හරක් කටා – කුඩු සළිඳු අල්ලන්න ඔත්තුව දුන්නේ සිද්ධික්?

2650

ලංකාවට ගේන්න ගිය නිලධාරීන් අපහසුතා රැසකට මුහුණ දීලා
දෙන්නා බේරා ගන්න ජනාධිපති නීතිඥවරයෙක් ඇවිල්ලා
එකම කණ්ඩායමකට භාරදීම අවදානම්
රහස් වැළලී නොයන්න ඒකාබද්ධ විමර්ශනයක් කරන්න

මෙරට සිටි දරුණු සහ ප්‍රබල පාතාල අපරාධකරුවකු මෙන්ම කුඩු ජාවාරම්කරුවකු වූ මාකඳුරේ මදූෂ් දැන් ජීවතුන් අතර නැත. ඩුබායිහි සැඟව සිටිමින් මත්කුඩු ජාවාරම මෙන්ම පාතාල ඝාතන ගණනාවක් මෙහෙයවා මුළු රටම භීතියට පත්කළ ඔහු අවසානයේ කොළඹ මාලිගාවත්තේදී වෙඩි ප්‍රහාරයකට ලක්ව මරුමුවට පත් විය.

මදූෂ්ට එකී ඉරණම අත්වූයේ පොලිස් අත්අඩංගුවේ සිටියදීය. ඉකුත් 2019 වසරේදී ඩුබායි පොලිසිය මඟින් එරට තරු හෝටලයක පැවති සාදයක් අතරතුරදී තවත් පිරිසක් සමඟ ඩුබායි පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූ මාකඳුරේ මදූෂ්ව ඉකුත් 2019 වසරේ මැයි මස 05 වැනිදා ශ්‍රී ලංකාවට පිටුවහල් කරනු ලැබිණි.

එසේ පිටුවහල් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණීමේදී ඔහු ඇතුළු පිරිස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් අතර පසුව ඔහුව වසර එකහාමාරක කාලයක් රැඳවුම් භාරයේ තබා ගැනීමට පොලිසිය කටයුතු කළේය.

වසර එකහමාරක කාලයක් ඒ අන්දමට පොලිසිය භාරයේ සිටි හේ පොලිස් විමර්ශනයක් අතරතුර කොළඹ මාලිගාවත්තේදී වෙනත් පාර්ශ්වයක් එල්ල කළ වෙඩි ප්‍රහාරයක ගොදුරක් වී පරලොව යන්නේ හරියටම ඉකුත් 2020 වසරේ ඔක්තෝබර් 20 වැනිදාය.

මේ මොහොතේ අපි වගකිව යුත්තන්ට පෙන්වා දෙන්නෙමු. මදූෂ් එසේ මිය ගියේය. එහෙත් මෙරට මත්කුඩු ජාවාරමේ අලගිය මුලගිය තැන් පිළිබඳ හොඳින් දැන සිටි තොරතුරු ගබඩාවක් වූ මාකඳුරේ මදූෂ් වසර එකහමාරක කාලයක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ එකල රජකළ කුප්‍රකට විමර්ශන නිලධාරීන් කිහිප දෙනකු භාරයේ සිටියද ඔහුගෙන් ලබාගත් දෙයක් නම් දැන ගැනීමට නොවීය.

පොලිසියේම ඇතැමුන් ඒ දිනවල කීවේ මදූෂ්ගෙන් රට වනසන කුඩු ජාවාරම පිළිබඳ තොරතුරු නොගත්තාට අදාළ සීඅයිඩී නිලධාරීන් වෙන වෙන දේවල් නම් බඩකට පිරෙන්නම ලබාගත් බවය. පොලිසියේ ඇතැම් අය එසේ කීවාට අපි ඒ පිළිබඳ කිසිත් නොකියමු. එසේම ඒ පිළිබඳ කිසිදු සොයාබැලීමක්ද නොකරන්නෙමු. මන්ද මේ රටේ එවැනි දේ පිළිබඳ කරුණු සොයා බලා හෙළිදරව් කිරීම් කළද සිදුවන දෙයක් නැති නිසාය.

අවසානයේ එදා සිදු වූයේ මාකඳුරේ මදූෂ් සමඟම සියල්ල අඩි හයක් යට වැළලී යෑමය. වෙනත් රටක නම් පොලිසිය එසේ කළහොත් අදාළ නිලධාරීන්ට සිදුවන්නේ හිරබත් බුදින්නටය. එහෙත් එහේ එහෙම වුණාට මෙහේ කවදාවත් එහෙම වන්නේ නැත. මතට තිත තබා රටේ ජනතාවගේ ගතට සිතට සැප දෙන්නේ යැයි අපේ දේශපාලනඥයෝ සක්වළ ගලේ අත තබා දිවුරා පොරොන්දු දුන්නද මේ රටේ කෙරෙන වැඩ එසේ වන්නාහ.

තිත්ත ඇත්ත එය වුවද දැන් ඒ යටගියාව පිළිබඳ කතා කිරීමෙන් අපි වැළකී සිටින්නෙමු. මන්ද වසර තුනකට පෙර අතීතයේදී මාකඳුරේ මදූෂ් ප්‍රධාන චරිතය වෙමින් ලියැවුණු අමිහිරි කතාව එවැන්නක් වුවද එක්තරා දූෂිත නිලධාරී මාෆියාවක් විසින් මදූෂ් සමඟ වළලන ලද සියල්ල යළි ගොඩගෙන රට ඉදිරියේ තබන්නට දැන් ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු ආරක්‍ෂක අංශවලට යළිත් අහඹු අවස්ථාවක් ලැබී තිබෙන නිසාය.

රටට අවැසිව තිබෙන්නේ ලැබුණු ඒ අවස්ථාවෙන් නිසි ප්‍රයෝජනය ගැනීමය. ඒ අවස්ථාව අද නැවතත් රටට ගෙනවිත් දී තිබෙන්නේ කවරෙක්ද?

එය සිදු කර තිබෙන්නේ ඉකුත් දා මැඩගස්කරයේදී පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසු යළි ශ්‍රී ලංකාවට ගෙනවිත් මේ මොහොත වන විට රැඳවුම් නියෝග යටතේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින මිදිගම නඳුන් චින්තක හෙවත් හරක් කටා සහ සළිඳු මල්ෂිත හෙවත් පානදුරේ කුඩු සළිඳුය.

මොවුන් දෙදෙනා තවත් පිරිසක් සමඟ මැඩගස්කරයේදී එරට පොලිසිය අත්අඩංගුවට ගනු ලබන්නේ ඉකුත් පළමු වැනිදාය. අපේ පොලිසියට ජිම්කානා එකක් ඇදුනාක් පරිදි එය සිදුව ඇත්තේද ක්‍රියාදාම චිත්‍රපටයක රූප පෙළක් පරිද්දෙනි.

මාකඳුරේ මධුෂ්ගෙන් පසු ඩුබායිහි සිටිමින් ඔහුගේ මත්කුඩු ජාවාරම දැවැන්ත ලෙසින් මෙහෙයවන්නට වූ මිදිගම නඳුන් චින්තක හා ඔහුගේ අලුත්ම බිරිඳ, දරුවා, බිරිඳගේ පියා ඇතුළු පිරිසක් ඉකුත් පෙබරවාරි 12 වැනිදා ඩුබායි සිට පෞද්ගලික ජෙට් යානාවකින් මැලේසියාව බලා පිටත්ව යන්නේ දිගු චාරිකාවක යෙදෙනු පිණිසය.

ඔවුන්ගේ ගමනාන්තය බවට මැඩගස්කරය පත්ව තිබුණු අතර වාර්තා වී ඇති පරිදි ඒ වන විට මැඩගස්කරයේ තරුණියක හා විවාහ වී එරට රැඳී සිටි පානදුරේ කුඩු සළිඳුගේ දරුවකුගේ උපන්දින සාදයකට එක්වීම ඔවුන්ගේ ගමනේ අරමුණ වී තිබී ඇත.

මේ ගමනට ඩුබායිහි රැඳී සිටි පානදුරේ කුඩු සළිඳුගේ තවත් සගයන් දෙදෙනකු වන මාලමුල්ලේ සුභාෂ් හෙවත් පාදුරේ සුදූ සහ පානදුර මෝදර තරංග මෙන්ම සුපිරි පාතාල වෙඩික්කරුවකු බව කියන ජිලේ නමැත්තන්ද සිටි බව අනාවරණය වී තිබෙන්නකි.

හරක් කටා - කුඩු සළිඳු අල්ලන්න ඔත්තුව දුන්නේ සිද්ධික්?

එසේ මැලේසියාවට ගිය පිරිස එතැන් සිට මැඩගස්කරය බලා පියාසර කරන අතර මැඩගස්කරයේ ඉවාටෝ ගුවන්තොටුපළට යානය ගොබැසීමෙන් පසු ඔවුන් කරනුයේ එරට අභ්‍යන්තර ගුවන් සේවයක් ඔස්සේ වෙනත් ප්‍රදේශයක් වෙත ළඟා වීමය.

එසේ මැඩගස්කරයට යෑමෙන් පසු එරට තරු හෝටලයක නවාතැන් ගන්නා පිරිස ධනකුවේරයන් මෙන් හැසිරෙමින් ගමන් බිමන් පවා ගොස් ඇත්තේ කුලී පදනම මත ලබා ගත් අති සුඛෝපභෝගී මෝටර් රථ දෙකකිනි.

මිදිගම නඳුන් චින්තක සහ පානදුරේ සළිඳු පිළිබඳ අහඹු කතාව ඇරඹෙන්නේ ඔවුන් ගිය මේ ගමනින් පසුව නැවත ඩුබායි බලා පැමිණීමේ අදහසින් ඉවාටෝ ගුවන් තොටුපොළට පැමිණි අවස්ථාවේදීය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නොනැවතුණු මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස ඒ වන විට මිදිගම නඳුන් චින්තක සහ පානදුරේ සළිඳු මල්ෂිත සිටියේ නිවැරදි දත්ත සමඟ නිකුත් කෙරුණු ජාත්‍යන්තර රතු වරෙන්තු කරුවන් දෙදෙනකු ලෙසිනි.

දිනය ඉකුත් පළමු වැනිදා විය. මැඩගස්කරයට ගිය පිරිස යළි ඩුබායි බලා ඒමට එදින යළි ඉවාටෝ ගුවන්තොටුපළට පැමිණි අවස්ථාවේ නඳුන් චින්තක සහ සළිඳු මල්සිත ශ්‍රී ලංකාවට අවශ්‍ය රතු වරෙන්තු නිකුත් කෙරුණු අපරාධකරුවන් දෙදෙනකු බවට හඳුනා ගන්නා එරට ආරක්‍ෂක අංශ ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන සෙසු පිරිසද තාවකාලිකව රඳවා ගැනීමට කටයුතු කරනු ලැබීය.

මේ සිද්ධියත් සමඟ මැඩගස්කරයේ ජාතික පුවත්පතක් මගින් පළමුවරට ඒ පිළිබඳ අනාවරණය කරනු ලැබූ අතර ඒ සමඟම ලැව් ගින්නක් සේ ශ්‍රී ලංකාව පුරා එය පැතිර යන්නට වූයේ නඳුන් චින්තක සහ සළිඳු මල්ෂිත යනු මෑත කාලයේ මෙරටට අති විශාල ලෙසින් කුඩු තොග පොම්ප කරමින් බිහිසුණු ඝාතන ගණනාවක් මෙහෙයවූ චරිත දෙකක් බවට පත්ව සිටි නිසාය.

මොවුන් දෙදෙනා මැඩගස්කරයේදී අත්අඩංගුවට ගත් බව වාර්තා වීමත් සමඟ පොලිසියේ සමහර ලොකු මහත්වරුන්ට කටේ කෙළ සිඳී ගිය බවක්ද ඉකුත් දිනවල සමාජ මාධ්‍ය ජාලාවන්හි විශාල වශයෙන් කියැවෙන්නට විය. ඒවා අපි නොදන්නෙමු.

මිදිගම නඳුන් චින්තක සහ පානදුරේ සළිඳු මල්ෂිත මැඩගස්කරයේදී අත්අඩංගුවට ගැනීමත් සමඟ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ වත්මන් ප්‍රධානීන් ඒ බව පොලිසිය භාර ඇමැති ටිරාන් අලස් මහතා දැනුවත් කළ අතර ඒ අනුව සිද්ධිය ජනාධිපතිවරයාටද දැනුම් දුන් ටිරාන් අලස් මහතා ජනාධිපතිවරයාගේද උපදෙස් අනුව මොවුන් දෙදෙනා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමක් අරඹනු ලැබීය.

එහිදී සිදු කෙරුණු දුරකථන සංවාද රාශියකි. ටිරාන් අලස් මහතා මැඩගස්කරයේ පොලිසිය භාර ඇමැතිවරයා සමඟද සම්බන්ධ වෙමින් නඳුන් චින්තක සහ සළිඳු මල්ෂිත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා සාකච්ඡා පැවත්වූ අතර එසේම ජාත්‍යන්තර පොලිසියේ ප්‍රධානියා අමතමින් ඒ සඳහා සහාය ඉල්ලා සිටීමටද කටයුතු කළේය.

මැඩගස්කරයේ ආරක්‍ෂක අංශ සමඟ සම්බන්ධ වෙමින් මොවුන් දෙදෙනා පිළිබඳ සියලු තොරතුරු හුවමාරු කර ගැනීමට ඒ වන විට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්ද කටයුතු කරනු ලැබිණි.

ටිරාන් අලස් මහතා මේ අන්දමට නිවැරදි රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්මක් තුළින් මැඩගස්කර රජය සමඟ සම්බන්ධ වෙද්දී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවද නිවැරදිව ක්‍රියාත්මක වීම නිසා අවසානයේ සිදුවූයේ මිදිගම නඳුන් චින්තක සහ පානදුරේ සළිඳු මල්ෂිත ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට මැඩගස්කර රජය එකඟතාව පළ කිරීමය.

ඒ අනුව ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා රජය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනකු සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් දෙදෙනකු වශයෙන් සිව්දෙනකු මැඩගස්කරයට පිටත් කර හැරීමට කටයුතු කරනු ලැබිණි.

මොවුන් මැඩගස්කරයේදී අත්අඩංගුවට ගෙන දින දෙකතුනක කාලයේ රජය සහ ආරක්‍ෂක අංශ එසේ කඩිනම්ව ක්‍රියාත්මක වෙද්දී මිදිගම නඳුන් චින්තක සහ පානදුරේ සළිඳු මල්ෂිත බේරා ගැනීම සඳහා ජනාධිපති නීතිඥවරයෙකු සමඟ නීතිඥවරියන් දෙදෙනකුද
මැඩගස්කරයට ගොස් තිබිණි.

එසේම ඔවුන් වෙනුවෙන් අවශ්‍ය නෛතික කටයුතු සඳහා වැය කිරීමට ඇමරිකානු ඩොලර් තිස්ලක්‍ෂයක මුදලක් ඒ වන විටත් එරටට පොම්ප වී තිබුණේ මැඩගස්කර බලධාරීන්ද විශ්මිත කරවමිනි.

ඔවුන් එහි යෑමෙන් පසු එරට ආරක්‍ෂක අංශ නිලධාරීන් දෙදෙනකුද සමඟින් නඳුන් චින්තක සහ සළිඳු මල්ෂිත ශ්‍රී ලංකාවට එවීමට මැඩගස්කර රජය කටයුතු කළේය. මොවුන් දෙදෙනා මැඩගස්කරයේ සිට මෙරටට රැගෙන එනු ලැබුවේ නයිරෝබි සහ ඉන්දියාවේ මුම්බායි හරහා පැමිණි දීර්ඝ ගුවන් ගමනකිනි. මැඩගස්කරයෙන් නයිරෝබි බලා පියාසර කරන ගුවන් යානයට නඳුන් චින්තක සහ සළිඳු මල්ෂිත නංවා ගැනීමෙන් පසු නඳුන් චින්තකගේ විදේශීය ජාතික බිරිඳ ඇතුළු සෙසු පිරිස යළි ඩුබායි බලා පිටත්ව ගියහ.

මේ කතාවේ හොඳ කොටස ඇරඹී ඇත්තේ මොවුන් දෙදෙනා මැඩගස්කරයේ ඉවාටෝ ගුවන් තොටුපළෙන් නයිරෝබි බලා පිටත්ව යන ගුවන් යානයට නංවා ගැනීමට ආරක්‍ෂක අංශ නිලධාරීන් සූදානම් වූ අවස්ථාවේදීය.

එහිදී දැඩි කලබලකාරී බවකින් හැසිරෙන්නට වූ ඔවුන් දෙදෙනා එතැන් සිට කර ඇති එකම ඉල්ලීම වී ඇත්තේ අනේ සර් අපිව මරන්න එපා යන්නය. මොවුන් දෙදෙනා රැගෙන නයිරෝබි නුවරට ළඟා වීමෙන් පසු මුම්බායි බලා පිටත්ව යන ගුවන් යානයක් පැමිණෙන තුරු නයිරෝබි ගුවන් තොටුපළේ විශේෂිත කුටියක රඳවාගෙන දැඩි දුෂ්කර ක්‍රියාවක යෙදෙන්නට ආරක්‍ෂක අංශ නිලධාරීන්ට සිදුව ඇති අතර නයිරෝබි නුවර සිට ඉන්දියාවේ මුම්බායි වෙත පැමිණීමෙන් පසුවද සිදුව ඇත්තේ ඒ හා සාමානම වෙහෙසක් දැරීමටය.

එහිදී ඇතිවූ ප්‍රමාදයක් හේතුවෙන් ශ්‍රී ලංකාව බලා යන ශ්‍රී ලංකන් ගුවන් යානය පිටත්ව ගොස් තිබීම නිසා වෙනත් යානයක් පැමිණෙනතුරු දැඩි ආරක්‍ෂිත පියවර අනුගමනය කරමින් මුම්බායි ගුවන් තොටුපළේ පුරා දිනක් මොවුන් දෙදෙනා තබාගෙන සිටීමටද පොලිස් හා විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට සිදුව ඇත.

අවසානයේ ඉකුත් 15 වැනිදා පෙරවරුවේ මිදිගම නඳුන් චින්තක සහ පානදුරේ සළිඳු මල්ෂිත ශ්‍රී ලංකාවට රැගෙන ඒමට මැඩගස්කරය බලා පිටත්ව ගිය නිලධාරීහු සමත් වූහ.

මේ දීර්ඝ ගුවන් ගමනේදී ගුවන් සමාගම්වල තීරණ අනුව අත් මාංචු පවා නොමැතිව විශාල අභියෝගයකට මුහුණ දෙමින් මොවුන් දෙදෙනා රැගෙන ඒමට පොලිස් හා විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට සිදුව තීබී ඇති අතර ශ්‍රී ලංකාව දක්වා පැමිණෙන සමස්ත ගුවන් ගමන පුරාම මිදිගම නඳුන් චින්තක සහ පානදුරේ සළිඳු මල්ෂිත නිලධාරීන්ගෙන් සිදු කළ එකම ආයාචනය වී ඇත්තේ අනේ සර් අපිව මරන්න එපා යන්නය.

මත්කුඩු හෙවත් හොරොයින් ජාවාරම හමුවේ මිනිස් ජීවිත ගණනාවකට හතර රියන උරුම කර දුන් ම්ලේච්ඡත්වයේ උපරිමයට ළඟාවී නොමිනුසුන් ලෙස කටයුතු කළ නඳුන් චින්තකට සහ සළිඳු මල්ෂිතට ජීවිත බය දැනී තිබුණේ එසේය.

එය කොතෙක් ප්‍රබල වී තිබුණක්දැයි කිවහොත් මොවුන් දෙදෙනා ශ්‍රී ලංකාවට රැගෙන ඒමට කටයුතු කෙරෙමින් තිබියදී ඔවුන්ගේ දෙමාපියන් තම දරුවන්ගේ ජීවිත රැක දෙන ලෙස අයදිමින් මානව හිමිකම් කොමිසම හා අධිකරණය වෙත යෑමටද කටයුතු කර තිබිණි.

මෙරට හොරොයින් මත්කුඩු ජාවාරම පිළිබඳ කතා කිරීමේදී අතීතයේ දැවැන්ත ලෙස රට තුළට මත්කුඩු පොම්ප කළ ප්‍රබලම චරිත දෙක වූයේ මොහොමඩ් සිද්ධික් සහ වෙළේ සුදාය. වෙළේ සුදා දැන් මරණීය දණ්ඩනයට යටත්ව බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සිරකරුවෙකි. මෑතකදී වාර්තා වූ පරිදි බන්ධනාගාරගත වෙළේ සුදා අදටත් සිය ජාවාරම අතහැර නැත.

සිද්ධික් සහ වෙළේ සුදා යන දෙදෙනා ගත් කල මේ රටේ අංක එකේ කුඩු ජාවාරම්කරුවා ලෙස මොහොමඩ් සිද්ධික් පෙන්වා දිය හැකිය. මෑතකදී ඇප ලැබීමෙන් පසු රටින් පළා ගිය කංජිපානි ඊම්රාන්ට මත්කුඩු ජාවාරමේ ‘අ’ යන්න ‘ආ’ යන්න කියා දුන්නේද සිද්ධික්ය.

කංජිපානිලා සිද්ධික් හරහා කුඩු ජාවාරමේ අත්පොත් තබන විට මිදිගම නඳුන් චින්තක යනු පුංචි කොලු ගැටයෙකි. ඒ වන විට මාකඳුරේ මදූෂ්ද කොල්ලකෑම් කිහිපයක චූදිතයකු ව සිටි මෙරට තෙවැනි පෙළ අපරාධකරුවෙක් විය.

පසු කලෙක මෙරට කුඩු පාතාලයේ ගෝඩ් ෆාදර් බවට පත්වූ මාකඳුරේ මදූෂ් ඩුබායි රටට පැන ගොස් සුපිරි ධනවතකු සේ කටයුතු කරන්නේද කංජිපානි සමඟ එක්වය. මදූෂ් එසේ රටින් පැන යන කාලය වන විට මිදිගම හැදුණූ නදුන් චින්තක තරුණයා සිටියේ ඔහුගේ ගෝලයකු බවට පත්වය.

ගමේ තරුණයන් පිරිසක් එක්ව සිදු කළ අමානුෂික ප්‍රහාරයකින් පසු ඔවුන්ගෙන් පලි ගැනීමේ මාවත සොයමින් ගිය නඳුන් චින්තක එසේ මාකඳුරේ මදූෂ්ගේ ගෝලයකු බවට පත්විය. එතැන් සිට මිදිගම ප්‍රදේශයේ මදුෂ්ගේ කුඩු ජාවාරම සිදු කරනු ලැබුවේ නඳුන් චින්තකය.

මේ කාලය වන විට අංගොඩ ලොක්කාද මාකඳුරේ මදූෂ්ගේ සගයකු බවට පත්ව සිටි අතර එනිසා අංගොඩ ලොක්කා සමඟද නඳුන් චින්තකට සබඳතා තිබිණි. මදූෂ්ගේ කුඩු ජාවාරම අංගොඩ ඇතුළු ආසන්න ප්‍රදේශවල ක්‍රියාත්මක වූයේ අංගොඩ ලොක්කාගේ සහායෙනි.

පසු කලෙක කළුතර එතනමඩල ප්‍රදේශයේදී බන්ධනාගාර බස්රථයකට ප්‍රහාරයක් එල්ල කර කඩුවෙල පාතාලයේ සමයං ඝාතනය කිරීමත් සමඟ අංගොඩ ලොක්කා ඉන්දියාවට පැන ගිය අතර ඉන් ටික කලකට පසු කුඩු ජාවාරම නිසා ඇති වූ ආරාවුලක් මත මාකඳුරේ මදූෂ්ගේ තවත් ගෝලයකුව සිටි සන්සයින් සුද්දා මරා දැමීමේ සිද්ධිය හේතුවෙන් මිදිගම නඳුන් චින්තක ඩුබායි වෙත පැන ගියේය.

ඩුඩායි රාජ්‍යයට පැන ගිය මාකඳුරේ මදූෂ් කංජිපානි ඉම්රාන් සමඟ එක්ව සිටිමින් කුඩු පාතාලයේ ගෝඩ් ෆාදර් බවට පත් වෙද්දී කංජිපානිට කුඩු ජාවාරමේ හෝඩි පොත කියවා දුන් මොහොමඩ් සිද්ධික් සිටියේ බන්ධනාගාරගතවය.

පාකිස්තානයේ සිටියදී එරට පොලිසිය මගින් ඉකුත් 2014 වසරේදී වෙළේ සුදා සමඟ අත්අඩංගුවට ගනු ලැබ ශ්‍රී ලංකාවට රැගෙන ඒමෙන් පසු එසේ සිරගතව සිටින්නට සිද්ධික්ට සිදු විය. සිද්ධික් සිරගතව සිටියදී මාකඳුරේ මදූෂ් සහ කංජිපානි එක්ව ඩුබායි සිට කුඩු ජාවාරම දැවැන්ත ආකාරයෙන් කරගෙන යනු ලැබුවේ සිද්ධික් උරුමකම් කී පාකිස්තාන ජාලය හා සම්බන්ධ වෙමිනි.

එහිදී බොහෝ අකටයුතුකම් මදූෂ් සහ කංජිපානි එක්ව සිද්ධික්ට කරනු ලැබිණි. අවසානයේ මාකඳුරේ මදූෂ් හා කංජිපානි උපන්දින සාදයක් අතරතුරදී ඩුබායි තරු හෝටලයකදී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට පිටුවහල් කරනු ලැබූ අතර ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමේ මහමොළකරු වූයේ මොහොමඩ් සිද්ධික්ය.

එසේ ඩුබායි සිට ශ්‍රී ලංකාවට ගෙන ඒමෙන් පසු කංජිපානි සිරගත කෙරිණි. වසර එකහමාරක කාලයක් පොලිසිය භාරයේ සිටි මාකඳුරේ මදූෂ් මෙහි ඉහත සඳහන් කළ පරිදි කොළඹ මාලිගාවත්තේදී වෙඩි වැදී මැරී වැටිණි.

එසේ අවසන් වූ මදූෂ් සහ කංජිපානි වෘත්තාන්තයෙන් පසු මදූෂ්ගේ කුඩු ජාවාරම අතට ගත්තේ අංගොඩ ලොක්කාය. ඒ වන විට අංගොඩ ලොක්කා ඉන්දියාවේ සිටි බැවින් ඩුබායි රාජ්‍යයේ සිට ඒ කටයුතු මෙහෙයවනු ලැබුවේ මිදිගම නඳුන් චින්තක විසිනි.

මේ අතරේ අංගොඩ ලොක්කාද හිටි හැටියේ ඉන්දියාවේදී මරා දැමිණි. ඔහුගේ ඉන්දීය බිරිඳ විසින් වස ශරීරගත කර එකී ඝාතනය කළ බවක් දැන් කියැවෙමින් ඇත. අංගොඩ ලොක්කා මියයෑමෙන් පසු මදූෂ්ගේ කුඩු ජාවාරමේ තනි පුද්ගල හිමිකරුවා බවට පත්වූයේ මිදිගම නඳුන් චින්තකය. පානදුරේ සළිඳු මල්ෂිත නඳුන්ට එක් වන්නේ ඔහු එසේ මෙරට කුඩු ජාවාරම්කරුවන් අතරේ දැවැන්ත චරිතයක් ලෙස පෙරට එමින් සිටියදීය.

එහෙත් නඳුන් චින්තක සහ සළිඳු මල්ෂිත වැන්නන් එසේ ඩුබායි කුඩු ජාවාරම සමඟ පෙරට එමින් සිටියද කංජිපානි ඉම්රාන්, මාකඳුරේ මදූෂ් සහ අංගොඩ ලොක්කා හරහා මිදිගම නඳුන් චින්තක අතට පත්වූ ඩුබායි කුඩු ජාවාරමට අදාළ පාකිස්තාන ජාලයේ නියම උරුමක්කරුවා වූයේ මොහොමඩ් සිද්ධික්ය.

දැන් මොහොමඩ් සිද්ධික් සිටින්නේ මැලේසියාවේ බව බුද්ධි අංශ වෙත වාර්තා වී තිබෙන්නකි. සිද්ධික් මැලේසියාවේ රැඳී සිටින්නේ ජාත්‍යනිතර කුඩු ජාවාරම්කරුවකු වූ ප්‍රබල චරිතයක් වන මොහොමඩ් මුජහයිදීන් සමඟ බවද වාර්තා වී තිබෙන්නකි.

මේ මොහොමඩ් මුජහයිදීන්ට මැලේසියාව තුළ කළ නොහැක්කක් නැත. ඔහු ඒ තරමටම ප්‍රබලය. ඩුබායිහි සිටිමින් කුඩු ජාවාරමෙන් ප්‍රකෝටිපතියකු බවට පත්වූ මිදිගම නඳුන් චින්තක ඇතුළු කණ්ඩායම පෞද්ගලික ජෙට් යානයකින් පැමිණ මැලේසියාවට ඇතුළු වී

මැඩගස්කරය බලා යෑමෙන් පසු එරටදී අත්අඩංගුවට ගැනෙන්නේ ඒ කතාව පුරා විහිදී යන අටුවා ටීකා ටිප්පනිවල හැඩරුව එසේ වී තිබියදීය.

මේ කතා කුමක් වුවත් මිදිගම නඳුන් චින්තක සහ පානදුරේ සළිඳු මල්ෂිත දැන් සිටින්නේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේය. දැන් සිදු විය යුත්තේ පොලිසිය මගින් විමර්ශන සඳහා රැගෙන යන මොවුන් දෙදෙනාට මාංචු පිටින් දිව ගොස් ගංගාවලට පැනීමට ඉඩදීමද?

එසේ නැතහොත් ඔවුන් රැගෙන ආයුධ සොයන්නට යෑමේදී අත්බෝම්බවලින් පොලිසියට දමා ගසන්නට ඔවුන්ට අවස්ථාවක් තැබීමද? එසේත් නඅප මේ කියන්නේ නැතහොත් වෙනත් කල්ලියක වෙඩි ප්‍රහාරයකට ගොදුරුවන පරිදි මොවුන් අනාරක්‍ෂිත කිරීමද?

නැත. මේ කිසිවක්ම සිදුවිය යුතු නැත. කාගෙත් පරම යුතුකම විය යුත්තේ මොහොමඩ් සිද්ධික් දක්වාම විහිදී යන මොවුන් දෙදෙනා සතුව ඇති ජාත්‍යන්තර හෙරොයින් මත්කුඩු ජාලයේ සැබෑ තොරතුරු එකින් එක අනාවරණය කර ගැනීමය. ඇතැම්විට එහි කොටස්කරුවන් වූ සුදුපිරුවට අඳින අපේ උත්තමයන් සහ සමාජයේ සුද්ධවන්තයන් සේ වැජඹෙමින් ජීවත් වන්නෝද එවැනි ගැඹුරු විමර්ශනයකදී අනාවරණය වීමට බොහෝ ඉඩක් ඇත්තාහ.

එය නිවැරදිව සිදු කරන්නට නම් මොවුන් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන අපරාධ පරීෂණ දෙපාර්තමේන්තුවේ පිරිසකට පමණක් භාර දීමෙන් තේරුමක් නැත. අප මේ කියන්නේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ වත්මන් නිලධාරීන් දූෂිත යයි යන්න නොවන බව වගකීමෙන් සඳහන් කරන්නෙමු. එහෙත් සමස්තයක් ලෙස ගත් කළ පෙර වැරදි සමඟ සසඳා බැලීමේදී එසේ නොවීම රටට යහපත්ය.

මේ රටේ කුඩු ජාවාරමට තිත තැබීම සඳහා වෙහෙසෙන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, රාජ්‍ය බුද්ධි සේවය, යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකාය සහ නාවික බුද්ධි බළකාය මෙන්ම පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශය ඇතුළු සියලු පාර්ශ්ව සම්බන්ධ කෙරුණු විනිවිදභාවයෙන් යුතු විශේෂ විමර්ශන කණ්ඩායමකට එය අනිවාර්යයෙන් භාර කළ යුතුය.

අප ඒ සඳහන මෙහිදී සිදු කරනුයේ සේනාධිනායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය පිණිසය. ජනාධිපතිතුමනි එසේ කටයුතු සිදු කෙරුණහොත් රටේ කුඩු ජාවාරමට අදාළ ජාල ගණනාවක තොරතුරු ආයාසයකින් තොරවම අනාවරණය කර ගැනීමට හැකිවනු ඇත. එහිදී යහපතක් වන්නේ මේ රටේ අනාගත උරුමකරුවන් වූ තාරුණ්‍යයටය. එසේ සිදු කරන පැහැදිලි විමර්ශනයකට අනුව නෛතික ක්‍රියාමාර්ග ගතහොත් කංජිපානිලා පැන ගියාක් මෙන් කිසි දිනෙක අධිකරණයෙන් ඇප ලබා රටින් පැන යන්නට මිදිගම නඳුන් චින්තකට හා පානදුරේ සළිඳු මල්ෂිතට හැකි නොවනු ඇත. එදාට කිසිවකුටත් රටේ බුද්ධි අංශ වෙත ඇඟිලි දිගුකරන්නට සිදුවන්නේද නැත.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment