හමුදාවේ අයට මාලිමාව තහනම්ද?

6772

විශ්‍රාමික හමුදා නිලධාරීන් ජවිපෙ නායකත්වය දෙන ජාතික ජනබලවේගය සමඟ දේශපාලනය කිරීම ජාතික ආරක්ෂාවට අභියෝගයක්ද? ජාතික ආරක්ෂාවට කෙසේ වෙතත් වික්‍රමසිංහ – රාජපක්ෂ ආණ්ඩුව මෙන්ම ප්‍රධාන විපක්ෂය වන සමගි ජනබලවේගය ද විශ්‍රාමික හමුදා නිලධාරීන් ජවිපෙ සමඟ එකතුවීම තමන්ට ප්‍රබල තර්ජනයක් ලෙස සලකන බව පැහැදිලිය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කැඩීගිය මන්ත්‍රී කණ්ඩායමද විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තාට එරෙහිව රජය ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම තේරුම් ගැනීමට අපහසු නැත.

මැතිවරණ ක්‍රියාවලිය සමඟ ගැටෙන රාජ්‍ය නොවන සංවිධාන ජාලයද රජය එතුමාට සහ තවත් ගුවන් හමුදා සාමාජිකයන් තුන් දෙනකුට එරෙහිව මාර්තු 10 වන දින කළ නියෝගයට ප්‍රතිචාර දැක්වූයේ නැත.

දශක තුනකට වඩා වැඩි කාලයක් ගුවන් හමුදාවට සේවය කර ඇති තුයියකොන්තා ප්‍රධාන විපක්ෂය සමඟ එකතු වූවානම් කිසිසේත් ප්‍රශ්නයක් ඇතිවන්නේ නැත. සැබෑ අවුල එම නිලධාරියා මාලිමාව ලාංඡනයෙන් තරග කරන ජාතික ජනබලවේගයට එකතු වීමයි. විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල්වරයා ගත් පියවර පාර්ලිමේන්තුව නියෝජනය කරන බොහෝ පක්ෂවලට දරාගත නොහැක.

තව දුරටත් වර්ධනය වෙමින් පවතින දේශපාලනික -ආර්ථික – සමාජීය අස්ථාවරත්වය විශ්‍රාමික හමුදා පිරිස් විකල්ප දේශපාලන ධාරාවකට තල්ලු කර ඇති බව තුයියකොන්තා අවධාරණය කරයි. එවැනි තත්ත්වයක් සක්‍රීය සේවයේ නියුතු සන්නද්ධ හමුදා සහ පොලිසියටද බලපාන බව අමුතුවෙන් කිවයුතු නැත. තුයියකොන්තාට එල්ල වී ඇති චෝදනාවත් එයයි. එනම් සක්‍රීය සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසු නිලයන් මාලිමා දේශපාලනයට පොළඹවා ගැනීමයි. මෙම ලියුම්කරු කළ විමසීමකදී, විශ්‍රාමික නිලධාරියා අවධාරණය කළේ තමන් කිසිදු අවස්ථාවක කුමන්ත්‍රණකාරී කටයුත්තක යෙදුනේ නැති බවයි.

විශ්‍රාමික නිලධාරීන්ට රජය කරන බලපෑම් සම්බන්ධයෙන් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මාර්තු 24 මැතිසබයේ දී ප්‍රශ්න කළේය. මන්ත්‍රීවරයා විශේෂයෙන්ම තුයියකොන්තා සහ මේජර් ජෙනරාල් අරුණ ජයසේකර සම්බන්ධව රජය ගෙන තිබෙන පියවර ප්‍රශ්න කළේය. මහින්ද යාපා අබේවර්ධන එම අවස්ථාවේ කථානායක පුටුවේ විය. ඊට දීර්ඝ පිළිතුරක් දුන් රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් අවධාරණය කළේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමට රජය බැඳී සිටින බවයි.

තුයියකොන්තා ගම්පහ දේශපාලන වේදිකාවේ මාර්තු 05 වන දින කළ ප්‍රකාශය ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. ප්‍රශ්නගත ප්‍රකාශය වූයේ ජවිපෙ සහ මිලිටරිය එක්වී ඇති බවයි. එවැනි තත්ත්වයක් කිසිදා උදා වන්නේ නැත. ඉන්දීය විරෝධය දඩමීමා කරගෙන මෙහෙයවූ දෙවැනි කැරැල්ලේදී පවා ආරක්ෂක අංශ දිනා ගැනීමට ජවිපෙට නොහැකි විය. අද එම පක්ෂය ප්‍රධාන කොටස් තුනකට කැඩී ඇත.

හමුදාවේ අයට මාලිමාව තහනම්ද?
විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා

ඊට පෙර තුයියකොන්තා කර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නැති බවද රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය. සුපුරුදු ලෙස එම අවස්ථාවේදී පාර්ලිමේන්තු සභා ගර්භයේ අවම මැති ඇමැතිවරු ගණනක් සිටියේය.

හතරවන ඊළාම් යුද්දධයේදී (අගෝස්තු 2006 – මැයි 2009) අංක 09 හෙලිකොප්ටර් ප්‍රහාරක බලඝණයේ අණදෙන නිලධාරියා වූ තුයියකොන්තා විශ්‍රාම ලැබුවේ 2021 නොවැම්බර් මාසයේදීය. ඒ විදේශ ණය උගුල සහ අතිශය බරපතළ ගෙවුම් ශේෂ අර්බුදයක් හේතුවෙන් ජනතා පිපිරීමක් වීමට මාස කීපයකට පෙරය. එල්. ටී. ටී. ඊ. සංවිධානය සතුව තිබූ යුද ශක්තිය හීන කිරීමට සහ පාබල හමුදාවන්ට අවශ්‍ය වෙඩි බලය ලබා දීමට එවකට වින්ග් කමාන්ඩර්වරයකු වූ තුයියකොන්තා කළ කාර්ය ඉතිහාසයට එක්වී අවසානය. ඔහුගේ නායකත්වය යටතේ එම්. අයි. 24 ප්‍රහාරක හෙලිකොප්ටර්වලින් සමන්විතවූ බලඝණය එල්ල කළ ප්‍රහාර උතුරේ මෙන්ම නැගෙනහිරදීද කොටි සංවිධානය අකර්මන්‍ය කළේය. නමුත් තුයියකොන්තා යුද සමයේදී අවධානයට යොමු වූ නිලධාරියකු නොවීය.

රොකට් සහ අනෙකුත් අවි ආයුධවලින් සන්නද්ධ එම හෙලිකොප්ටර් බලඝණයට 2005 සිට 2009 සැප්තැම්බර් දක්වා අද්විතීය නායකත්වයක් දුන් එම නිලධාරියා වරක් මුල්ලියාවේලි (මුලතිව් දිස්ත්‍රික්කය) සටනකදී දැඩි ප්‍රහාරයකට ලක්විය. ඔහුගේ හෙලිකොප්ටරයට 32 වරක් ත්‍රස්තවාදීන්ගේ ගුවන් යානා නාශක අවිවලින් වෙඩි වැදී තිබිණි. තිකුණාමලයේ චීන වරාය ප්‍රදේශයෙන් සටනට ගිය ඔහුට නැවත එම කඳවුරට ඒමට නොහැකි විය.

ත්‍රස්තවාදී ග්‍රහණයේ පැවති ප්‍රදේශවල හිරවී සිටි රහස් මෙහෙයුම්වල යෙදුනු හමුදා සාමාජිකයන් බේරා ගැනීමේ මෙහෙයුම්වලට ද ඔහු දායකත්වය දී ඇත.

ශ්‍රී ලංකාව ඊළාම් සිහිනය බොඳකර මාස පහකට පසුව පකිස්ථානයේ තිබෙන ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙස තුයියකොන්තා පත්වීමක් ලැබීය.

ඇත්ත වශයෙන්ම විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල්වරයා විකල්ප දේශපාලන ධාරාවකට දී ඇත්තේ සුළුපටු තල්ලුවක් නොවේ. රජය එතුමාට දැක්වූ ප්‍රතිචාරය හේතුවෙන් රටේම අවධානය විශ්‍රාමික නිලධාරීන් සහ සෙසු නිලයන් දේශපාලනයේ යෙදීම සම්බන්ධයෙන් ආන්දෝලණාත්මක තත්ත්වයක් ඇතිවී ඇත.

විශ්‍රාමික නාවික හමුදා නිලධාරියකු වන ලුතිනල් නලින් සිරිවර්ධන තුයියකොන්තා ගත් ක්‍රියාමාර්ගය කිසිසේත් අනුමත කළ නොහැකි බව පවසයි. ඔස්‌ට්‍රේලියානු ද්විත්ව පුරවැසියකු වන සිරිවර්ධන අවධාරණය කරන්නේ පවතින රජය විවේචනය කරමින් ප්‍රසිද්ධ දේශපාලනයේ නියුතු විශ්‍රාමික ත්‍රිවිධ හමුදා පුද්ගලයන්ට හමුදා කඳවුරුවලට ඇතුළුවීම සහ හමුදා වාහන පාවිච්චිය තහනම් කිරීම ඉතා සාමාන්‍ය දෙයකි. ඒ සඳහා සේනාධිනායකයාට බලය ඇත.

තම මුහුණු පොතේ සිරිවර්ධන මෙසේ සටහනක් තබා ඇත. “හමුදා පුද්ගලයකු (විශේෂයෙන්ම නිලධාරියකු) එය නොදන්නා බව හඟවමින් කටයුතු කරන්නේ නම් හෝ එය තමන්ගේ හෝ සිවිල් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් ලෙස හුවාදක්වන්නේ නම් ඒ ජනතාවගෙන් අනුකම්පාව දිනාගැනීමට කරන බොරු රඟපෑමකි. දේශපාලන තක්කඩිකම් පටන්ගන්නේ මෙලෙසිනි.

ප්‍රසිද්ධ දේශපාලනයට පැමිණීම යනු ඉතා ඉහළ අවදානමක් ගැනීමකි. එහෙත් ජයග්‍රහණය කළහොත් ඉහළ ප්‍රතිලාභ ලැබෙන තැනකි. මෑත ඉතිහාසයේ එවන් අවදානම් ගත් විශ්‍රාමික හමුදා සාමාජිකයන් (සමහර අය විශ්‍රාම ගැනීමට පෙරසිටම) එම පාක්ෂිකභාවය නිසාම හමුදාවන්හි ඉහළම නිලතල, හමුදාපතිකම්, ඇමැතිකම්, ආණ්ඩුකාරකම්, දිස්ත්‍රික් සභාපතිකම්, තානාපතිකම් යනාදී දේ ලබා ගත් බව රටට නොරහසකි. එබැවින් යමක් කමක් තේරුම් ගැනීමට හැකි ජනතාව ඇන්දවීමට කාලය යොදවනවා වෙනුවට එම කාලයද තම දේශපාලන කටයුතුවලට යොදාගෙන ඉන් ප්‍රතිලාභ ලබාගැනීමට උත්සාහ කරන ලෙස ප්‍රසිද්ධ දේශපාලනයේ නියුතු විශ්‍රාමික හමුදා පුද්ගලයන්ගෙන් ඉතා ඕනැකමින් ඉල්ලා සිටිමි.”

සිරිවර්ධන කරන ප්‍රකාශයට කිසිසේත් විරුද්ධ විය නොහැක. ත්‍රස්තවාදය 2009 දී පරාජය කළ පසුව පැවැත්වූ පළමුවන ජනාධිපතිවරණයට එවකට ජෙනරාල් සරත් ෆොන්සේකා ඉදිරිපත් වූ බව සහ ඊට වසර 10 කට පසුව විශ්‍රාමික ලුතිනල් කර්නල් ගෝඨාභය රාජපක්ෂ අවසන් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ බව නොසලකා තුයියකොන්තා සම්බන්ධයෙන් ඇතිවී ඇති තත්ත්වය විමසා බැලිය නොහැක.

සක්‍රීය සේවයෙන් විශ්‍රාම යෑමට පෙර දේශපාලනයට අවතීර්ණ වූ ෆොන්සේකා 2010 ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට නායකත්වය ගත්තේ එජාපයයි. ඊට ඇමෙරිකානු සහයෝගය ලැබිණි. ෆොන්සේකා ජනාධිපති කරවීමේ මෙහෙයුමට ආරක්ෂක හමුදා යුද අපරාධ කළ බවට අදටත් චෝදනා කරන ද්‍රවිඩ ජාතික සංවිධානය පූර්ණ සහයෝගය දුන්නේය. ත්‍රස්තවාදයට එරෙහි සටනට අද්විතීය නායකත්වයක් දුන් ෆොන්සේකා ජනාධිපතිවරණයෙන් මිලියන 1.8 ඡන්ද ප්‍රමාණයකින් පරාජය විය. නමුත් ද්‍රවිඩ කතා කරන උතුරු සහ නැගෙනහිර සියලුම දිස්ත්‍රික්ක එතුමා පහසුවෙන් ජයග්‍රහණය කළේය. ජවිපෙ සහයෝගය පළ කළේද විශ්‍රාමික ජෙනරාල්වරයාටමය. අද ෆොන්සේකා ෆීල්ඩ් මාර්ෂල් ධුරය හොබවන අතර ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරයි. මීට පෙර දෙවරක් පාර්ලිමේන්තුව ඩිමොක්‍රටික් නැෂනල් ඇලයන්ස් සහ එජාප ජාතික ලැයිස්තුව නියෝජනය කර ඇති ෆොන්සේකා අද සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරයෙකි.

ෆොන්සේකාට සහයෝගය දුන් බවට චෝදනා ලැබූ සක්‍රීය සේවයේ නියුතු ඉහළ යුද හමුදා නිලධාරීන් කිසිදු පරීක්ෂණයකින් තොරව ඉවත් කෙරිණි. ඒ අතර සිටි මේජර් ජෙනරල් මෙහේෂ් සේනානායක යහපාලන රජය යටතේ යුද හමුදාපතිවරයා ලෙස පත් වීම ලැබීය. තව්හිත් ජමාත් සංවිධානය 2019 පාස්කු ප්‍රහාරය එල්ල කරන අවස්ථාවේදී යුද හමුදාපතිවරයා වූ ඔහු එම වසරේදීම පැවැත්වූ ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ ‘නැෂනල් පීපල්ස් පාර්ටි’ හරහාය. විශ්‍රාමික ජෙනරාල්වරයාට ඡන්ද 50,000 ගැනීමට නොහැකි විය. යහපාලන රජයේ දුර්වලතා සහ දේශපාලන තීන්දු තීරණ හේතුවෙන් එල්ල කිරීමට අවස්ථාව උදා කළ පාස්කු ප්‍රහාරය දේශපාලන වාසියට හරවා ගැනීමට එම ජෙනරාල්වරයා ගත් උත්සහාය අසාර්ථක විය. ‘නැෂනල් පීපල්ස් පාර්ටි’ යන පක්ෂයට වූ දෙයක් නැත.

මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළ යුතු වන්නේ ජෙනරාල් සේනානායකව ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම සිවිල් සංවිධානවල නායකත්වයෙන් සිදු විය. පාස්කු ප්‍රහාරය වැළැක්වීමට නොහැකි වීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වූයේ නැත. නමුත් තමන් යටතේ පැවති හමුදා බුද්ධි අංශය පාස්කු ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ඔහුට වගකීමක් ඇත. කෙසේ වෙතත් සක්‍රීය සේවයේ නියුතු නිලධාරීන් සහ විශ්‍රාමිකයන් දේශපාලනයේ යෙදීම ශ්‍රී ලංකාවට ආගන්තුක නැත.

හමුදාවේ අයට මාලිමාව තහනම්ද?

මෙහිදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට මඟ සැලස්වීමටම පිහිටුවූ වියත්මග සංවිධානයට විශ්‍රාමික නිලධාරීන්ගෙන් ප්‍රබල සහයෝගයක් ලැබිණි. එහි කිසිදු වරදක් නැත. අද්මිරාල් මොහාන් විජේවික්‍රම (පකිස්ථානයේ සිටින වර්තමාන මහා කොමසාරිස්වරයා), මේජර් ජෙනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි (ගුවන් සේවා සමාගමේ වර්තමාන සභාපති), එවකට මේජර් ජෙනරාල් කමල් ගුණරත්න (වර්තමාන ආරක්ෂක ලේකම්) ප්‍රබල කාර්යභාරයක් කළේය. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව සහ ඊට පෙර දශක ගණනාවක් තුළ සියලුම දේශපාලන පක්ෂ අඩු වැඩි වශයෙන් වගකිව යුතු වැරදි තීන්දු තීරණ හේතුවෙන් ආර්ථිකය වළපල්ලට ගියේය. ඉහත සඳහන් කළ විශ්‍රාමික නිලධාරීන්ට අමතරව ගෝඨාභය රාජපක්ෂ රජය සැලකිය යුතු හිටපු නිලධාරීන් ගණනකට තනතුරු ලබා දීම එක්තරා ආකාරයකට අන්දෝලණාත්මක විය. ඒ අතර අද්මිරාල් ආචාර්ය ජයනාත් කොළඹගේ (විදේශ ලේකම් සහ වර්තමාන ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති), එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක (බස්නාහිර ආණ්ඩුකාර), අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ (වයඹ ආණ්ඩුකාර), ජෙනරාල් දයා රත්නායක (වරාය සභාපති සහ අමාත්‍යාංශ ලේකම්), එයාර් මාර්ෂල් සුමංගල ඩයස් (ජකාර්තා හි තානාපති), මේජර් ජෙනරාල් නන්දා මල්ලවාරච්චි (ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පිහිටුවූ නව ව්‍යාපෘතියක නායකත්වය) සහ තවත් විශ්‍රාමිකයන් ගණනාවකට තනතුරු ලබා දුන් බව වාර්තා වී ඇත.

එම ආණ්ඩුව අසාර්ථක වීම සම්බන්ධයෙන් ගැඹුරු අධ්‍යයනයක් කළ යුතුය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වීමට පෙර 16 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියේ වැඳ වැටුන ශ්‍රී ලංකාව ඇත්තවශයෙන්ම දේශපාලනික – ආර්ථික – සමාජීය වශයෙන් අසාර්ථක රාජ්‍යයකි. එම තත්ත්වයට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ, විශේෂයෙන්ම ශ්‍රීලනිප ප්‍රධාන ආණ්ඩු සහ එජාපය වගකිව යුතුය.

ජාතික ජනබලවේගය පවතින ක්‍රමයට එරෙහිව කඳවුරු බැඳීම සහ විශ්‍රාමික ආරක්ෂක හමුදා නිලධාරීන්ගේ සහ සෙසු නිලයන් ඇතුළු ඡන්දය දෙන ජනතාවගේ ආකර්ෂණය හිමිකර ගැනීම අධ්‍යයනය කළ යුතු වන්නේ විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය තම වගකීම් ඉටුකර ඇති ආකාරය අනුවය.

වසරකට වඩා වැඩි කාලයකින් ඇති පළාත් පාලන ඡන්දය තව දුරටත් කල් දැමීම හේතුවෙන් විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය බරපතළ අවුලක බව ලෝකයම දනී. විධායකයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ග්‍රහණයේ පවතින පාර්ලිමේන්තුව ජනතාවගේ ඡන්ද අයිතිය උදුරා ගෙන ඇති බවත් ඊට එරෙහිව සැබෑ විපක්ෂය ජාත්‍යන්තර (ප්‍රජාවේ) මැදිහත්වීම අපේක්ෂා කිරීම තේරුමක් නැත. බටහිර වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ නායකත්වය පිළිගෙන ඇත. එසේ නොවන්නට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිසිසේත් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 විස්තීරණ ණය පහසුකම ලබා දෙන්නේ නැත. එය වසර හතරක කාලයක් තුළ ලබා දීමට නියමිතය.

මීට පෙර ආණ්ඩු විශ්‍රාමික නිලධාරීන්ට තනතුරු දුන් බවද සඳහන් කළ යුතුය. මේජර් ජෙනරාල් ජනක පෙරේරා ඔස්ටේ්‍රලියාවේ මහ කොමසාරිස් ලෙස පත්වීම ලැබුවේ ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක මැතිනියගේ සමයේදීය. ඔස්‌ට්‍රේලියාව එම පත්වීම බල ගැනීමට කැමති වූයේ නැත. නමුත් එවකට විදේශ අමාත්‍ය වූ ලක්ෂ්මන් කදිරගාමර් මැතිතුමාගේ මැදිහත් වීම හේතුවෙන් මේජර් ජෙනරාල්වරයාට මහ කොමසාරිස් ධූරය හිමි විය. ඊට පෙර ජෙනරාල් සේපාල ආටිගල එංගලන්තයේ මහ කොමසාරිස් ලෙස පත්වීම ලැබීය. ඒ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ කාලයේදීය. විශ්‍රාමික ජෙනරාල්වරයාට කොටි ත්‍රස්තවාදී ‘කිට්ටු’, වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට එංගලන්තයට පැමිණීම සංවිධානය කිරීමට ද සිදුවිය.

සේවයේ යෙදී සිටින ආරක්ෂක අංශ සහ පොලිස් ප්‍රධානීන්ට දේශපාලන හේතු මත තනතුරු ප්‍රදානය කර ඇත. පුනරින් පරාජය (1993 නොවැම්බර්) වරද පිලිගත් ලුතිනල් ජෙනරාල් සිසිල් වෛද්‍යරත්න තායිලන්තයේ තානාපති ලෙස පත්වීම ලැබීය. එය එජාපය කළ පත්වීමකි. කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සේවකයකු ඉතාමත් කලහකාරී තත්ත්වයක් තුළ 2011 ජුනි මාසයේ පොලිස් වෙඩි පහරින් මියයෑමෙන් පසු පොලිස්පති මහින්ද බාලසූරිය ආණ්ඩුවේ ඉල්ලීම මත තම තනතුරින් ඉල්ලා අස්විය. ඊට සති කීපයකට පසුව ඔහු බ්‍රිසීලයේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත්වීම ලැබීය. පාස්කු ප්‍රහාරය වැළැක්වීමට නොහැකි වීමේ වරද තමන් භාරගතහොත් එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන තමන්ට තානාපති තනතුරක් දීමට පොරොන්දු වූ බව පොලිස්පති පූජිත ජයසුන්දර ප්‍රකාශ කර ඇත. තව කතා බොහෝය.

ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ කාලයේ කොටි සංවිධානයට ද දේශපාලන පක්ෂයක් පිහිටුවීමට ලැබිණි. එහි නායකයා වූයේ එම ත්‍රස්තවාදී කණ්ඩායමේ නියෝජ්‍ය නායක මහත්තයා බව බොහෝ දෙනෙක් දන්නේ නැත. ජනාධිපතිවරයාගේ නියෝගය මත එවකට මැතිවරණ දෙපාර්තමේන්තුව ආයුධ සන්නද්ධ කණ්ඩායමකට දේශපාලන පක්ෂයක් පිහිටුවීමේ අවස්ථාව දීම පිළිබඳව එදා ආන්දෝලණාත්මක තත්ත්වයක් ඇති වූයේ නැත. ද්‍රවිඩ ජාතික සන්ධානය කොටි ත්‍රස්තවාදීන් ද්‍රවිඩ ජනතාවගේ එකම නියෝජිතයා බවට 2001 පිළිගැනීමද සාමාන්‍ය තත්ත්වයක් ලෙස බොහෝ දේශපාලන පක්ෂ සැලකීය. අමාත්‍ය දේවානන්දා ද ද්‍රවිඩ ත්‍රස්තවාදී කණ්ඩායමක නායකයෙකි. ඉන්දියාව ක්‍රියාත්මක කළ ත්‍රස්තවාදී කණ්ඩායම් කීපයක්ම සහ 1971 සහ 1987 -1990 කැරැල්ලට මෙහෙයවූ ජවිපෙද පාර්ලිමේන්තුවේය.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු

advertistmentadvertistment
advertistmentadvertistment