රුපියල් ලක්‍ෂ 100 ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා හම්බන්තොට දිස්ත්‍රික්කයේ මන්දපෝෂණ තත්ත්වය ඉහළ යා හැකි බවට මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කළ වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සංධානයේ සභාපති වෛද්‍ය ජී. ජී. චමල් සංජීව මහතා ඊයේ (22 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

තමන් වැඩ තහනමට ලක් කිරීමට අදාළව රාජ්‍ය සේවා කොමිෂන් සභාව සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා නිකුත් කළ ලිපි මගින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට නිගමනය කරනා නියෝගයක් නිකුත් කරනා ලෙසට ද නීතිඥ ප්‍රවීන් ප්‍රේමතිලක මහතා මගින් ගොනු කළ එම පෙත්සම මගින් හෙතෙම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

පසුගිය සැප්තැම්බර් 19 වැනිදා හම්බන්තොට සූරියවැව ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී තමන් එම ප්‍රකාශය සිදු කරනු ලැබුවේ ඒ පිළිබඳව නිසි අධ්‍යනයක් සිදු කිරීමෙන් අනතුරුව බවත් රටේ පිළිගත් වෘත්තීය සමිති ව්‍යාපාරයක නායකයකු ලෙස මෙන්ම පුරවැසියකු ලෙස තමන් සතු භාෂණයේ අයිතිය ආයතන සංග්‍රහයකින් සීමා කළ නොහැකි බවත් පෙත්සම්කාර වෛද්‍යවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට වැඩිදුරටත් පෙන්වා දී තිබේ. එබැවින් වහාම තමාගේ අධ්‍යාපන සුදුසුකම්වලට ගැලපෙන තනතුරක පිහිටුවීමට බලධාරීන්ට නියෝගයක් කරනා ලෙසත් හෙතෙම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

එකී වන්දි මුදල ශ්‍රී ලංකාවේ රාජ්‍ය නිලධාරියකු රජයෙන් හෝ රාජ්‍ය දෙපාර්තමේන්තුවකින් ඉල්ලා ඇති ඉහළම වන්දි මුදල ලෙස සැලකේ. රටපුරා බොහෝ රාජ්‍ය නිලධාරීන් නිහඬව සිටියදී රටේ දරුවන්ගේ මන්දපෝෂණය සම්බන්ධයෙන් පෙත්සම්කාර වෛද්‍යවරයා කළ එම හෙළිදරව්වෙන් පසුව රජය දීප ව්‍යාප්ත වශයෙන් මන්දපෝෂණය මැඬපැවැත්වීම සඳහා ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කළ අතර 2023 අය වැය යෝජනාවලියෙන් ද ඒ සඳහා රුපියල් මිලියන 500 කට ආසන්න මුදලක් වෙන්කර තිබිණි.
ඒ. ජේ. ඒ. අබේනායක, මත්තල – දිලීප් එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment