හයසින්ත් විජේසිංහ ජාතික පුහුණුකරු ධුරය අත්හරී

243

2022 ආසියානු නෙට්බෝල් ශූරතාව දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරිනිය ලෙස කටයුතු කළ හයසින්ත් විජේසිංහ මහත්මිය තවදුරටත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජාතික පුහුණුකරු ලෙස කටයුතු නොකිරීමට තීරණය කොට ඇත.

2023 ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කොට ගෙන ප්‍රධාන පුහුණුකාරිනියක් පත්කර ගැනීම සඳහා වූ සම්මුඛ පරීක්ෂණය පෙරේදා (22) කොළඹ දී පැවැත්වීමට ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනය පියවර ගෙන තිබුණි.

ඒ සඳහා හයසින්ත් විජේසිංහ ඇතුළු තවත් පුහුණුකාරිනියන් දෙදෙනකු අයදුම්පත් ඉදිරිපත් කොට තිබූ අතර ගතවූ සති අන්තයේ (20) හයසින්ත් විජේසිංහ මාධ්‍ය හමුවක් කැඳවමින් ලෝක කුසලාන තරගාවලි ප්‍රධාන පුහුණුකරු සඳහා ඉදිරිපත් කොට තිබූ අයැදුම්පත ඉවත් කර ගත් බව පැවසුවාය.

ශ්‍රී ලංකා නෙට්බෝල් පරිපාලනය විසින් ආසියානු නෙට්බෝල් ශූරතාව ඉලක්ක කොටගෙන පොරොන්දු වූ මාසික දීමනාව අඩු කිරීම සහ නෙට්බෝල් පරිපාලනයේ ඇතැම් නිලධාරිනියන් විසින් අනවශ්‍ය බලපෑම් කිරීම හේතුවෙන් තවදුරටත් මෙම පරිපාලන යටතේ පුහුණුකාරිනියක් ලෙස කටයුතු නොකිරීමට තීරණය කළ බව ඇය වැඩිදුරටත් පැවසුවාය. විජේසිංහ මහත්මිය මෙරට සිටින ජ්‍යෙෂ්ඨතම නෙට්බෝල් පුහුණුකාරිණියක් වන අතර ඇය ආසියානු ශුරතා 3ක් සහ ලෝක ශූරතා 2ක් ශ්‍රී ලංකාව නියෝජනය කට ඇති ප්‍රබල ක්‍රීඩිකාවකි.

ඊට අමතරව ඇයගේ පුහුණුව යටතේ 2001 වසරේ සහ2022 ශ්‍රී ලංකාව ආසියානු නෙට්බෝල් ශූරතාව දිනා ගැනීමට සමත් වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment