හමුදාවේ 58කට මුක්තිය අහිමියි?

692

උතුරු නැඟෙනහිරට අන්තර්වාර පාලනයක් ලබාදෙන්න ශ්‍රීධරන් කැනඩාවෙන් ඉල්ලයි

ගෝඨාභය රාජපක්ෂ ඇතුළු හමුදා නිලධාරීහු 58කට යුද අපරාධ පිළිබඳව දඬුවම් කිරීමට ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ සහ මානව හිමිකම් කවුන්සිලයේ ඉහළ නිලධාරිනියක් වූ යස්මින් සුකා පුන පුනා බලා සිටියි. ඒ ශ්‍රී ලංකාව ඉතාමත් දුෂ්කර අවස්ථාවකට මුහුණ පා ඇති නිසා ය.

හමුදාවේ 58කට මුක්තිය අහිමියි?

2009 දී ද්‍රවිඩයන් දසදහස් ගණනක් මැරුවා. මෙය ජාත්‍යන්තර අපරාධයක්. දැන් අවශ්‍ය වන්නේ යුක්තිය සහ වගවීමයි. ජාත්‍යන්තර ප්‍රජාව දැන් ශ්‍රී ලංකාවට තහංචි පැනවීමට ක්‍රියා කළ යුතුයි. ඒ අනුව යුද අපරාධ සිදු කළවුන්ට එරෙහිව ක්‍රියා කළ යුතුයි. මේ නිසා යුක්තිය ඉල්ලා සිටින ද්‍රවිඩයන්ට සර්වලෝක අධිකරණ පද්ධතිය මත සහය දැක් විය යුතුයි යැයි යස්මින් සුකා පසුගියදා ප්‍රකාශ කර තිබිණි.

සුකා තවදුරටත් පැවසුවේ යුක්තිය ඉටු කිරීමට ප්‍රමාදවී ඇති බවයි. මේ පසුබිම මැද ජනපති ඇතුළු හමුදා නිලධාරීන් පිරිස දැඩි අවිනිශ්චිතතාවකට මුහුණ පා සිටී. රජය වෙනස් වුවොත් මෙවැනි අවාසනාවන්ත තත්ත්වයකට හමුදා නිලධාරීන් මුහුණපාන බව අප කලකට පෙර අනතරු ඇඟවූයෙමු.

එහෙත් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රජය සෞභග්‍ය දැක්මක් ගැන හඬ නැඟුවා මිස කිසිදු ආරක්ෂාකාරී පියවරක් ගත්තේ නැත. හමුදා නිලධාරීන්ට එල්ල කළ යුද අපරාධ චෝදනාවලින් ඔවුන් මුදාගැනීමට පාර්ලිමේන්තුව වෙත ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය පනත් මෙන් පනතක් ගෙන ආයුතු බව අප පැවසුවත් ගෝඨාභය රාජපක්ෂ ඊට මුල් වූයේ නැත. මේ අතර මැයි 23 දා වනවිට එක්සත් ජාතීන්ගේ නිලධාරිනි යස්මින් සුකා ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පිටු 43ක විමර්ශන වාර්තාවක් ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ වෙත ඉදිරිපත් කරනු ලැබීය.

එහි ගෝඨාභයගේ අතීතය ද සඳහන් විය. මෙයට අමතරව හිටපු රහස් පොලිස් නිලධාරියකු වූ නිශාන්ත සිල්වා ස්විට්සර්ලන්තයේ සිට අන්තර්ජාලය ඔස්සේ නෙදර්ලන්තයේ හේග් නුවර පැවැත්වූ මහජන විනිශ්ච මණ්ඩලය නමැති රාජ්‍ය නොවන සංවිධාන අධිකරණය හමුවේ සාක්කි දෙමින් මිග් ප්‍රහාරක යානා ගනුදෙනුව නිසා මාධ්‍යවේදියකු ඝාතනය වූ බව පළ කළේය. එම මහජන විනිශ්චය සභාවේ තීරණය ජුනි මස ප්‍රකාශයට පත් කෙරේ. එහෙත් ගෝඨාභය පත් කරගෙන සිටි විද්‍යුත්නාලිකා මාධ්‍ය පාර්ශ්ව ඊට ප්‍රතිචාර දැක්වීමට ඉදිරිපත් වූයේ නැත.

පසුගිය මැයි 12 සහ 13 යන දිනවල ලයිව්ස්ටී්‍රම් ජාලය ඔස්සේ මහජන විනිශ්චය සභාව සාක්කි විමසනු ලැබීය.

මෙවන් තොරතුරු හෙළි වන අවස්ථාවේ යස්මින් සුකා ගෝඨාභයගේ ඇතුළත කණ්ඩායම නමින් වාර්තාවක් ප්‍රකාශයට පත්කර තිබිණි.

ශවේන්ද්‍ර සිල්වා, සත්‍යප්‍රිය ලියනගේ, කමල් ගුණරත්න, චන්න වික්‍රමසිංහ, ප්‍රියංකා ප්‍රනාන්දු, ජගත් අල්විස්, සුරේෂ් සාලේ, ප්‍රසන්න අල්විස්, කේ.බී. එගොඩවෙල, දයා රත්නායක, නන්ද මල්ලවාරච්චි, සුමේධ පෙරේරා, විජිත රවිප්‍රිය, දර්ශන හෙට්ටිආරච්චි යන අයවලුන් එම ඇතුළත කණ්ඩායමේ ක්‍රියාකාරීන් බවත් රජය හමුදාකරණයට ලක් වී ඇති බවත් යස්මින් සුකා චෝදනා කරනු ලැබීය. මෙම තත්ත්වය මැද වගවීමේ ක්‍රියාවලිය ගෝඨාභය සහ හමුදා නිලධාරීන් 58ක් වෙත එල්ල වී තිබේ. ඉන් මෙම පිරිසට ගැලවීමක් නැත. තුනෙන් දෙකේ බලය තිබියදී යුද අපරාධ චෝදනා එල්ල වූ හමුදා නිලධාරීන් වෙනුවෙන් හේග් විරෝධී පනතක් හෙවත් මෙරට හමුදා නිලධාරීන් ගලවා ගැනීමේ මුක්තිය හිමි පනතක් සම්මත කර ගැනීමට ගෝඨාභය රාජපක්ෂ ක්‍රියා කළ යුතුව තිබුණත් ඔහු සමීපයේ සිටි උපදේශකයක් ඒ සඳහා ක්‍රියා කළේ නැත. එහි ප්‍රතිඵලය දැන් පැහැදිලිය. සර්බියාවේද සිදු වූයේ මෙයයි. මිලොසවික් පාලනය බිඳ වැටී නේටෝ හිතවාදී පාලනයක් බිහිවීමත් සමගම නව පාලකයෝ බටහිර රටවල් ඉල්ලා සිටි. සර්බියානු හමුදා නායකයන්ව හේග් ජාත්‍යන්තර අධිකරණයට පවා දුන්හ. එහි පෙරහුරුව දැන් ආරම්භ වී ඇත. ඒ බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂ නායකයා ශ්‍රී ලංකාවේ හමුදා නිලධාරීන් හේග් ජාත්‍යන්තර අධිකරණයට යොමු කරන ලෙස දැනටමත් ඉල්ලා ඇත. ඊට සමගාමීව කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ එකී ඉල්ලීමට සහාය දක්වා තිබේ. මේ හැර කෝර් ගෲප් නමැති කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව දිගටම ක්‍රියාත්මක වේ. ඊට ජර්මනිය, මැසිඩෝනියාව, මොන්ටිනීග්රෝ යන රටවල් ද එකතු වී ඇත. අද ශ්‍රී ලංකාව තනි වී ඇත. කිසිදු දේශපාලන දැක්මක් නැති උපදේශකයන් පත්කර ගැනීම නිසා ජනපති රාජපක්ෂ අතරමංවී තබේ. කොටින්ට එරෙහි යුද්ධය ජනතාවට අමතක වී තිබේ.

ජිනීවා මානව හිමිකම් සමුළුවට මුවා වී ඇතැම් පාර්ශ්ව මිලියන ගණනක් උපයා ගනු ලැබීය. ඊට හොඳම නිදසුන ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය නඟා සිටුවීම සඳහා යැයි දක්වමින් මහින්ද රාජපක්ෂ රජය සී අයි ඒ චර පුරුෂයකුට ඩොලර් මිලියන 6.8ක් හොර රහසේ ගෙවීමයි. සුවෙරි නම් වූ සී අයි ඒ ඔත්තුකරු එම මුදල් වැය කළේ ඔහුගේ සහ බිරියගේ සුපිරි ගමන් බිමන් උදෙසායි.

බදු වංචා කිරීමේ චෝදනාවකට හසු වූ සුවෙරි දැන් සිරගතව සිටී. එසේම ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය නඟා සිටුවීමක් සිදුවී නැත.

ආරංචි මාර්ග දක්වන අන්දමට එවකට රජයේ සිටි දේශපාලන බලවතුන් දෙදෙනෙක් මෙම ගනුදෙනුවට සම්බන්ධ වී ඇත.

මේ අතර ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ගේ ද්‍රවිඩ ජනතා පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක සුකාෂ් නමැත්තා කැනඩා පාර්ලිමේන්තුව සම්මත කළ ද්‍රවිඩ ජාත්‍යන්තර යෝජනාව අනුමත කර ඇත.

ඔහු තවදුරටත් පවසා ඇත්තේ එම යෝජනාව ජාත්‍යන්තර විමර්ශනයක් දක්වා ගෙන යා යුතු බවයි. ඉදිරියේදී මේ යෝජනාව නිසි පරිදි ක්‍රියාත්මක වන බව ද ඔහු තවදුරටත් පවසා ඇත.

මෙවන් පසුබිමක් මැද කොටි ත්‍රස්තවාදය වැනසූ හමුදා ප්‍රධානීන්ගේ අනාගතය කුමක්වේද? අද ඔවුහු අසරණ වී සිටිති. මෙතෙක් ගෝඨාභය රජය යටතේ ඔවුන්ට මුක්තිය නමැති වරප්‍රසාදය හිමි වුවත් මින්මතු එය හිමි වේද?

දේශපාලන බලය ඇති අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ ඔවුන්ට මුක්තිය ලබාදීමට කටයුතු කළේ නැත. අද එම හමුදා ප්‍රධානීන්ට ආසියානු රටවලට හැර වෙනත් කිසිදු රටකට යෑමට නොහැකිය.

ඒ ඔවුන් ඉදිරියේ සර්වලෝක අධිකරණ පද්ධතිය ක්‍රියාත්මක වන නිසාය. මරණ දඬුවම නියමවූවන්ට සමාව දීමට කටයුතු කළ ජනපති රාජපක්ෂ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ යුද අපරාධ චෝදනාවලට ලක්වූ හමුදා ප්‍රධානීහු රැක ගැනීමට කඩිනමින් ක්‍රියා නොකළේ මන්ද?

කොටිඩයස්පෝරාව නව හමුදාපති විකුම් ලියනගේ යුද අපරාධකරුවකු ලෙස නම්කර ඇත. ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බළකායේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ලියනගේ යුද අපරාධ සිදු කළ බව දක්වන වාර්තාවක් එක්සත් ජාතීන්ගේ නිලධාරිනී යස්මින් සුකා කෙටුම්පත් කරන බව ද වාර්තා වී ඇත. එසේම මීළඟ ආරක්ෂක අයවැය කප්පාදුවේද? එය භයානක ක්‍රියාදාමයකි. ආරක්ෂක අයවැය අඩු කිරීම යනු ආරක්ෂාව බිඳ වැටීමකි. සතුරා බලා සිටින්නේ මෙවන් අවස්ථාවක් බව තහවුරු වේ.

පසුගිය මැයි 18 දා කොටි මෙරටට ප්‍රහාරයක් එල්ල කරන බවට ඉන්දීය බුද්ධි සේවාව අනතුරු අඟවනු ලැබුවත් එය සිදුවූයේ නැත. එහෙත් කොටි ප්‍රහාර එල්ල කරන්නේ නොසිතූ අවස්ථාවකයි. මේ අතර කොටි හමුදා නායකයන්ගේ බිරියන් හමුදාව විසින් ඝාතනය කර ඇති බවට ප්‍රචාර පසුගිය කාලය මුළුල්ලේම දියත් විය. එහෙත් හිටපු කොටි හමුදා නායකයකු වූ යෝගරත්නම් යෝගිගේ බිරිය ජයවතී යාපනයේ සිටින බව අනාවරණය වී ඇත. එසේම මහේන්ද්‍ර රාජා හෙවත් මහත්තයාගේ බිරිය ද උතුරේ සිටින බව හෙළි වී තිබේ. ජයවති පසුගියදා පැවසුවේ සිය සැමියා වූ යෝගි – පුතුවායි රත්නදොරෙයි සහ ප්‍රංශයේ සිටි කොටි නායක ලෝරන්ස් තිලගර් සහ ප්‍රභාකරන්ගේ සමීපතම සගයා වූ බේබි සුබ්‍රමනියම් හමුදාවට යටත් වූ බවයි.

එහෙත් ඇගේ ප්‍රකාශය හමුදාව ප්‍රතික්ෂේප කර ඇත. මේ පසුබිම මැද ලබන සැප්තැම්බර් මස ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා කොමසාරිස් මිචෙලි බැෂලේ යෝජනාවක් ගෙන ඒමට ක්‍රියා කර ඇත.

හමුදාවේ 58කට මුක්තිය අහිමියි?

එසේම ශ්‍රී ලංකාවේ අර්බුදය මත කොටි ඩයස්පෝරාව පමණක් නොව, ඔවුන්ගේ ආධාරකරුවන් අතිශයින්ම බලගතු තත්ත්වයට පත්ව ඇත. මෙරට ජනතාවට ද ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය අමතක වී තිබේ. එහි ප්‍රතිඵලය නම් කොටි ක්‍රියාකාරිනියක් වූ ඉසිප්‍රියාගේ ඡායාරූපය ද ගාලු මුවදොර අරගලයට රිංගිමට රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් කටයුතු කිරීමයි. ඒ හැර මෙරට හමුදා නිලධාරීන් ජාත්‍යන්තර අධිකරණයට ගෙන යෑමේ විදේශගත කොටි මෙහෙයුම වඩා වර්ධනය වී ඇත. පාර්ලිමේන්තුවේ බලය වෙනස් වුවත් හමුදාව රැක ගැනීමේ පනතක් ගෙන ඒමට මේ දක්වාම ක්‍රියා කර නැත. ජනපති ගෝඨාභය රාජපක්ෂ විසින් රාජ්‍ය යාන්ත්‍රණයට පත් කළ හිටපු හමුදා නිලධාරින් රැසකගේ බලය ද ද ඇද වැටී තිබේ. එය ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේට සතුටුදායක තොරතුරකි. එසේම මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට සහාය දැක්වූ බලසම්පන්න රුසියාව යුක්රේනය නිසා දැඩි අර්බුදයකට මුහුණ පා තිබේ. එම තත්ත්වය මත ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට ඉදිරිපත් වී ඇත්තේ චීනය පමණකි.

2019 ජනපති 69 ලක්ෂයක බලය ලබා ගනු ලැබුවත් උද්ධච්ච වීමේ ප්‍රතිඵලය නම් ජනතා අරමුණ වෙනුවට කේවට්යන්ගේ උපදෙස්වලට ගොදුරු වීමය. විදේශ ලේකම් ලෙස මිලින්ද මොරගොඩගේ පාත්පයින්ඩර් සංවිධානයේ සේවය කළ හිටපු නාවික හමුදාපති ජයනාත් කොළඹගේ පත් කර ගැනීමෙන් රජයට සහ ගෝඨාභයට ද වැරදුනි. කොළඹගේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ගැන දන්නා අයෙක් නොවේ. ඔහු විදේශ ලේකම් ලෙස පත් කිරීම තුළින් ජිනීවා ප්‍රශ්නය උග්‍ර විය. එසේම පසුගිය මාර්තු මස ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාවෙන් යවනු ලැබුවේ අලි සබ්රි, ජී. එල්. සහ චන්න ජයසුමනය.

එහිදී මානව හිමිකම් කොමසාරිස්වරිය ශ්‍රී ලංකාව කියන කිසි දෙයක් පිළිගත්තේ නැත. එසේම ජිනීවාහි ශ්‍රී ලංකා තානාපතිට රජයේ දූත පිරිස සමග එක්වීමට ඉඩ ලැබුණේ නැත. කොටි පරදවා ජය ලැබුවත් රජය සතුරාගේ ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කළේ නැත. එසේම රජයට වැරදුනේ කොටි පැරදවිය නොහැකි බවට ප්‍රකාශ කළ පාර්ශ්වලට රජයේ ඉහළ තැනක ධුරයක් පිරිනැමීමයි. මෙයට සමගාමීව 2002 සටන් විරාම ගිවිසුම සමයේ නෝරාඩ් ආයතනයෙන් අරමුදල් ලබාගත් පාර්ශ්ව ද ජනාධිපති කාර්යාලයට සම්බන්ධ විය.

මෙවන් පසුබිමක් මැද යුද අපරාධ චෝදනා එල්ල වූ හමුදා නිලධාරීහු අද සලිත වී ඇත. ඔවුන් හමුවේ ජාත්‍යන්තර නීති දෙකක් ඇත. ඒ බ්‍රිතාන්‍යයේ මැග්නිට්ස්කි පනත ගැන සර්වලෝක අධිකරණ පනතයි.

එම පනත් දෙක ශවේන්ද්‍ර සිල්වා, කමල් ගුණරත්න ඇතුළු වන්නි හමුදා ප්‍රධානින්ට බල පැවැත්වේ. ශවේන්ද්‍ර සහ පවුලේ අයට ඇමරිකාවට යෑමට තහනම්ය. චැගි ගාල්ලගේ, ජගත් ඩයස්, ප්‍රසංන සිල්වා ඇතුළු හමුදා නිලධාරීන්ට බ්‍රිතාන්‍යය ඇතුළු යුරෝපා රටවල් තහනම් වී ඇත.

කමල් ගුණරත්න සහ චැගි ගාල්ලගේට ඔස්ටේ්‍රලියාවට පැමිණීම තහනම් වී ඇත. එහෙත් කොටි යුද අපරාධකරුවන් 206කට අධික පිරිසක් යුරෝපයේ සිටිති. යුද අපරාධකරුවන් ලෙස ඔවුන් නම් වී නැත.

එහෙත් මානව හිමිකම් කොමසාරිස්වරිය හමුදා නිලධාරීන්ට එරෙහිව සාක්කි 120000කට වඩා ඇති බව පවසද්දී ජනපති සහ රජය නිහඬව බලා සිටියේය.

දැන් එළඹී ඇත්තේ එම යුද අපරාධ චෝදනාවල උච්චතම අවස්ථාවයි. එහිදී ශ්‍රී ලංකා රජය පවසන මුක්තිය බල නොපවත්වනු ඇත. මේ අතර කැනඩා කොටි හිතවාදී මන්ත්‍රී පැට්රික් බ්‍රවුන් කොටි තහනම ඉවත් කරන ලෙස කැනඩා රජයෙන් ඉල්ලා ඇත.

ඊට සමගාමීව ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එම්. ශ්‍රීධරන් පැවසුවේ කැනඩාව විසින් ශ්‍රී ලංකාව තුළ අන්තර්වාර පාලනයක් ඇති කිරීමට ක්‍රියා කළ යුතු බවයි. මෙය ප්‍රභාකරන් විසින් යෝජනා කළ අන්තර්වාර පාලනයට සමාන වූවකි. කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ වෙත හදිසි ලිපියක් යවන ශ්‍රිධරන් ඉල්ලීම් කීපයක් දක්වා ඇත.

එම ඉල්ලීම් මෙසේය.

  1. ජාත්‍යන්තර අධිකරණය යටතේ ජනමත විචාරණයක්
  2. ඊළාම් ද්‍රවිඩයන් සඳහා අන්තර්වාර පාලනයක්
  3. ශ්‍රී ලංකාවේ යුද අපරාධකරුවන් ජාත්‍යන්තර අධිකරණයට යොමු කරනු

රට තුළ විවිධ අර්බුද ඇති වනවිට සතුරන් බලවත් වනබව අප මෙයට පෙර පෙන්නුම් කළෙමු. එහෙත් එය බීරි අලින්ට විණා ගායනාවක් බවට පත් විය.

advertistmentadvertistment
advertistmentadvertistment