හමුදාකරණය එපා: කොවිඩ් වැඩ කැබිනට් එකට ගන්න

154

 හමුදාකරණය මගින් කොවිඞ් වසංගතය පාලනය කළ නොහැකි බවත් එබැවින් එම වගකීම් කැබිනට් මණ්ඩලය සහ අගමැති විසින් භාරගෙන කි‍්‍රයා කළ යුතු බවත් අභිනව මන්තී‍්‍රවරයකු වශයෙන් දිව්රුම් දුන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ (23 දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
 
 කොවිඞ් මර්දන කාර්ය සාධක බළකාය සම්පූර්ණයෙන්ම අසාර්ථක බවද කී හෙතෙම එම බළකාය වැඩ පටන් ගත්ත දා සිට මේ වෙනතෙක් කර ඇත්තේ කුමක්ද යන්න සෞඛ්‍ය ඇමැතිවරියගේ කතාවලින් පෙනෙන බවත් එම කාර්ය සාධක බළකායක් සමග ඉදිරියට යා නොහැකි බවත් නව වැනි පාර්ලිමේන්තුවේ සිය මංගල කතාව සිදු කරමින් වික‍්‍රමසිංහ මහතා සඳහන් කළේය.
 
 ‘‘අපේ ව්‍යවස්ථාව අනුව මේ වගකීම තියෙන්න ඕනි කැබිනට් මණ්ඩලයටයි. කැබිනට් මණ්ඩලය වගකියන්නේ පාර්ලිමේන්තුවටයි. ව්‍යවස්ථාවේ 3, 4, 43 වගන්තියෙන් මේ ආණ්ඩුව පාලනය කරන්නට පුළුවන් කැබිනට් මණ්ඩලයට පමණයි. අගමැතිතුමත්, මෙතන ඉන්නවා, ඇමැතිවරුත් ඉන්නවා. ඔබතුමා භාර ගන්න. ඔබතුමා වැරදි වුණොත් අපිට පුළුවන් මෙතනට ඇවිල්ල කෑ ගහන්න. අඩු තරමින් පෝස්ටර් හරි උස්සන්න.
 
 ඇයි මේක කැබිනට් මණ්ඩලයට භාර නොදෙන්නේ. අනික ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ වෙනම කණ්ඩායමක් තියෙනවා. ලංකාවේ ඒක නෑ. කොමිටියක් තියෙන්නෙ. ඒක භාර දීලා තියෙන්නේ දෙපාර්තමේන්තු ප‍්‍රධානියෙක්ට.
 
 හමුදාපති කියන්නේ දෙපාර්තමේන්තු ප‍්‍රධානියෙක්. කොහොමද එතුමා මේ වැඩ කටයුතු කරන්නේ. ලේකම්වරුන්ට නියෝග දෙන්න පුළුවන් ඇමැතිතුමාට නැත්නම් කැබිනට් මණ්ඩලයට පමණයි. දෙපාර්තමේන්තු ප‍්‍රධානීන්ට නියෝග දෙන්නේ ලේකම්වරු ඇමැතිවරුන්ගේ තත්ත්වය අනුව. ඇයි මේ බලතල ක‍්‍රියාත්මක නොවෙන්නේ. අපි කියන්නේ ඒකේ නායකත්වය ගන්න ව්‍යවස්ථාවෙන්’’ යැයි රනිල් වික‍්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment