හමුදාවට දඬුවම් කිරීමේ අලුත්ම බ්‍රිතාන්‍ය යෝජනාව

1038

ශ‍්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදාවට එරෙහි සාක්කිකරුවන් හෙළිවන්නේ 2030 දී

ප‍්‍රැන්සිස්කන් ඉන්ටර්නැෂනල් කොටිඩයස්පෝරාව වෙනුවෙන් හඬනැඟූ සංවිධානයක්

යස්මින් සුකා මානව හිමිකම් කවුන්සිලයේ ඉහළ නිලධාරිනියක්

හමුදා නිලධාරීන්ට සම්බාධක පනවන්නැයි මාවයි සේනාධිරාජා සහ සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන් බි‍්‍රතාන්‍යයෙන් ඉල්ලයි

මෙරට හමුදා නිලධාරීන් යුද අපරාධ සිදු කළ බවට දක්වමින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය දියත් කළ වගවීමේ මෙහෙයුම හෙවත් ඩොලර් මිලියන 28ක් වැය කරමින් ඇරඹූ සාක්ෂි එක්රැස් කිරීමේ ක‍්‍රියාවලිය ලබන සැප්තැම්බර් මස අවසන් වේ. එසේම වගවීමේ මහලේකම් කාර්යාලයේ කටයුතු ද නිමාවේ. එහෙත් පසුගිය මාර්තු 7 දා ජිනීවා මානව හිමිකම් සමුළුව ඇමතූ මැල්කම් රංජිත් කාදිනල් මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේගේ සාක්‍ෂි එකතු කිරීමේ ක‍්‍රියාවලිය දිගට ම කරගෙන යෑමට සහ පාස්කු ප‍්‍රහාරය පිටුපස ඇති සත්‍යය හෙළි කර ගැනීමට සහයවන ගවේෂණයක් සඳහා ක‍්‍රමවේදයක් සකස් කරන ලෙස ඉල්ලා සිටියේය. මෙම ඉල්ලීම සරලව කිව්වොත් පාස්කු ප‍්‍රහාරය ගැන ජාත්‍යන්තර විමර්ශනයක් ඉල්ලීමයි. එසේ වුවත් මානව හිමිකම් කවුන්සිලයේ සාක්‍ෂි එක්රැස් කිරීමේ ක‍්‍රියාවලිය යනු මෙරට ත‍්‍රස්තවාදය අවසන් කළ හමුදා නිලධාරීන් 28කට යුද අපරාධ චෝදනා එල්ල කිරීම සඳහා වූ බැෂලේගේ ව්‍යාපෘතියකි. එම ව්‍යාපෘතිය තවදුරටත් ගෙන යෑමට කාදිනල් මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා සිටියේ මන්ද?

මේ පසුබිම මැද බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව තුළ සිදුවන ක‍්‍රියාදාමය ද ජනතාවට වසන් වී ඇත. එය ද ද්‍රෝහී ක‍්‍රියාවකි. එහෙත් එම තොරතුරු අනාවරණය කිරීමට අපට හැකි වී ඇත. කොටිඩයස්පෝරාවට සම්බන්ධ බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු වූ ඉන්දීය සම්භවයක් ඇති විරේන්ද්‍ර ශර්මා පොදු රාජ්‍ය මණ්ඩල විදේශ ලේකම් අමතමින් හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ට මැග්නව්ස්කි සම්බාධක පනවන ලෙස ඉල්ලා සිටියේය. ඊට සමාගාමීව වයිකොම්වේ ආසනයේ මන්ත‍්‍රී ස්ටීවන් බාකර් පොදු රාජ්‍ය මණ්ඩල පාර්ලිමේන්තු ලේකම් විකී පෝර්ට් වෙත ප‍්‍රශ්නයක් යොමු කරමින් 46/1 ජිනීවා යෝජනාවේ කාලය සැප්තැම්බර් මස නිමා වෙනවා. ඊට පෙර බි‍්‍රතාන්‍යය ශ‍්‍රී ලංකාවට එරෙහිව ස්වාධීන යාන්ත‍්‍රණයක් ස්ථාපිත කිරීමට හෝ ජාත්‍යන්තර අධිකරණයට ගෙන යෑමට කටයුතු කරන්නේද යැයි ප‍්‍රශ්න කළේය. එහෙත් එම යෝජනාවේ කාලය ඉකුත් වීමෙන් පසු බි‍්‍රතාන්‍ය රජය ගන්නා ක‍්‍රියාමාර්ග විකිපෝට් හෙළි කළේ නැත. එසේ වූවත් ශ‍්‍රී ලංකාවේ හමුදා නිලධාරීන්ට එරෙහිව එකතු කර ගන්නා සාක්‍ෂිවල දී පැවැත්වෙන නඩු විභාගයකදී භාවිත කරන බවද ඇය කියා සිටියා ය. මෙහිදී ස්ටීවන් බාකර් මන්ත‍්‍රීවරයා තවදුරටත් පැවසූවේ ශ‍්‍රී ලංකාවට එරෙහිව ගනු ලබන ක‍්‍රියාමාර්ග ගැන පොදු රාජ්‍ය මණ්ඩල ලේකම්වරිය බි‍්‍රතාන්‍යයේ සහ ශ‍්‍රී ලංකාවේ සිටින ද්‍රවිඩ නියෝජිතයන් අමතා විමසිය යුතු බවයි. ශ‍්‍රී ලංකාවේ හමුදා නිලධාරීන් ලොව බිහිසුණු යුද අපරාධකරුවන් කිරීමට කොටිඩයස්පෝරාව සහ ඔවුන් විසින් අරමුදල් සපයන බි‍්‍රතාන්‍ය මන්ත‍්‍රීවරු දැඩි උත්සාහයක යෙදෙන අවස්ථාවේ ඩයස්පෝරා ක‍්‍රියාකාරීන් මානව හිමිකම් කවුන්සිලයට ගොනු කරන වාර්තාවලින් ශ‍්‍රී ලංකාවට දෙකඩ කිරීමේ ඉල්ලීම් ඉදිරිපත් කර ඇත. මෙරට ජනතාවගේ අවධානය උදෙසා අපි එම ඉල්ලීම් හෙළි කරන්නෙමු.

මේ එම ඉල්ලීම්ය

  1. ජාත්‍යන්තර අධිකරණය යටතේ උතුරු නැඟෙනහිරට ජනමත විචාරණයක් පවත්වනු
  2. ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර අධිකරණයට යොමු කරනු
  3. උතුරු නැඟෙනහිර ද්‍රවිඩ පළාත් රජයේ පළාත් නොවන බව පිළිගනු
  4. ඊළම් ද්‍රවිඩ ජනතාවට ස්වයංපාලනය ලබාදීමේ යෝජනාවක් ඉදිරිපත් කරනු
  5. ද්‍රවිඩ ජනතාව මර්දනය කිරීම ගැන සෙවීමට එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයකු පත් කරනු ග්ලෝබල් ටැමිල් මූමන්ට් නැමැති සංවිධානයක් විසින් මේ ඉල්ලීම් මානව හිමිකම් කවුන්සිලයට යොමු කර තිබේ.

මේ අතර ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු භාර ලේකම්වරිය වූ වික්ටර් නූලන්ඞ් සහ සහකාර ලේකම් ඩොනල්ඞ් ලූ මාර්තු 22 දා මෙරටට පැමිණේ. ඔවුන් දෙදෙනා මෙරටට එන්නේ ඩොලර් ලබාදීමට නොවේ එසේම වික්ටෝරියා නූලන්ඞ් මෙයට පෙරද මෙරටට පැමිණියා ය. ඇය ශ‍්‍රී ලංකාවට එරෙහි නිලධාරිනියකි.

මේ ඇමෙරිකානු නිලධාරීන් ශ‍්‍රී ලංකාවට පැමිණෙන්නේ වගවීමේ ක‍්‍රියාවලිය සහ ඇමෙරිකානු ආයෝජන ගැන සාකච්ඡා කිරීමටය.

ඔවුන් ද්‍රවිඩ සංධානයේ ප‍්‍රධානියකු හමුවී සාකච්ඡා කරනු ඇත. ඇමෙරිකානු නිලධාරීන්ගේ සම්ප‍්‍රාප්තියට පෙර නව ඇමෙරිකානු තානාපතිනි ජූලි චැන් ද්‍රවිඩ සන්ධාන නායක සම්බන්ධන් සහ එම්. කේ. සුමන්තිරම් හමු වී සාකච්ඡාවක් පැවැත්වූවාය. ඇගේ සාකච්ඡාවට මුල්වූයේ ද්‍රවිඩයන්ට දේශපාලන විසඳුමක් ලබාදීම සහ යුද හමුදා නිලධාරීන්ට එරෙහි වගවීමේ ක‍්‍රියාවලිය යන කරුණුයි.

එහෙත් යුද අපරාධ සිදු කළ ඇමෙරිකානු හමුදා නිලධාරීන් ගැන කිසිදු නඩු විභාගයක් පැවැත්වීමට ඇමෙරිකාව තහනම් කර තිබියදී ශ‍්‍රී ලංකාවේ හමුදා නිලධාරීන්ට එරෙහිව ක‍්‍රියා කිරීමට ජූලි චැන්ට ඇති අයිතිය කුමක්දැයි ඇගෙන් විමසීමට විදේශ කටයුතු බලධාරීන් ක‍්‍රියා කළේ නැත.

මෙවන් තත්ත්වයක් මත මෙරට විපක්‍ෂ දේශපාලකයන් දෙදෙනකු වූ හරින් ප‍්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර විසින් රහස් පොලිසියේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකරව ජාත්‍යන්තරකරණය කළේය.

ඔවුන් දෙදෙනා මානව හිමිකම් කවුන්සිලයේ පෙනී සිටියේ එන් ඉංග‍්‍රීසි අකුර සඳහන් ලාංඡන පැළඳගෙනය. එම ලාංඡනය දක්වන්නේ ඔවුන් රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන් බවයි.

මානව හිමිකම් කවුන්සිලයේදී එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ක්ලේවොන් වූලේ හමුවී ශ‍්‍රී ලංකාවට සම්බන්ධ වාර්තාවක්ද ලබාදීමට ඔවුහු ක‍්‍රියා කළහ. ක්ලේමන්ට් වූලේ වරක් ශ‍්‍රී ලංකාවට පැමිණ රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියාකාරීන්ගෙන් ලත් තොරතුරු මත ශ‍්‍රී ලංකාවට එරෙහිව වාර්තාවක්ද ප‍්‍රකාශයට පත් කර තිබුණි. මේ අතර යුරෝපා සංගමයේ කොළඹ කාර්යාලය යුක්තිය ඉල්ලා සිටින ද්‍රවිඩ ජනතාව සඳහා යැයි දක්වමින් පැමිණිලි භාර ගැනීමේ මෙහෙයුමක් දියත් කරනු ලැබීය. යුරෝපා සංගමයේ කොළඹ නියෝජ්‍ය ප‍්‍රධානී තෝස්ටන් බෑග් ප්‍රෙඞ් ආරම්භ කළ එම මෙහෙයුම ගැන හෙළි වීමත් සමගම ඊට ප‍්‍රසිධියක් දීමට කොටිඩයස්පෝරාව ක‍්‍රියා කිරීමෙන් වැළකිණි. මෙය ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචේලි බැෂලේගේ සාක්ෂි එකතු කිරීමේ යාන්ත‍්‍රණයට සහය වීමකි. යුරෝපා සංගම් කොළඹ කාර්යාලයේ ට්විටර් අඩවිය පැවසූවේ අතුරුදන් වූවන් ගැන පැමිණිලි භාර ගන්නා බවයි. රජය එම සාක්‍ෂි යාන්ත‍්‍රණය සඳහා මිචෙලි බැෂලේගේ වගවීමේ මහලේකම් කාර්යාලයට මෙරටට ඒමට අවසර දී නැත. එසේ නම් විදේශ කටයුතු බලධාරීන්ට හොරෙන් මෙලෙස පැමිණිලි භාර ගන්නේ කෙසේද? මේ අතර 49 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව අමතමින් විදේශ රාජ්‍ය නොවන සංවිධානයක් වූ වර්ල්ඞ් එවැන්ජිකල් එලයන්ස්, විවැට් ඉන්ටර්නැෂනල් ලෝයර්ස් රයිට්ස් වොච් (කැනඩාව) ඉන්ටර්නැෂනල් හැම් රිඩක්ෂන් ඉමායාර්, ඉන්ටර්නැෂනල් කමිෂන් ඔෆ් ජූරිස්ට් නැමැති සංවිධාන ශ‍්‍රී ලංකාවට එරෙහිව චෝදනා එල්ල කර ඇත. මෙහිදී වර්ල්ඞ් එවැන්ජිකල් සංවිධානය මුහුණු ආවරණ සහ ගවයන් මැරීමේ තහනම ඉවත් කරන ලෙස ඉල්ලා තිබේ. මේ පසුබිම මැද වසර 15 ක් තිස්සේ ජිනීවා මානව හිමිකම් සමුළුව ආවරණය කළ අප ශ‍්‍රී ලංකාවට එරෙහිව ජිනීවාහිදී ක‍්‍රියාත්මක පාර්ශ්ව ගැන විශේෂයෙන් අනාවරණය කළෙමු. මෙරට වෙන කිසිදු මාධ්‍ය පාර්ශ්වයකට එවැනි තොරතුරු හෙළි දරව් කිරීමට නොහැකි විය.

හිටපු එක්සත් ජාතීන්ගේ නිලධාරිනි යස්මින් සුකා හිටපු බී. බී. සී. වාර්තාකාරී ප‍්‍රාන්සස් හැරිසන් ප‍්‍රංශ කොටි ඩයස්පෝරාවේ ප‍්‍රධානී මරියදාස් බොස්කෝ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තුළ සැරිසරන ඬේවිඞ් වෙහෙලි වැනි ක‍්‍රියාකාරීන් කොටිඩයස්පෝරාව වෙනුවෙන් හඬනඟන අයුරු අපි අනාවරණය කළෙමු. එසේම බි‍්‍රතාන්‍ය මන්ත‍්‍රී මණ්ඩලයේ නේස්බි සාමි බි‍්‍රතාන්‍ය පොදුරාජ්‍ය මණ්ඩල විදේශ කාර්යාලයෙන් ශ‍්‍රී ලංකාවට අදාළව ලබාගත් රහස් ලියැවිලි ද හෙළිකළේ අප පමණි. නේස්බි සාමි ලබන මාර්තු 23 වැනි ශ‍්‍රී ලංකාවට යළි පැමිණෙන බව ‘ඉරිදා දිවයින’ ආරක්‍ෂක විශේෂාංගය වෙත ලිපියක් එවමින් දක්වා තිබේ.

නේස්බි සාමි තවදුරටත් දන්වා ඇත්තේ හිටපු එක්සත් ජාතීන්ගේ නිලධාරිනි සුකා වන්නි මෙහෙයුමින් මියගිය සංඛ්‍යාව සෑම වසරකම වැඩි කරන බවයි. මේ බව හෙළි වන අවස්ථාවේ යස්මික් සුකා වත්මන් මානව හිමිකම් කවුන්සිලයේ සේවය කරන බවද අනාවරණය විය. ඇය මානව හිමිකම් කොමසාරිස්වරියගේ විශේෂ උපදේශිකාවක් ලෙස කටයුතු කරයි. එහෙත් ශ‍්‍රී ලංකා රජයට එම තොරතුරු වසන් වී තිබේ.

හමුදාවට දඬුවම් කිරීමේ අලුත්ම බ්‍රිතාන්‍ය යෝජනාව

මේ හැර මැල්කම් රංජිත් කාදිනල්තුමාට මානව හිමිකම් සමුළුව ඇමතීමට සහය වූ ප‍්‍රැන්සිස්කන් ඉන්ටර්නැෂනල් සංවිධානය පසුගිය සමයේ ජිනීවා මානව හිමිකම් සමුළුව ඇමතීමට ක‍්‍රියා කළේ කොටිඩයස්පෝරාව සඳහායි.

මේ පසුබිම මැද හරින් ප‍්‍රනාන්දු මානව හිමිකම් සමුළුව අමතමින් කළ ප‍්‍රකාශය ඉටුවේද? මුයිසේ වාහාබ්දීන් නැමැති ඉස්ලාමීය රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියාකාරියා ත‍්‍රස්තවාදය මර්දනය කිරීමේ අරමුණින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය අවතක්සේරු කිරීම මැයෙන් පැවැත්වූ සම්මන්ත‍්‍රණය මෙහෙය වූ පිරොස් මෙසෙන්ජර් නැමැත්තා වාහාබ්දීන්ගේ ව්‍යාජ මානව හිමිකම් කවුන්සිලයේ මහලේකම් ලෙසද හඳුන්වා ඇත.

මෙවන් තොරතුරු අනාවරණය වන අවස්ථාවේ මේ වසරේ සැප්තැම්බර් මස පැවැත්වෙන 51 වැනි ජිනීවා සමුළුවේදී ශ‍්‍රී ලංකාවට එරෙහිව තවත් ජිනීවා යෝජනාවක් ඉදිරිපත් කෙරෙනු ඇත. බි‍්‍රතාන්‍යයේ මෙහෙයවීමෙන් ගොනු කරන මේ නව යෝජනාවට ඇතුළත් වන්නේ මෙරට හමුදා නිලධාරීන්ට දඬුවම් දීමේ ක‍්‍රමවේදයයි.කැනඩාව, ජර්මනිය, උතුරු මැසිඩෝනියාව සහ මලාවි මොන්ටිනිග්‍රෝ යන රටවල් මෙම යෝජනාවට අනුග‍්‍රහය දක්වයි.

මෙකී යෝජනාව ගැන ජිනීවාහිදී එම රටවල තානාපතිවරු අතර රහස් සාකච්ඡාවක් ද පවත්වා තිබේ. කෝර් ගෲප් නමින් හඳුන්වන මෙම කණ්ඩායම වෙනුවෙන් ජිනීවා සමුළුව ඇමතූ බි‍්‍රතාන්‍යය තානාපති රිටා ප්‍රෙන්ච් ශ‍්‍රී ලංකා රජය විවිධ පුද්ගලයන්ට එරෙහි නඩු රැසක් ඉවත දැමීමට ක‍්‍රියා කළ බවත් හිටපු රහස් පොලිස් අධ්‍යක්‍ෂ ශානි අබේසේකරගේ ආරක්‍ෂාව තහවුරු කළ යුතු බවත් කියා සිටියාය. එහෙත් ශානි අබේසේකරට එල්ල වී ඇති මරණීය තර්ජනය කුමක්ද? දේශපාලනයන් කීපදෙනකු සහ හිටිහැටියේ බිහි වූ සන්ධාන කීපයක් ශානි අබේසේකරට මරණ තර්ජන එල්ල වී ඇති බව දන්වමින් මානව හිමිකම් කවුන්සිලය වෙත ප‍්‍රචාරයක් දියත් කර තිබේ. එය තහවුරු වන්නේ මානව හිමිකම් සමුළුව ආරම්භ වීමට තෙදිනකට පෙර රැඩිකල් සෙන්ටර් නමින් හඳුන්වාගත් සංවිධානයක් ශානි අබේසේකර වෙනුවෙන් ඉදිරිපත් වීමයි.

ජයනි අබේසේකර නමින් හඳුන්වාගත් තැනැත්තියක් සහ නරේන්ද්‍ර ක‍්‍රිෂන් සාමි නෙෂාල් ජයසිංහ සී. එන්. කොඩිකාර සහ නිරෝ පාරුක් යන නම්වලින් පෙනී සිටි පිරිසක් සාක්ෂි විමර්ශකයන්ව සිරගත කරන බවට චෝදනා කර ඇත. ශානි අබේසේකර නීතිගරුක නිලධාරියකු බවට පෙන්නුම් කිරීමට ද මේ පිරිස උත්සාහ කර ඇත. එහෙත් ප‍්‍රභාකරන් ඝාතන සිදු කරන සමයේ මොවුන් සිටියේ කොහේද?

එසේම දේශපාලකයකු වූ රංජන් රාමනායක සමග නඩුවක් පිළිබඳව දුරකථන සාකච්ඡාවක යෙදුනේ මේ නීතිගරුක යැයි කියන හිටපු රහස් පොලිස් නිලධාරියාද නොවේද?

පාස්කු ප‍්‍රහාරය ගැන ශානි අබේසේකර පරීක්‍ෂණ පවත්වන අවස්ථාවේ නව පරීක්‍ෂණවලට පොලිස් නිලධාරීන් බාධාකරන බව ඔහු එදා පැවසූවේ නැත. මේ හැර සිරියානු තුර්කි සහ රුසියානු බුද්ධි අංශවලින් විමසීමක් නොකර ඔහු එකවරම පැවසූවේ පාස්කු ප‍්‍රහාරයට අයිසිස් සම්බන්ධ නොවන බවයි.

හමුදාවට දඬුවම් කිරීමේ අලුත්ම බ්‍රිතාන්‍ය යෝජනාව

මෙයට අමතරව පාස්කු ප‍්‍රහාරය පිළිබඳව රහස් පොලිසිය පිටින් මෙරටින් ඇමෙරිකාවට ස්විට්සර්ලන්තයට සහ ජර්මනියට පැනගිය තක්කඩිද පරීක්‍ෂණ පවත්වා ඇත. එම ව්‍යාජ පරීක්‍ෂණවලට කාදිනල් හිමියන්ද ගොදුරු විය.

මේ පසුබිම මැද මානව හිමිකම් කොමසාරිස් මිචේලි බැෂලේගේ සාක්ෂි එකතු කිරීමේ යාන්ත‍්‍රණය දිගටම ගෙනයා යුතු යැයි කාදිනල් හිමි පැවසූවේ ත‍්‍රස්තවාදය නැති කළ මෙරට ආරක්‍ෂක ප‍්‍රධානීන්ට එරෙහිව නොවේද?

එසේම කාදිනල් හිමිට ජිනීවා ගිය විගස මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ සමුළුව අමතන ලෙස ඇරයුම් කළේ නැත. රංජිත් මැල්කම් හිමිපානන්ට සමුළුව ඇමතීමට හැකි වූයේ ශ‍්‍රී ලංකා විරෝධී ප‍්‍රැන්සිස්කන් ඉන්ටර්නැෂනල් සංවිධානය ඔස්සේයි. 2019 මාර්තු මස පැවැති 40 වැනි සමුළුවද 2019 ජුලි මස පැවැති 41 වැනි සමුළුවටද 2019 ජුලි මස ද 2019 සැප්තැම්බර් මසද තවත් සමුළු කීපයක්ද ඇමතීමට එම ප‍්‍රැන්සිස්කන් ඉන්ටර්නැෂනල් සංවිධානය ක‍්‍රියා කළේ ශ‍්‍රී ලංකාවට එරෙහිවය එම අවස්ථාවල එකී ප‍්‍රැන්සිස්කන් ඉන්ටර්නැෂනල් සංවිධානය පසුබිමේ සිටියේ කොටිඩයස්පෝරා ක‍්‍රියාකාරීන්ය. මෙම ජිනීවා රාජ්‍ය නොවන සංවිධානයේ සහයෙන් කොටිඩයස්පෝරාව ශ‍්‍රී ලංකාවට චෝදනා නඟද්දී මම ද මානව හිමිකම් කවුන්සිලයේ සිටි අතර ශ‍්‍රී ලංකාවේ වෙත කිසිදු මාධ්‍ය පාර්ශ්වයක් සිටියේ නැත.

මේ අතර ඇමෙරිකානු ලැන්ටොස් මානව හිමිකම් කොමිසම සහ යුරෝපා සංගමයේ මානව හිමිකම් අනුකමිටුව හමුවේ අම්බිකා සකුනාදන් ශ‍්‍රී ලංකාවට එල්ල කළ ද්‍රෝහි චෝදනා ආරක්‍ෂක විශේෂාංගයෙන් මුලින්ම අනාවරණය කළෙමු. 2012 වසරේදී මානව හිමිකම් කවුන්සිලයේ අප සිටිනවිට විශ්වාස කටයුතු ආරංචි මාර්ග පැවසූවේ අම්බිකා නැමැත්තිය කොටි සංවිධානය සමග සෘජු සබඳතාවයක් ඇතිබවට මානව හිමිකම් කවුන්සිලයට පැමිණිල්ලක් ලැබුණ බවයි. ඒ වනවිට ඇය එම කවුන්සිලයේ සේවය කළත් මෙරට මාධ්‍යවලට තොරතුරු වසන්විය.

මෙරට එක්සත් ජාතීන්ගේ නියෝජිත නිල් බුහුනේටද එම තොරතුරු වාර්තා වූවත් ඔහු අම්බිකා ගැන කිසිදු පියවරක් ගත්තේ නැත.

එහෙත් ඇයගේ ශ‍්‍රී ලංකා විරෝධී ක‍්‍රියාදාමයට රජය විරෝධය පළ කළ විට ඩොලර් අරමුදල් ලබන එන්. ජී. ඕ. සංවිධාන 47 ක් ඊට එරෙහි විය. මේ සංවිධානවලින් ඇතැම් සංවිධාන හිටි හැටියේ මතු වූ ඒවාවේ. මෙහි දැක්වෙන්නේ එම සංවිධානවලින් කීපයකි. පර්ල් (ඇමෙරිකාව පැපරල්, මැතිවරණ කටයුතුවලට සම්බන්ධව) ප‍්‍රජා අභිලාෂ ‘රෙවලූෂනර් ඒක්සිස්ටන්ස් පෝ හියුමන් රයිට් ටු ලයිෆ් ’සමාදාන මෙවන් සංවිධානවලින් හෙළිවන්නේ රටට එරෙහි ද්‍රෝහීන්ට පවා පක්‍ෂව ඩොලර් නිසා ඔවුන් කටයුතු කරන බවයි. මෙවන් පසුබිමක් මැද හමුදා නිලධාරීන්ට එරෙහි සාක්කි එකතු කිරීමේ යාන්ත‍්‍රණයන්ට සාක්කිදුන් අයගේ අනන්‍යතාවය අනාවරණය වන්නේ 2030 වසරේදීය. එය ශ‍්‍රී ලංකාවට චෝදනා කරන සාක්කිකරුවන්ට අභියෝග කිරීම වළක්වාලීමේ මෙහෙයුමක් වසර අටකට පස්සේ සාක්කිකරුවන් හෙළි කරන විට චූදිතයන් ජීවතුන් අතර සිටින්නේද?

මානව හිමිකම් කොමාසරිස් මිචෙලි බැෂලේ අට වසරක් තිස්සේ සාක්කිකරුවන් 1,200000 ක් වසන් කර සිටින්නේ මන්ද?

මේ සාක්කිකරුවන් විශ්වසනීය බව ඇය තහවුරු කිරීමද බරපතළ සැකයට හේතුවේ. මෙහිදී නැඟෙන බරපතළ ප‍්‍රශ්නය නම් සර්බියානු නායක මිලොසොවික්ට පවා එල්ල නොවූ සාක්කි තොගයක් ශ‍්‍රී ලංකා හමුදාවට එල්ල වීමයි. මේ නිසා බැෂලේගේ ජිනීවා ව්‍යාපෘතිය මුළුමනින්ම ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල කුමන්ත‍්‍රණයකි.

මේ අතර ඉන්දීය සාගරයේ පිහිටි දියාගෝ ගාර්ෂියා නාවික කඳවුරේ ශ‍්‍රී ලාංකික ද්‍රවිඩයන් 89 ක් සිටින බව හෙළි විය. ඉන් 29 ක් ළමුන්ය.

මේ ද්‍රවිඩයන් උතුරේ සිට මදුරෙයි සහ තිරුවලාපලි වෙත පැනගොස් අනාථ කඳවුරුවල නතර වී සිට එම කඳවුරුවලින්ද පැනයන අවස්ථාවේ අසුවිය. මොවුන් මරණ තර්ජන නිසා ශ‍්‍රී ලංකාවෙන් පැනගිය ද්‍රවිඩයන් නොවේ. එහෙත් බි‍්‍රතාන්‍යය රජය ඔවුන්ගේ අනන්‍යතාවය ශ‍්‍රී ලංකා රජයට හෙළි කර නැත. මේ පසුබිම මැද යුක්රේන ආක‍්‍රමණයේදී ශ‍්‍රී ලංකාවෙ සහය යුක්රේනයට නොලැබීම ගැන 1971 හිටපු කැරලිකරුවකු වූ සුනන්ද දේශප‍්‍රිය නැමැති ස්විස් ජනතාවගේ බදු මුදල්වලින් පිංපඩි ලබන්නා සහ වසර ගණනකට පෙර ඇමෙරිකාවේ සිට මෙරටට පැමිණි රොහාන් සමරජීව නැමැත්තා දැඩි කම්පනයට පත් වී ඇත. එහෙත් මානව හිමිකම් කවුන්සිලයේදී ශ‍්‍රී ලංකාවට එරෙහිව ඡන්දය පාවිච්චි කළේ යුක්රේනය බව අමතක කළ යුතු නැත. යුක්රේනයේ ඇන්ටනෝව් සමාගම මුදලට ඇන්ටනෝව් 32 ප‍්‍රවාහන යානාද රුසියාව එම්. අයි. 17 හෙලිකොප්ටර් ද මෙරටට සැපයූ අතර ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල සම්බාධක ශ‍්‍රී ලංකාවට බලපාන්නේ නැත. රුසියාව මෙරටට සැපයුවේ හමුදා හෙළිකොප්ටර් යානා නොව සිවිල් හෙලිකොප්ටර්වේ.

රුසියාවට සම්බාධක පැනවීම ශී‍්‍ර ලංකාවේ ගුවන් හමුදාවට ද බලපාන බව කොටිඩයස්පෝරාව සිතුවත් එම සම්බාධක එක්සත් ජාතීන්ගේ සම්බාධක නොවේ. මේ වසරේ මුල්ම ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ප‍්‍රංශ කොටිඩයස්පෝරා සංවිධාන ශ‍්‍රී ලංකාවට එරෙහිව ලිඛිත නිවේදන 20 ක් ගොනු කර ඇත. එහෙත් මෙරට මාධ්‍ය පාර්ශ්ව හෝ දේශපාලකයන් ඒ බව දන්නේ නැත. ත්‍රෙන්ඩල් නැමැති සංවිධානය ශ‍්‍රී ලංකාවේ ද්‍රවිඩයන් සමූලඝාතනය කළ බව දක්වමින් ජන සංහාරවලට අදාළ නීතිරීති පනවන ලෙස මානව හිමිකම් බලධාරින්ගෙන් ඉල්ලා ඇත.

හමුදාවට දඬුවම් කිරීමේ අලුත්ම බ්‍රිතාන්‍ය යෝජනාව

මේ අතර ප‍්‍රතිසංස්කරණය වූ ග්ලෝබල් ටැමිල් පෝරම් නැමැති සංවිධානයක්ද නිව්යෝර්ක් නුවර බිහි වී ඇත. එම සංවිධානයට තවත් ද්‍රවිඩ සංවිධාන අටක්ද එකතු වී තිබේ. මෙම පසුබිම මැද ශ‍්‍රී ලංකාවට එරෙහි 30/1 ජිනීවා යෝජනාව කෙටුම්පත් කළේ කව්දැයි මෙතෙක් හෙළි වී නැත. එහෙත් එය කෙටුම්පත් කලේ ඇමෙරිකාවයි. 49 වැනි ජීනීවා මානව හිමිකම් සමුළුවට සහභාගී වීම සඳහා ස්විට්සර්ලන්තයට පැමිණි විදේශ ලේකම් ජයනාත් කොළඹගේ ජිනීවා විලේ ඇති අහසට ජලය විදින ජෙට් යන්ත‍්‍රය ඉදිකර ඇති ප‍්‍රදේශයේ සිටින අයුරු ජිනීවාහි පදිංචි ශ‍්‍රී ලාංකිකයන් දෙදෙනකුට දැක ගතහැකි විය.

ජයනාත් කොළඹගේ ජිනීවාහි නතර වී සිටියේ ඉන්ටර්කන්ටිනෙන්ටල් හෝටලයේයි. තමිල් අරසු කච්චි නායක මාවයි සේනාධිරාජා සහ සුරේශ් පේ‍්‍රමචන්ද්‍රන්ද අවස්ථාව උදා වී ඇතැයි සිතා මෙරට හමුදා ප‍්‍රධානීන්ට සම්බාධක පනවන ලෙස ඉල්ලා බි‍්‍රතාන්‍ය රජයට හදිසි සංදේශයක් යවා ඇත. මෙය යවා ඇත්තේ එරට විදේශ ඇමැති තරික් අහමද්ට ය. මේ අතර ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් වවුනියාවේදී රැස්වීමක් පවත්වා 13 වැනි සංශෝධනය ප‍්‍රතික්‍ෂේප කර වෙනම රටක් හෙවත් ස්වයංපාලනය ඉල්ලා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment