හම්බන්තොට මහ රෝහල පණ අදී… විශේෂඥ වෛද්‍යවරු රට හැර යති

304

විශේෂඥ වෛද්‍ය සායන සියල්ල ඉදිරි දෙසතියේ නතරවෙන හැඩ
අධික බදු බර දරාගන්න බෑ- රටහැර යෑමට සූදානම් වන වෛද්‍යවරු කියති

අත්‍යවශ්‍ය ඖෂධ හැත්තෑවක් නෑ

මේ වනවිටත් වෛද්‍යවරුන්ගේ හිඟය නිසා දැඩි අවදානමක පවතින හම්බන්තොට මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය සායන ඉදිරි දෙසතිය තුළ වසා දැමීමට සිදුවනු ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

එම රෝහලේ දැනට ඉතිරි වී සිටින ශල්‍ය වෛද්‍යවරුන් දෙදෙනාත්, ඉදිරි දෙසතිය තුළ රෝහල හැර යෑමට නියමිත බවත්, එක් වෛද්‍යවරයකු මේ වන විටත් හැරයෑමේ ලිපි ලබාදී ඇති බවත් සඳහන් කළේය. අනිත් ශල්‍ය වෛද්‍යවරයාද ස්ථාන මාරුවක් ඉල්ලා ඇති අතර ස්ථාන මාරුව නොලැබුණහොත් ඉල්ලා අස්වීමට සූදානම් ව සිටින බව සඳහන් කළේය.

මීට අමතරව නිර්වින්දන වෛද්‍යවරුන් දෙදෙනා ගෙන් එක් වෛද්‍යවරයෙක් ඉදිරි දෙසතිය තුළ සේවයෙන් ඉවත් වන අතර අනිත් වෛද්‍යවරයාද රෝහල හැර යෑමට නියමිත බව රෝහල් ආරංචි මාර්ග පැවසීය. හම්බන්තොට මහ රෝහලේ ළමා රෝගී දැඩිසත්කාර ඒකකයට වෛද්‍යවරුන් හයදෙනකු අවශ්‍ය වුවත් මේ වනවිට ඇත්තේ වෛද්‍යවරුන් දෙදෙනෙකි. මේ නිසා ළමා දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර දැඩි අර්බුදයකට ලක්ව ඇති බව ළමා රෝගී අංශයේ වෛද්‍යවරයකු කීය.

එමෙන්ම ගර්භණී මව්වරුන්ට අවශ්‍ය හදිසි ප්‍රතිකාර සහ ශල්‍යකර්ම විශාල අවදානමක් මධ්‍යයේ මේ වන විටත් සිදු කරන අතර එම ප්‍රතිකාර නිසි ක්‍රමවේදයට සිදු කිරීමට නොහැකි වුවහොත් ගර්භනී මව්වරුන් වෙනත් රෝහලකට මාරුකර යැවීමට සිදුවන බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

හම්බන්තොට මහ රෝහලට අවශ්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සියයට හැත්තෑවක් මේ වනවිටත් රෝහල හැරගොස් ඇති බැවින් මේ පිළිබඳව රෝහල හැරගොස් සිටින වෛද්‍යවරුන්ගෙන් කළ විමසීමකදී එම වෛද්‍යවරුන් පැවසුවේ, තමාට හිමි වැටුපට අධික ලෙස බදු අය කිරීම හේතුවෙන් ආර්ථික අර්බුදයට මුහුණදීමට නොහැකි වී ඇති බවයි.

හිඟ වෛද්‍යවරුන්ගේ සේවයත්, දැනට ඉතිරි වී සිටින වෛද්‍යවරුන් විසින් කෙසේ හෝ ආවරණය කිරීමට සිදු වී ඇති නිසා යහපත් මානසික සුවයෙන් ප්‍රතිකාර කිරීමට නොහැකි තත්ත්වයක් රෝහලේ උද්ගතවී ඇති බව වෛද්‍යවරුන්ගෙන් කළ විමසීමකදී සඳහන් කළේය. දෙබරවැව මූලික රෝහලේ සහ ඇඹිලිපිටිය මහ රෝහලේද නිර්වින්දන වෛද්‍යවරුන් නොමැතිකමින් එම සේවාවන් සියල්ල අඩපණ වී ඇත. ආසන්න රෝහල්වල හදිසි ප්‍රතිකාර ඒකක ක්‍රියාත්මක නොවීම හේතුවෙන් හදිසි අනතුරකට භාජනය වන රෝගියෙකුට මූලික ප්‍රතිකාර කිසිවක් හම්බන්තොට මහ රෝහලේ දී හෝ ආසන්න රෝහලකින් කර ගැනීමට නොහැකි වන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය. මීට අමතරව හම්බන්තොට මහ රෝහලේ අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග හැත්තෑවකට ආසන්න ප්‍රමාණයක් හිඟ බව රෝහල් ආරංචි මාර්ග කියයි. ඉතා අත්‍යවශ්‍ය සමහර ඖෂධ අවට පෞද්ගලික වෙළඳසැල්වලත් නොමැති කමෙන් රෝගීන්ට දිවි පූජා කිරීමට සිදුවූ අවස්ථාද වාර්තා වී ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.
තිස්සමහාරාම – අමිල සම්පත් ශ්‍රී

advertistmentadvertistment
advertistmentadvertistment