හමුදා නිලධාරීන් පොලුවලින් අපිට ගගහා බිම දාලා පෑගුවා – රතුපස්වල නඩුව  

299

කළු රෙදිවලින් මුහුණු වසාගෙන සිටියා:

‘‘කළු පාට රෙදි කැබිලිවලින් මුහුණ වසාගත් නිල ඇඳුමෙන් සැරසී සිටිය යුද හමුදා නිලධාරීන් පොලුවලින් පහර දුන්නා’’ යැයි පිරිසිදු පානීය ජලය ඉල්ලා රතුපස්වල අවට ජනයා වැලිවේරිය නගරයේදී සිදු කළ උද්ඝෝෂණයට යුද හමුදාව පහර දී වෙඩි තබා තිදෙනකු මියගොස් තවත් පිරිසක් බරපතළ තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් නඩු විභාගයේදී සාක්ෂි දෙමින් ජයවර්ධන පෙරේරා නමැති සාක්ෂිකරු පැවසීය.

මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතාගේ සභාපතිත්වයෙන් නිශාන්ත හපුආරච්චි සහ සහන් මාපා බණ්ඩාර යන ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු ම`ඩුල්ල හමුවේ ගම්පහ මහාධිකරණයේදී 16 වැනිදා එම නඩුව නැවත විභාගයට ගැනුණි.

පිරිසිදු පානීය ජලය ඉල්ලා ගම්පහ රතුපස්වල අවට ජනයා වැලිවේරිය නගරයේදී 2013 වර්ෂයේ අගෝස්තු මස පළවැනිදා හෝ ඊට ආසන්න දිනයකදී සිදුකළ උද්ඝෝෂණයේදී උද්ඝෝෂණකරුවන්ට වෙඩි තබා සහ පහරදී තිදෙනකු ඝාතනය කිරීම, මිනී මැරීමට තැත් කිරීම ඇතුළු අධිචෝදනා 94ක් යටතේ යුද හමුදාවේ හිටපු බි‍්‍රගේඩියර් අරුණ දේශප‍්‍රිය ගුණවර්ධන, හිටපු මාණ්ඩලික සැරයන් ඩිංගිරි අරුණගේ සිරිසේන, හිටපු සැරයන් ලලිත් ගේ‍්‍ර සහ කෝප‍්‍රල් ජේ. එම්. තිලකරත්න යන විත්තිකරුවන් සිව්දෙනාට විරුද්ධව නීතිපති විසින් ගම්පහ මහාධිකරණය හමුවේ අධිචෝදනා අනූ හතරක් ගොනුකර තිබේ.

රජයේ අධිනීතිඥවරයාගේ සාක්ෂි මෙහෙයවීම මත මෙහිදී ඞී. ජී. ජයවර්ධන පෙරේරා යන සාක්ෂිකරු මෙසේ ද පැවසීය.

මම 2013 වර්ෂයේ සිට ශ‍්‍රී ලංකා ටෙලිකොම් වැලිවේරිය කාර්යාලයේ සේවය කරනවා. 2013 වර්ෂයේ අගෝස්තු මස 01 වැනිදා මා සේවයට වාර්තා කළා. එදින පැවරී තිබූ නඩත්තු කටයුතු සඳහා මා තවත් කීපදෙනකු සමග ත‍්‍රීවීලර් රථයෙන් කාර්යාලයෙන් පිටත්ව ගියා.

දිවා ආහාරය ගැනීම සඳහා නැවත කාර්යාලයට පැමිණියා. ටෙලිකොම් ආයතනය තියෙන්නේ වැලිවේරිය නගරයේ. අපි ත‍්‍රීවීලර් රථයෙන් කාර්යාලයට එන විට නගරයේ කලබල ගතියක් තිබුණා. වතුර ප‍්‍රශ්නයක් මුල් කරගෙන ගම්වල ජනතාව නගරයට පැමිණ සිටින බවට ආරංචි වුණා. දිවා ආහාරයෙන් පසු අපිට නඩත්තු කටයුතු සඳහා පිටත්ව යෑමට නොහැකි ලෙස පාර අවහිර වී තිබුණා. අපි කාර්යාලය ඇතුළේ ඉන්නකොට පාර පැත්තෙන් කෑගසනවා යැයි හිතුණා. වෙඩි හඬත් ඇසුණා. ආයතනයේ ආරක්ෂක නිලධාරීන් ගේට්ටුවට ඉබි යතුරු දමා තිබුණා. මම ත‍්‍රීවීලර් රථයේ ඉඳගෙන සිටින විට හමුදා නිලධාරීන් ගේට්ටුවට උඩින් පැනලා අප කාර්යාලයට පැමිණෙන අයුරු මා දුටුවා. ‘‘මේ ඉන්නේ එකෙක්’’ කියා මාව ත‍්‍රීවීලර් රථයෙන් එළියට ඇදලා දැම්මා. මම ඒ හමුදා නිලධාරීන්ට කිව්වා ‘‘මම උද්ඝෝෂණයට ගියේ නෑ අපි මේකෙ සේවකයෝ’’ කියලා. ටෙලිකොම් එකෙන් නිකුත් කර තිබූ හැඳුනුම්පත පවා පෙන්නුවා. හැඳුනුම්පත බැලුවා. හමුදා නිලධාරීන් ඒ කිසිවක් ගණනකට ගත්තේ නැහැ. පොලු පහර දිදී බිම දාගෙන පෑගුවා. පොලුවලින් ඔළුවටමයි ගැහුවේ.

කාර්යාලය ඇතුළේ හිටිය අනිත් අයටත් පොලුවලින් ගැහුවා. මගේ ඔළුව පැලිලා ලේ ගලන්න පටන් ගත්තා. කළු පාට රෙදි කෑලිවලින් මුහුණ වසාගත් නිල ඇඳුමින් සිටි යුද හමුදා නිලධාරීන් තමයි පහර දුන්නේ. පොලිසියට ගිහින් බෙහෙත් දාගන්න කියලා හමුදා නිලධාරීන් අපිට කිව්වා. අපේ කාර්යාලයේ සිට මීටර් 600ක් පමණ දුරින් පොලිසිය තියෙන්නේ. මම තුවාල වුණ අනිත් අය සමග වැලිවේරිය පොලිසියට ගියා. පොලිස් නිලධාරීන් ගිලන් රථයක් වැලිවේරිය පොලිසියට ගෙන්වා අපිව රාගම රෝහලට පිටත් කර හැරියා. හමුදා නිලධාරීන් පහරදීම හේතුවෙන් මට ශල්‍යකර්ම දෙකක් සිදුකළා. තවමත් කන් කැක්කුම එනවා යැයි පැවසීය.

විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ දෙපළක් සාක්ෂිකරුගෙන් හරස් ප‍්‍රශ්න ඇසීය.

තවත් සාක්ෂිකරුවෝ පස්දෙනෙක් සාක්ෂි දුන්හ.

නඩුව තවදුරටත් විභාග වෙයි.

මිනුවන්ගොඩ ටෝනි කරුණානායක

advertistmentadvertistment
advertistmentadvertistment