හමුදා කැලෑ ඇඳුම් ඇඳ පොලිස් වසම් 5 ක ගෙවල් බින්ද මාතලන් අත්බෝම්බයක් සමග මාට්ටු

277

පොලිස් වසම් පහක් තුළ හමුදා සැඟවුණු වෙඩික්කරුවන් භාවිතා කරන ඇඳුමකට සමාන කැලෑ ඇඳුමකින් සැරසී නිවාස සොරකම් 12 ක් පමණ සිදු කළ බව කියන පුද්ගලයකු විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සහ සොරකම් කළ රන් භාණ්ඩ ඇතුළු භාණ්ඩ සමග ඊයේ (04) අත්අඩංගුවට ගැනීමට කළුතර අපරාධ කොට්ඨාසය සමත්ව සිටී.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ යටදොල, අඹරැල්ලගහ වත්ත ප්‍රදේශයේ පදිංචි යටදොල මාතලන් නමැති අන්වර්ත නාමයෙන් හඳුන්වන 42 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය සඳහන් කරයි.

යටදොල ප්‍රදේශයේ ගමන් කරමින් සිටි සැකකරු පරීක්ෂා කිරීමේදී රැගෙන යමින් තිබූ ගමන් මල්ලේ සඟවාගෙන තිබූ විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සහ ජංගම දුරකථනයක් සමග අත්අඩංගුවට ගෙන කරන ලද ප්‍රශ්න කිරීමේදී මතුගම, වැලිපැන්න, දොඩංගොඩ, බේරුවල සහ මීගහතැන්න පොලිස් වසම්වලින් සැකකරු විසින් සොරකම් කරන ලද රන් මාල 2 ක්, වළලු 7 ක්, මුදු 2 ක්, ජංගම දුරකථන 3 ක්, වතුර මෝටර් 3 ක්, වටිනා අත්ඔරලෝසුවක් සහ රූපවාහිනියක් සැකකරුගේ නිවසේ තිබී සොයාගත් පොලිසිය සොරකම් සඳහා භාවිතා කරන ලද යුද හමුදා සැඟවුණු වෙඩික්කරුවන් භාවිතා කරන ඇඳුමට සමාන කැලෑ ඇඳුම් සොයාගෙන තිබේ.

වැඩබලන අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී ප්‍රදීප් නිශාන්ත, සහකාර පොලිස් අධිකාරී චන්ද්‍ර පද්මලාල්, ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිලංග සංජීව, උප පොලිස් පරීක්ෂකවරුන් වන අතුල සහ මධුෂාන්, සැරයන් ජිනේන්ද්‍ර (55301), කොස්තාපල්වරුන් වන ප්‍රසන්න (69479), සම්පත් (98247), මුදන්නායක (98179) සහ පො.කො.රි. ප්‍රසන්ජන (97057) වැටලීමට එක්වූහ.

පොතුපිටිය ආර්. ඒ. එස්. ප්‍රේමතිලක

advertistmentadvertistment
advertistmentadvertistment