හරක් කටාගේ අනියම් බිරිඳ අත්අඩංගුවට

156

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන නදුන් චින්තක නොහොත් (හරක් කටාගේ) හා එම කල්ලියේම සාමාජිකයන් කිහිප දෙනෙකුගේම අනියම් බිරිඳ ලෙස සිටිමින් මත්ද්‍රව්‍ය විකිණීමේ හා බෙදාහැරීමේ කටයුතුවල නිරතව සිටි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12යි මිලිග්‍රෑම් 800ක් සමග මහරගම, දඹහේන පාර, 04 වැනි පටුමගේදී පොලිස් විශේෂ කාර්යය බළකා මූලස්ථානයේ විශේෂ සංවිධානාත්මක අපරාධ මැඬලීමේ ඒකකයෙහි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පැවසීය.

31 වැනි වියේ පසුවන තිළිණි නිශාදි නොහොත් ටීනා නැමැති අනවර්ථ නාමයෙන් පෙනී සිටින මෙම කාන්තාව මහරගම ප්‍රදේශයේ නිවසක නවාතැන්ගෙන සිටින බවට ලද රහසිගත තොරතුරක් මත පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් පැමිණ සිදුකළ වැටලීමේදී අත්අඩංගුවට පත්ව ඇත. සැකකාරියගේ නීත්‍යානුකුල සැමියා වන (මිදිගම) දිනේෂ් මධුෂංක නොහොත් (බුලා) නමැති අනවර්ථ නාමයෙන් පෙනී සිටින දැනට සිදුකළ අපරාධයක් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින බවත් සැමියා බන්ධනාගාරගතවූ කාලයේ සිටම නදුන් චින්තක නොහොත් හරක් කටා සමග සහ ඝාතනයට ලක්වූ එම්. ඩබ්ලිව්. මදුර ලක්ෂිත නොහොත් වැලිගම හිච්චි මල්ලි නමැති ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම් හා සංවිධානාත්මක අපරාධකරුවන්ගේ අනියම් බිරිඳ ලෙස සිටි බවට අනාවරණය කරගත් බවත් විශේෂ කාර්ය බළකාය පැවසීය.

හරක් කටා නමැති මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් විදෙස් රටක සිට ශ්‍රී ලංකාව තුළ මෙහෙයවනු ලබන අයිස් හා හෙරොයින් මත්ද්‍රව්‍ය ජාලයේ මෙහෙයුම් කටයුතු මැය විසින් සිදුකර ඇති බවත් හරක් කටාගේ උපදෙස් මත කලකට පෙර මෙම කාන්තාවගේ අනියම් සැමියා ලෙස සිටි මිදිගම හිච්චි මල්ලි නමැති සංවිධානාත්මක මත්ද්‍රව්‍ය හා විශේෂ අපරාධ කල්ලි සාමාජිකයා ඝාතනය කිරීමේ සැලසුමද සකස් කර ඇති බවද අනාවරණය කර ගැනීමට හැකිවූ බවත් විශේෂ කාර්ය බළකාය පවසයි.

අත්අඩංගුවට පත් සැකකාර කාන්තාව වැඩිදුර විමර්ශන කටයුතු හා පරීක්ෂණ සිදුකිරීම සඳහා තිහගොඩ පොලිස් ස්ථානය වෙත බාරදී ඇති බවත් විශේෂ කාර්ය බළකාය සඳහන් කළේය.

විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා අධීක්ෂණය මත බුද්ධි, විශේෂ මෙහෙයුම්, මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මැඬලීමේ ඒකකයේ අංශභාර නිලධාරී පොලිස් අධිකාරි සාගර කුලසේකර මහතාගේ උපදෙස් මත විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මැඬලීමේ ඒකක අංක භාර ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී. ඩබ්ලිව්. ඒ. ජේ. සී. වන්නිආරච්චි මහතා ඇතුළු නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර ඇත.

එස්. ඩී. අබේසිංහ – මහරගම, කැස්බෑව – ජයසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment