හමුදාවට පහර දුන් අය අල්ලන්න ගියාම පොලිසියටත් ගහලා

931

වව්නියාව සහ මින්නේරිය යන යුද හමුදා කඳවුරුවල සේවය කරන හමුදා සෙබළුන් දෙදෙනකුට පහර දීමේ සිද්ධියකට අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට පෙරේදා (19 දා) මධ්‍යම රාත‍්‍රියේ බේරුවල පාදුගොඩ පිටහේන ප‍්‍රදේශයේ නිවසකට ගිය අළුත්ගම පොලිසියේ නිලධාරීන් පිරිසකට සැකකරු හා ඥාතීන් ප‍්‍රහාරයක් එල්ල කර ඇති අතර ඉන් පොලිස් පරීක්‍ෂක අංජන සහ පොලිස් කොස්තාපල් (83618) ජයරත්න යන දෙදෙනා තුවාල ලබා ඇත.

රාත‍්‍රි මුර සංචාරයේ යෙදී සිටි පොලිස් පරීක්‍ෂක අංජන මහතා ඇතුළු තවත් නිලධාරීන් දෙදෙනකු සැකකරු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී සැකකරු හා නිවැසියන් සාපරාධී බලහත්කාරය පාමින් පොලිස් පරීක්‍ෂකවරයාට පොල්ලකින් පහරදීමට තැත් කර ඇති බවත් පසුව අළුත්ගම පොලිස් ස්ථානය දැනුවත් කර නිලධාරීන් කණ්ඩායමක් ගෙන්වා සැකකරු අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.

මෙම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් දෙදෙනාට තුවාල සිදුවී ඇති බවද පොලිසිය කියයි. සැකකරුගේ දියණියක් දැනට තුවාල ලබා අළුත්ගම සීනවත්ත රෝහලේ ප‍්‍රතිකාර ලබන යුද හමුදා සෙබළුන් දෙදෙනාගෙන් එක් අයකු සමග පේ‍්‍රම සම්බන්ධක් පවත්වාගෙන ගොස් ඇති බවත් සැකකරු ඊට විරෝධය දක්වා එම සෙබළාට හා තවත් සෙබළෙකුට ඔහුගේ ඥාති සොයුරාට පහරදී ඇති බවත් පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත. අළුත්ගම පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

විජයසිරි විද්‍යාසේකර – කළුතර සමූහ

advertistmentadvertistment
advertistmentadvertistment