හරක් කතාවක්

691

අපි නිරතුරුවම මේ තීරුව ඔස්සේ දේශපාලනය ගැන කතා කරමු. එහෙත් අප කොච්චර කතා කළත් දේශපාලනය කෙරෙන්නේ දේශපාලනඥයන්ට අවශ්‍ය විදියට ය. ඒ නිසා දේශපාලනය පිළිබඳව කර්තෘ වාක්‍යවලින් දෙන අර්ථ නිරූපණ, අදහස් හෝ උපදෙස් කිසිදු දේශපාලනඥයෙක් පිළිගන්නේ නැත. ඒ නිසා වඩාත් ඵලදායී දෙයක් ගැන කතා කිරීමට තීරණය කළෙමු. කොළඹ ජාතික රෝහලේ වාට්ටුවක කාර්ය සහායිකාවකට අයත් කබඩ් එකක තිබී ගල් බෝතල් හතක් හමුවිය. ඇය මෙතැන පවත්වාගෙන ගොස් ඇත්තේ මිනි බාර් එකකි. මිනි බාර් එකේ අයිතිකාර කාන්තාව පොලිසියට බාරදෙන ලදි. දැනට මේ රටේ සිදුවන ඇතැම් දේවල් දෙස බැලීමේදී රෝහලක් තුළ බාර් එකක් පවත්වාගෙන යෑම සාමාන්‍ය දෙයක් බව අපගේ විශ්වාසය වේ. යමක් අපරාධයක් බවට පත්වන්නේ පොලිසිය විසින් එම ස්ථානය හෝ සිද්ධිය වටලන තෙක් පමණි. එතෙක් එය සාමාන්‍ය දෙයකි. මීට මාස කීපයකට පෙර පොලිසියේ ඒ. එස්. පී. මහතෙක් ගෙයි වහලය උඩ ගංජා පාත්තියක් පවත්වාගෙන ගියේය. නීතිය සුරැකීමට බැඳී සිටින මේ නිලධාරියා මේ ගංජා බිස්නස් එක දිගු කලක් කරගෙන ගොස් ඇත. ඔහු ඒවා විකුණන්නටත් ඇත. එය අපරාධයක් බවට පත්වන්නේත් ඒ.එස්.පී. මහත්තයා කූඩුවට යන්නේත් සිද්ධිය පොලිසියට හසුවූ බැවිනි. ගෝඨාභය රාජපක්‍ෂගේ ආණ්ඩුව පැවැති මුල් යුගයේදී හරක් මැරීම තහනම් කරමින් කැබිනට් පත්‍රිකාවක් සම්මත කරගන්නා ලදි. එහෙත් එම කැබිනට් පත්‍රිකාව කවදාවත් ක්‍රියාත්මක වුණේ නැත. ඊට හේතුව හරක් මස් සමඟ කිසියම් ජනවර්ගයකගේ සම්බන්ධය තිබීමය. මෙය නීතියක් වශයෙන් ගෙනාවේ නම් අදාළ ප්‍රජාවගේ ඡන්ද පදනම ඉරි තැලී ගොස් එහි අවාසිය භුක්ති විඳීමට ආණ්ඩුවට සිදුවීමේ අවදානම ඇතිවිය. 13 වන සංශෝධනය හෝ පළාත් පාලන ඡන්දය ගැන අද දවසේදී මේ තීරුව ඔස්සේ සාකච්ඡා කරනු නො ලැබේ. ඒ වෙනුවට අපි හරක් කතාවක් ම ඔබට කියමු.

තිස්සමහාරාමයේ දිවුල්පතාන වැව් පිටියේ නිදැල්ලේ තණ කන හරක් සිය ගණනක් සිටිති. මේ හරකුන් සියලුම දෙනාට අයිතිකරුවෝ සිටිති. ඒ අතර රෑට ලොරිවලින් එන හොර හරක් ජාවාරම්කරුවෝ මේ හරකුන් අල්ලා උන්ගේ පාද බිඳ ලොරිවල පටවා කොළඹට ගෙන එනු ලැබේ. පෙර කී වැව් පිටියෙන් හොරකම් කරන ලද ගවයන් 20 ක් සහිත ලොරියක් පසුපස පන්නා ගොස් ටයර්වලට වෙඩිතබා අත්අඩංගුවට ගැනීමට තිස්සමහාරාම පොලිසියේ නිලධාරීහු සමත්ව සිටිති. සැකකරුවන් අත්අඩංගුවට පත්වූ අවස්ථාවේදී ඔවුන් කියා ඇත්තේ දහවල් 12.00 ට හරක් පටවන ලෙස ඒ.එස්.පී. මහත්තයා කී බවය. සමහර විට මෙය ඒ.එස්.පී. ගේ නම ප්‍රදර්ශයන කර නීතියෙන් ගැලවීම සඳහා ජාවාරම්කරුවන් කළ වංචනික ප්‍රකාශයක් වීමට ඉඩ තිබේ. ඒ.එස්.පී. මහත්තයා මේ හරක් පැටවිල්ල ගැන දන්නේවත් නැතිව ඇති. එහෙත් මෙහි මුලින් සඳහන් කළ ගංජා සිද්ධියෙන් පසු පොලිසියේ ඒ.එස්.පී.ලා ගැන අපිට එතරම් ලොකු විශ්වාසයක් නැත. පසුගිය කාලයේදී පොලිසිය නොයෙකුත් අවකල් ක්‍රියාවන්හි නිරත විය. ‘සිරකරුවෝ ද මනුෂ්‍යයෝ ය’ යනුවෙන් වැලිකඩ හිරගෙදර තාප්පයේ ලියා ඇති කියමනට අනුව යමින් ‘පොලිසියද මනුෂ්‍යයෝ ය’ යනුවෙන් සඳහන් කර කා අතිනුත් වැරදි සිදුවීමට ඉඩකඩ ඇති බව කියා ගැලවීමට මෙහිදී නුපුළුවන. ඒ නිසා අදාළ ඒ.එස්.පී. මහත්තයා ගැන ද ලාවට පරීක්‍ෂණයක් කරන ලෙස අපි ඉල්ලා සිටිමු.

ශ්‍රී ලංකාව මස් මාළු කන රටකි. එහි කිසිදු තර්කයක් නැත. මනුෂ්‍ය ශරීරයේ එන්සයිම සෑදී ඇත්තේ ද ශාක ප්‍රෝටීන කැඩීමට වඩා සත්ත්ව ප්‍රෝටීන කැඩීමට ය. එසේම ශාක ආහාර පමණක් ගැනීමෙන් ජීවත්වන අය ඕනෑ තරම් මේ ලොව සිටිති. සමහරු කියන්නේ සෝයා කෑමෙන් මාංශ ප්‍රෝටීන නිසි පරිදි සිරුරට ලැබෙන බව ය. හැබැයි සෝයා යනු හැමදාම කෑමට පුළුවන් දෙයක් නොවේ. එළවළු ද හැමදාම කෑමට බැරිය. අපගේ ශරීරය නිර්මාණය වී ඇති ආකාරය අනුව එක්තරා අවස්ථාවක මනුෂ්‍යයාගේ දිව මස් මාළු ඉල්ලයි. මේ ගැන අදහස් දැක්වීමෙන් අපි වැළකී සිටිමු. එහෙත් මේ රටේ ආහාර පිණිස සතුන් මරණ ආකාරය කෙරෙහි අප තුළ ඇති දැඩි අප්‍රසාදය මෙසේ සඳහන් කරමු; ඇතැම් කුකුළු ෆාම් හිමියන් කුකුළන් මරන්නේ ෆාම් එක තුළට රතික්‍ඳ්ඤා පත්තුකර දැමීමෙනි. රතික්‍ඳ්ක්‍ඳයේ හඬට බියපත්වන කුකුල්ලු තුන්හාරසීයයක් හෘදයාබාධ වැළඳී මියයති. මාළු බාන මිනිහා විශාල තලපතකු හෝ කෙළවල්ලකු අල්ලා ඔරුවට දමාගත් විට පොලුවලින් ගසා ඒ සතාගේ ඔළුව කුඩුකරයි. මාළුවා මියයන්නේ ධීවර කාර්මිකයා අතින් ලැබෙන මහා දුකක් අනුභව කිරීමෙන් පසුව ය. මුලින් ඒ සතා බිලී කොක්ක ගිල දමයි. මසුන් මරන්නා බිලී පිත්ත ඇද්ද විට එම බිලී කොක්ක මාළුවාගේ ගලනාලය ඉරාගෙන උඩට විත් යටිතල්ල පසාරු කරගෙන කිඳා බහී. මෙය කවර නම් දුකක් විය හැකි දැයි ඔබට සිතෙන්නේ ද? සමහර මිනිසුන් ඌරන් මරන්නේ එම සතාට දස වධ දීමෙන් පසුවය. මුලින්ම ඔවුහු තරුණ වියට පත්වන ඌරා පුස්සකු බවට පත්කරයි. ඒ උගේ වෘෂණ කෝෂ තැලීමෙනි. එසේ කළ විට මේ සතා බෙහෙවින් තරබාරු වී වැඩෙන බව ඌරුමස් වෙළෙන්දන්ගේ මතය වී තිබේ. ඌරා මැරීමට පෙර උගේ පාද හතර බැඳ බිම දමා තඩි පොලුවලින් පහර දෙනු ලැබේ. ඒ සිරුරේ මස් ඉදිමීමටය. ඌරුකොටු කාරයාගේ අරමුණ වන්නේ මේ ක්‍රමය මගින් ඌරුමස් කිලෝ වැඩි ප්‍රමාණයක් ලබා ගැනීමය. එළුවන් මරන්නේ පහර දී බිම දමා තියුණු පිහිවලින් ගෙල කැපීමෙනි. හරක් මරණ ආකාරය ද ඉතාම දරුණු ය. ගව ඝාතකාගාරයට ඇදගෙන යන හරකාගේ කකුල් කඩා ඌ බිම දමනු ලැබේ. ඊට පසු කුළුගෙඩියකින් ඔළුවට පහර දී ගෙල කැපීම සිදුකරයි. එක හරකෙකු මැරීමට අඩුම ගණනේ පැය භාගයක් ගත වේ. ගව ඝාතකයන් අල්ලා මේ ආකාරයෙන් ම ඝාතනය කළ යුතු බවට අපි මේ තීරුව මගින් කලකට පෙර යෝජනා කළෙමු. ඌරන් මරන්නා ද තරුණ වියේදීම වෘෂණ කෝෂ තලා පුස්සකු බවට පත්කර මැරිය හැකි නීති ලංකාවේ නැත. එහෙත් ස්ත්‍රී දූෂකයන් අල්ලා ලිංගච්ඡේදනය කර මැරීමේ නීතියක් අප්‍රිකා මහද්වීපයේ ඇතැම් ගෝත්‍ර අතර ඇත. තිස්සමහාරාමයේ හොර හරක් ලොරිය පසුපස මෝටර් සයිකල්වලින් ගිය පොලිස් නිලධාරීන් යටකර මැරීමට හොර හරක් ලොරියේ රියැදුරා තැත්කර තිබුණි. අද අප මේ ලියන කරුණු ස්වල්පය 13 වන සංශෝධනය හෝ පළාත් පාලන ඡන්දයට වඩා වැදගත් ද? නැත්නම් නොවැදගත් ද යන්න තීරණය කිරීම පාඨක ඔබට භාරය.

advertistmentadvertistment
advertistmentadvertistment