හරක් කටා, කුඩු සලිඳු සහ උපන් දින සාද

2256

කුඩුකාරයා තරමටම උගේ ගෙදර පැවැත්වෙන උපන් දින සාදයද, මඟුල් සාදයද ඉතා භයානකය. මීට අවුරුදු 15 ට පමණ පෙර මේ රටේ සිටි පොලිස්පතිවරයෙක් ප්‍රසිද්ධ කුඩු වෙළෙන්දකුගේ ගෙදර පැවති උපන් දින සාදයකට සහභාගි විය. කුඩ්ඩාගේ කුඩා දියණියගේ දෙවැනි උපන්දිනය එදා පැවැත්විණ. මෙහිදී පොලිස්පතිතුමා ලොකු වරදක් කළේය. එනම් කුඩ්ඩා සහ දියණිය සමග ඡායාරූපයකට පෙනී සිටීමය. මේ අහිංසක පුංචි දැරිය කුඩු කර්මාන්තයට කිසිසේත්ම සම්බන්ධ නැත. ඒ වන විට ඇය යන්තම් ඝන ආහාර පරිභෝජනය පටන් ගත්තා පමණි. මේ කියන කාලයේදී ෆේස්බුක් හෝ ඉන්ටර්නෙට් ලංකාවේ නැත. එහෙත් සාදයේ ඡායාරූප මාධ්‍යයට ලීක් විය. ඒ සම්බන්ධයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ දෙකක්ද කර්තෘ වාක්‍යය දෙකක්ද දිවයින පුවත්පතේ පළවිය. දෙවැනි කර්තෘ වාක්‍යය පළවෙද්දීම පොලිස්පතිට සේවය හැරදමා ගෙදර යෑමට සිදුවිය. පොලිස්පතිතුමා කුඩු මුදලාලිගේ සාදයට ගියේ කුඩු කතන්දරයක් නොදැන බව යැයි අපි විශ්වාස කරමු. එහෙත් වැඩිදෙනා කීවේ පොලිස්පතිතුමාගේ බුද්ධි අංශය කුඩු මුදලාලි ගැන සියලු තොරතුරු පොලිස්පතිතුමාට ලබාදී තිබූ බවයි. ඒ නිසා එතුමා දැන දැනම වැඩේ අල පමණක් නොව බතල ද කරගෙන තිබිණි.

මීට අවුරුදු හතරකට පෙර එළඹී පෙබරවාරි මාසයක පස්වෙනිදා මාකඳුරේ මධූෂ් නමැති සුප්‍රකට මත්කුඩු වෙළෙන්දා ඩුබායි රටේදී එරට පොලිසියට මාට්ටු විය. ඔහු සිටියේ සිය දියණියගේ උපන්දින පාටියේය. ලංකාවේ තවත් සුප්‍රකට කුඩු මුදලාලි කෙනකු වූ කන්ජිපානි ඉම්රාන් නමැත්තාද මේ පාටියේදී අත්අඩංගුවට පත්විය. මේ කියන පාටිය ඉමහත් උත්සවශ්‍රීයකින් පවත්වන ලද්දකි. ලංකාවේ ජනප්‍රිය ගායකයන් වූ අමල් පෙරේරා ද ඔහුගේ පුත් නදීමාල් පෙරේරා ද මේ උපන්දින සාදයට සහභාගි වූ අතර ඒ කුලියට සින්දු කීම සඳහාය. අමල් හා නදීමාල් කැලිබරේම නොවුණත් ඊට වඩා පහළ කැලිබරේක සිටින කට ඇරිය ගමන් තිත්ත කුණුහරුප කියන ඇඟ පුරා පච්ච කොටාගත් තවත් ශ්‍රී ලාංකික ප්‍රසාංගිකයකුද මෙහිදී අත්අඩංගුවට ගන්නා ලද නමුත් උන්නැහේගේ නම අපට මතක නැත. අන්තිමේදී මේ පිරිස ශ්‍රී ලංකාවට පටවාගෙන විත් රැඳවුම් නියෝග ගසා සිරකර තබන ලදී. ඒ අතර අවිආයුධ ප්‍රදර්ශනයක් නැරඹීම සඳහා මාකඳුරේ මධූෂ්ට පොලිසියෙන් ආරාධනයක් ලැබිණි. එම බඩු බලන්නට ගිය ගමනේදී පාර්ශ්ව දෙකක් අතර හටගත් වෙඩි හුවමාරුවකට මැදිවූ මධූෂ් මිය ගිය බව පසුකාලයේදී දැනගන්නට ලැබිණි. මේ බව දැනගත් රිමාන්ඩ් එකේ සිටි සෙසු කුඩ්ඩන්ට බඩයන්නට පටන් ගත්තේය. ඉන් ස්වල්ප කලකට පසු කන්ජි පානි ඉම්රාන්ට ඇප දෙන ලදී. කන්ජි පානි යනු කැඳ පානය යන සිංහල යෙදුමට යොදන දෙමළ යෙදුම වේ. මේ වචන දෙකම සංස්කෘත වචනවලින් බිඳී ආ වචනය. නමින් කන්ජි පානි වන ඉම්රාන් කිසි කලෙකත් කැඳයෙක් නොවීය. ඇප දී පැය 24 ක් ඇතුළත වෙරළට ගිය ඔහු එහි පැමිණි බෝට්ටුවක නැගී පෝක් සමුද්‍ර සන්ධිය හරහා ඉන්දියාවට පැන ගියේය. කුඩු වෙළෙන්දා යනු මාර contacts ඇති මිනිහෙකි. අග්නි දිග ආසියාවේ සිටින ප්‍රමුඛම ධනවතා ගෞතම් අදානි හෝ අලිබබා.com අයිතිකාර ජැක් මා නොවේ. පාකිස්තානයේ කුඩු මුදලාලි කෙනකු වූ ඩාවුඩ් ඊබ්‍රාහිම් ය.

ඔහුගේ දියණිය විවාහ වන්නේ පාකිස්තානයේම හිටපු ක්‍රිකට් නායක ජාවෙඩ් මියන්ඩාඩ්ගේ පුතා සමගය. මෙය යෝජිත විවාහයක් නොව ප්‍රේම විවාහයකි. සිය පෙම්වතියගේ පියා පැය 24 ම පොලිසියෙන් සොයන කුඩ්ඩකු බව දැනදැනත් මියන්ඩාඩ්ගේ පුත් ආදරය වෙනුවෙන් ගත් අවදානම කෙරෙහි අප තුළ ගරුත්වයක් තිබේ. ඒ කතාව ආලය ගැන ලියවෙන ඉදිරි කතුවැකියකදී විග්‍රහ කරමු. සිය දියණිය විවාහ වන විට ඩාවුඩ් ඊබ්‍රාහිම් ඇගේ බරට රත්තරන් සිය බෑනාට දුන්නේය. මේ බෑනා ඒවා ප්‍රතික්ෂේප කළ බව කියනු ලැබේ. ඩාවුඩ් ඊබ්‍රාහිම් අවුරුදු 15 ක පමණ සිට ආගිය අතක් නැත. සමහරුන් කියන්නේ ඔහු දියවැඩියාවෙන් මළ බවය. තවත් සමහරු කියන්නේ ඔහු යුරෝපයේ ජීවත්වන අතර ආසියාවේ කුඩු වෙළෙඳම මෙහෙයවන බවය. අද වනවිට ඩාවුඩ් ඊබ්‍රාහිම් සෙවනැලි චරිතයකි. එහෙත් ජීවත්ව සිටිනවුන්ට වඩා කෝටි ප්‍රකෝටි ගණනක බලයක් මේ සෙවනැලි චරිතවලට ඇත. කුඩු මුදලාලිගේ පාටිවලට යෑම අවදානම් බව නැවත වතාවක් පසක් කරමින් මියන්ඩාඩ්ගේ මඟුල් ගෙදරට පොලිසියෙන් පැන්නේය. එහිදී කුඩු මුදලාලිලා සෑහෙන පිරිසක් අත්අඩංගුවට ගන්නා ලදී.

ලංකාවේ කුඩු බිස්නස් එකේ ඉහළම කකුල් දෙකක් වන හරක් කටා සහ කුඩු සලිඳු යන දෙදෙනා මැඩගස්කර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගන්නා ලද්දේ ඊයේ පෙරේදාය. කුඩු සලිඳු කාලයක් තිස්සේම මැඩගස්කරයේ වෙසෙමින් මැඩගස්කර තරුණියක හා විවාහ වී එක්දරු පියකුදු වී කුඩු ජාවාරම කළේය. ඒ අතර එම දරුවාගේ දෙවැනි උපන්දිනය යෙදින. එය මැඩගස්කරයේදී පැවැත්වීමට කුඩු සලිඳු විසින් තීරණය කරන ලදී. මෙහි ප්‍රධාන ආරාධිතයා වූයේ ශ්‍රී ලාංකික කුඩු මුදලාලි කෙනකු වන හරක් කටාය. ඩුබායි හරහා මැඩගස්කරයට පැමිණි හරක් කටා ඇතුළු 8 ක් උපන්දින සාදයෙන් පසු එරට පොලිස් අත්අඩංගුවට පත්විය. මේ කුඩ්ඩන් දෙදෙනා අත්අඩංගුවට පත්වී පැය 24 ක් ඇතුළත ඔවුන් වෙනුවෙන් පෙනී සිටීම සඳහා ජනාධිපති නීතිඥයකු ඇතුළු නීතිඥ කණ්ඩායමක් ලංකාවෙන් මැඩගස්කරය බලා පිටත්ව ගියහ. නීතිඥ කණ්ඩායමේ අරමුණ වුණේ කුඩු කණ්ඩායම මැඩගස්කරයේම තබා ගැනීමය. මේ වන විට කුඩ්ඩන් දෙදෙනා සහ උපන්දින සාද කණ්ඩායම ලංකාවට ගෙනවුත් ඇති අතර දින 90 ක රැඳවුම් නියෝගයක් මත රඳවාගෙන ප්‍රශ්න කරනු ලැබේ. මේ අතර සිය පුතා අවි ආයුධ ප්‍රදර්ශන නැරඹීම සඳහා ගෙන නොයන ලෙස ඉල්ලමින් කුඩු සලිඳුගේ මව ගරු අධිකරණයට අයැදුම්පතක් ඉදිරිපත් කර ඇත. මධූෂ්ගේ මරණයෙන් පසු වෙලේ සුදාගේ මවද මෙවැනිම අයැදුම් පතක් අධිකරණයට ඉදිරිපත් කළාය. අප දන්නා පරිදි මේ දිනවල අවි ප්‍රදර්ශන පවත්වනු නොලැබේ. IMF ලෝන් එක කට උඩ තබාගෙන එවැනි ප්‍රදර්ශන පැවැත්වීම සුදුසු නැත.

advertistmentadvertistment
advertistmentadvertistment