හරක්කටා අද උසාවි ගෙනාවේ නෑ: සීඅයිඩීය හා නීතිපති අධිකරණයට දන්වති

93

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක්කටා නමැත්තාගේ ජීවිතය ආරක්‍ෂා කිරීම රජයේ වගකීමක් වන බැවින් පවතින අනාරක්‍ෂිත තත්ත්වය තුළ ඔහු මෙදින (31 දා)අධිකරණයට ඉදිරිපත් නොකරන බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හා නීතිපතිවරයා ඊයේ (31 දා) කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතාට දැනුම් දුන්නේය.

අධිකරණය හමුවේ පවරා ඇති නඩු කටයුත්තක් වෙනුවෙන් පෙනී සිටීමට විත්තිකරුට අයිතියක් ඇතත් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටීම නිසා ඔහු සතු එකී මූලික අයිතිවාසිකම උල්ලංඝනය වී ඇතැයි එම විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ සෙනරත් ජයසුන්දර මහතා අධිකරණයට පැවසීය. කෙසේ නමුත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කළ ආරක්‍ෂාව සම්බන්ධයෙන් වූ වාර්තාව ූඅධ්‍යනය කිරීමෙන් අනතුරුව ඉදිරි නඩු දිනයේ දී ඒ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු දැක්වීමට අපේක්‍ෂා කරන බව ද ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා අධිකරණයට පැවසීය. විත්තිකරුට අධිකරණය හමුවේ පෙනී සිටීමේ අයිතියක් ඇති නමුත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තව තම අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාව අනුව එම විත්තිකරුගේ ජීවිතයට තර්ජනයක් එල්ල වී ඇතිබව පෙනී යන බැවින් ඉදිරි දිනයේ දී ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට තම අධිකරණය නියෝගයක් නොකරන බව විනිසුරුවරයා පැවසීය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ වාර්තාවේ පිටපතක් සහ එම විත්තිකරුට අදාළ හඳුනාගැනීමේ පෙරට්ටු වාර්තාවේ පැහැදිලි ඡායාස්ථ පිටපත් විත්තියට ලබාදෙන ලෙසට නියෝග කළ විනිසුරු නවරත්න මාරසිංහ මහතා එම නඩුවේ වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ලබන ජූලි 26 වැනිදා දක්වා කල් දැමීමටත්, එදිනට මුල්ලේරියාව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටත් නියෝග කළේය.

2015 වසරේ ජුනි 10 වැනිදා මුල්ලේරියාව ප්‍රදේශයේ පිහිටි නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වී එහි තිබූ ත්‍රීරෝද රථයක් පැහැර ගැනීම ඇතුළු අධිචෝදනා යටතේ නීතිපතිවරයා විසින් නඳුන් චින්තක නමැති එම විත්තිකරුට එරෙහිව එම නඩුව පවරා තිබිණි.

එම විත්තිකරු අධිකරණය මඟහැර පලාගොස් සිටිය දී අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයකු බවත්, ඔහුට එරෙහිව විමර්ශන රැසක් සිදුකරමින් පවතින බවත් අධිකරණයට පැවසූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා ඔහු අධිකරණ කිහිපයක් විසින් වරෙන්තු නිකුත් කළ විත්තිකරුවකු වන්නේ යැයි ද පැවසීය. නීතිඥ පුපුදු රන්දිම, නීතිඥ සංජය ආරියදාස යන නීතිඥ මණ්ඩලය සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ සෙනරත් ජයසුන්දර මහතා විත්තිකරු වෙනුවෙන් පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment