හමුදා ජීප් රිය පාරෙන් පැන ගසක හැපී විශේෂ බළකා කපිතාන් උඩ්වඩ් මියයයි

146

වැලිකන්ද සිංහපුර මාර්ගයේ මුතවැල්ල හංදියට ආසන්නයේදී සෙනසුරාදා (22දා) අලුයම 4.40ට පමණ යුද හමුදා ජීප් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ ගසක හැපීම නිසා සිදුවූ අනතුරකින් ජීප් රථයේ ගමන් ගත් යුද හමුදා කපිතාන් වරයෙකු මරුමුවට පත්වී ඇතැයි වැලිකන්ද පොලීසිය කියයි.

එම අනතුරින් මියගොස් ඇත්තේ යුද හමුදා විශේෂ බලකායේ කපිතාන්වරයෙකු වන මාතලේ, මිල්ලවාන, මාදිවෙල පාර, අංක 05 බී ලිපිනයේ පදිංචි මහත්මා ආරච්චිගේ දේවින්ද උඩ්වඩ් (28) නමැති නිලධාරියෙකි.

ජීප් රථයේ රියැදුරු ඇතුලු හමුදා සාමාජිකයින් 04 දෙනෙකු මෙම අනතුරින් තුවාල ලබා තිබේ.

ඔවුහු සියලුම දෙනා වැලිකන්ද රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා පොලොන්නරුව මහ රෝහලට යවා තිබේ.

මෙම අනතුරට හේතුව ජීප් රථයේ අධික වේගය සහ අනතුර සිදුවන අවස්ථාවේ එහි රියැදුරුට නින්දයාම විය හැකි බව විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීහු සඳහන් කරති.

හමුදා සාමාජිකයින් රැගත් මෙම ජීප් රථය ත්‍රිකුණාමලය මන්කිබි්‍රජ් 4 වන විශේෂ බලකා කඳවුරේ සිට මාදුරුඔය විශේෂ බලකා කඳවුර වෙත යමින් සිටියදී මෙසේ අනතුරට ලක්ව තිබෙන බව අනාවරණය වී ඇත.

අනතුරින් මියගිය හමුදා නිලධාරියාගේ මරණය සම්බන්‍ධයෙන් මරණ පරීක්‍ෂණය වැලිකන්ද කොට්ඨාසයේ හදිසි මරණ පරීක්‍ෂක, සාම විනිසුරු වයි.එම්.සුමනරත්න යාපා බණ්ඩාර මහතා විසින් පොලොන්නරුව මහ රෝහලේදී පවත්වනු ලැබීය.

පොලොන්නරුව දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී, වෛද්‍ය ආර්.එම්.ඒ.එස්.බී.රත්නායක මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරනු ලැබූ අතර දෘඨ පෘෂ්ඨ ඝට්ටනය නිසා හිසට සිදුවූ තුවාල හේතුවෙන් මරණය සිදුවී ඇති බව නිගමනය කර තිබුණි.

කරුණාරත්න ගමගේ, අරලගංවිල රොෂාන් තුෂාර තෙන්නකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment