‘හරක් කටාගේ’ කෝටි 219 ක කුඩු මිරිස්සෙන් අල්ලයි

254

* නාවික හමුදාව හා නාකොටික් ඒකාබද්ධ වැටලීමකින්

*  ගෑස් සිලින්ඩර්වල හා ගෝනිවල අසුරා තිබිලා

*  ජාවාරම් කල්ලියේ 12කුත් දැලේ

හේමන්ත රන්දුණු

මෙරට ප‍්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවට පත්ව සිටින නඳුන් චින්තක හෙවත් ‘හරක් කටා’ නමැත්තාට අයත් බව කියන රුපියල් කෝටි 219 කට අධික වටිනාකමෙන් යුත් හෙරොයින් තොගයක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය සහ නාවික හමුදාව ඒකාබද්ධව කළ මෙහෙයුමකදී ඊයේ (13 දා) අලූයම වැලිගම මිරිස්ස ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙම හෙරොයින් තොගය සමග ‘හරක් කටා’ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ කල්ලියේ සාමාජිකයන් 12 දෙනකුත් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව මත්ද්‍රව්‍ය නාශක අංශය පවසයි.

බහුදින ධීවර යාත‍්‍රාවකින් රැගෙන ආ මෙම හෙරොයින් තොගය ශී‍්‍ර ලංකාවේ දකුණු මුහුදට ආසන්නයේදී කුඩා බෝට්ටුවකට පටවා ඇත. පසුව එම බෝට්ටුව වැලිගම මිරිස්ස පොල්අතුමෝදර මුහුදු වෙරළට රැගෙන එද්දී මත්ද්‍රව්‍ය නාශක අංශය සහ නාවුක හමුදාව විසින් එම හෙරොයින් තොගය අත්අඩංගුවට ගන්නා ලදී.

ගෑස් සිලින්ඩර් කීපයක සහ ගෝනිවල අසුරා තිබූ හෙරොයින් තොගයේ කිලෝ ග‍්‍රෑමයේ පැකට් 200 ක් තිබූ බව මත්ද්‍රව්‍ය නාශක අංශය පවසයි.

මෙරට ප‍්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කරුවකු බවට පත්ව සිටින නඳුන් චින්තක හෙවත් ‘හරක් කටා’ නමැත්තා ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටිමින් මෙම ජාවාරම මෙහෙයවන බව විමර්ශනවලින් හෙළිවී ඇත.

රාජ්‍ය බුද්ධි තොරතුරු ඒකකයට ලද තොරතුරට අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය සති කීපයකට පෙර මෙම මෙහෙයුම කි‍්‍රයාත්මක කර තිබිණි. මෙහෙයුම සඳහා නාවික හමුදාවේ සහ වෙරළ ආරක්‍ෂක අංශයේද සහාය ලබා ගැනීමට මත්ද්‍රව්‍ය නාශක අංශය කටයුතු කර තිබිණි.

ඉකුත් මැයි මස 11 වැනිදා ධීවර කටයුතු සඳහා යැයි කියමින් බහුදින ධීවර යාත‍්‍රාවක් වැලිගමින් මුහුදු ගොස් තිබිණි.

මෙම බහුදින ධීවර යාත‍්‍රාව ගැඹුරු මුහුදේදී වෙනත් යාත‍්‍රාවකින් රැගෙන ආ හෙරොයින් තොගය භාරගෙන ඇත.

පසුව එම යාත‍්‍රාව වැලිගම මුහුදු තීරය ආසන්නයට පැමිණ ඇති අතර හෙරොයින් තොගය වෙරළ තීරය වෙත රැගෙන ඒමට කුඩා යාත‍්‍රාවක් ගොස් තිබිණි.

අදාළ හෙරොයින් කිලෝ ග‍්‍රෑම් 200 අසුරා තිබූ ගෑස් සිලින්ඩර් සහ මලූ කීපය කුඩා යාත‍්‍රාවට පටවාගෙන එය වැලිගම පොල්අතුමෝදර වෙරළ තීරය බලා යාත‍්‍රා කරද්දී රැක සිටි නාවුක හමුදාව වෙරළ ආරක්‍ෂක බළකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් අත්අඩංගුට ගන්නා ලදී.

එම කුඩා යාත‍්‍රාවේ සිටි ජාවාරම්කාරයන් තිදෙනකු අත්අඩංගුවට ගත් අතර නාවුක හමුදාව පසුව කළ මෙහෙයුමකදී බහුදින ධීවර යාත‍්‍රාව සමග එහි සිටි සැකකරුවන් හය දෙනකුද අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර හෙරොයින් තොගය භාර ගැනීම සඳහා වැලිගම පොල්අතුමෝදර වෙරළ තීරය ආසන්නයේ සිටි ජාවාරම්කරුවන් තිදෙනකුද අත්අඩංගුවට ගැනීමට මත්ද්‍රව්‍ය නාශක අංශය සමත් විය.

අත්අඩංගුවට ගත් හෙරොයින් තොගය සහ ජාවාරම්කරුවන් 12 දෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත රැගෙන ගොස් ඇත.

මත්ද්‍රව්‍ය නාශක අංශයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන්ත වීරසේකර මහතාගේ ප‍්‍රධානත්වයෙන් විමර්ශන පැවැත්වෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment