හරක් කටාගේ ජීවිත ආරක්ෂාවට ගෙන ඇති පියවර කුමක්ද? – සීඅයිඩීයෙන් අසා උසාවියට දැනුම් දෙන්නැයි නීතිපතිට නියෝග

217

කුඩු සලිඳුගේ මවගේ පෙත්සම ලබන 4 කැඳවයි

ආරක්ෂක අමාත්‍යවරයාගෙන් ලබාගත් රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න (හරක් කටා) නමැත්තාගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ගෙන ඇති පියවර කුමක් දැයි පොලිස්පතිවරයා හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු වගඋත්තරකරුවන්ගෙන් විමසා තම අධිකරණයට දැනුම් දීමට පියවර ගන්නා ලෙසට අභියාචනාධිකරණය ඊයේ (20 දා) නීතිපතිවරයාට නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින සිය පුත්‍රයා ඝාතනය කිරීමේ සැලසුමක් ඇති බවට තොරතුරු ලැබී ඇති බැවින් ඔහුගේ ජීවිතය ආරක්ෂා කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා ලෙසට පොලිස්පතිවරයා ඇතුළු බලධාරීන්ට නියෝගයක් කරන්නැයි ඉල්ලා නදුන් චින්තක නමැත්තාගේ පියා විසින් ගොනු කර තිබූ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණය එම නියෝගය කළේය.

නෙල්සන් මර්වින් වික්‍රමරත්න නමැත්තා විසින් ගොනු කර තිබූ එම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න හා එම්. ඒ. ආර්. මරික්කාර් යන මහත්වරුන් හමුවේදී කැඳවිණි. පෙත්සම්කරු රීට් ආඥා පෙත්සමක් මගින් එවැනි ඉල්ලීමක් කිරීම සම්බන්ධයෙන් විරුද්ධත්වය දක්වන බවත් පෙත්සම්කරු ඉල්ලා සිටින පරිදි ඔහුගේ පුත්‍රයාගේ ජීවිතය ආරක්ෂා කරන බවට ප්‍රතිඥාවක් නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණය හමුවේ ලබාදීමේ හැකියාවක් නොමැති බවත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න මහතා අධිකරණයට පැවසීය.

අත්අඩංගුවේ සිටින ඕනෑම සැකකරුවකුගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම පොලිසිය විසින් භාරගත යුතු බවත් නඳුන් චින්තක නමැත්තාගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් නීතිපතිවරයාට ප්‍රතිඥාවක් ලබාදිය නොහැකි නම් එය පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු වගඋත්තරකරුවන්ගෙන් හෝ ලබාගන්නා ලෙසත් පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරි නඩු දිනයට පෙර එම පුද්ගලයාගේ ජීවිතයට අනතුරක් සිදුවුවහොත් සම්පූර්ණ වගකීම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් භාරගත යුතු බව අධිකරණයට පැවසූ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා එබැවින් පෙත්සම්කරු අධිකරණයෙන් අයැද සිටින අතුරු තහනම් නියෝගය නිකුත් කරන්නැයි ද අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

නීතිඥ සංජය ආරියදාස, තනුක මාධව නන්දසිරි සහ නීතිඥ ඉරේෂ් සෙනවිරත්න යන මහත්වරුන් සමග ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටියේය. එම පෙත්සම ලබන 4 වැනිදා සලකා බැලීම සඳහා යළි කැඳවීමට ද විනිසුරු මඬුල්ල නියෝග කළේය.

මේ අතර සිය පුත්‍රයාගේ ජීවිතය ආරක්ෂා කිරීමට පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝගයක් කරන්නැයි ඉල්ලා සලිඳු මල්ෂිත (කුඩු සලිඳු) නමැත්තාගේ මව විසින් ගොනු කර තිබූ පෙත්සම ද ලබන 4 වැනිදා කැඳවීමට විනිසුරු මඬුල්ල නියෝග කළේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment