‘හර්තාලය ඉවරයි’ එය සාර්ථකයි කොළඹ මරණ පහක්’ පිට පළාත්වලත් කීපයක්, තුවාල ලැබූ රාශියක් – එදා පත්තරෙන්

302

* වැඩ නැවත්වීම් අවසානයි

* 1953 මහා හර්තාලය සිදුවී  අදට (12දා) හරියට වසර 68 කි.

අද වැනි දිනක එනම් 1953 අගෝස්තු 12 වැනිදා හර්තාලය පැවැත්වීමට ආචාර්ය එන්. එම්. පෙරේරාගේ නායකත්වයෙන් යුත් ලංකා සම සමාජ පක්ෂය තීරණය කළහ. 1953 ජූලි 23 වෙනිදා එවක පැවැති එජාප රජය මගින් ඉදිරිපත් කළ අයවැය ලේඛනයෙන් හාල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ඉහළ දැමීම හා ඇතැම් බදු ඉහළ නැංවීම නිසා පොදු ජනතාව පිට පටවන ලද ඉසිලිය නොහැකි බර ඉවත්කරලීමට පැවැත්වූ මෙම හර්තාලයට ශ‍්‍රීලනිප, කොමියුනිස්ට්, ලංකා කම්කරු සංගමය ඇතුළු විපක්ෂයේ සියලූම පක්ෂවලටද ඇරයුම් කෙරුණි.

හර්තාල් දින වරාය, දුම්රිය, බස් සේවා, ඇනහිටියේය. සියලූම ආයතන, කර්මාන්ත ශාලාවල වැඩ නැවතිණි. බරකරත්ත හා රික්ෂෝද වර්ජනයට එක්ව තිබිණි. කම්කරුවන් වර්ජනවලට එළඹියේය. භික්ෂූන් වහන්සේලා නගර ශාලාව අසල උපවාසයක් ඇරඹූහ. රටේ පිටපළාත්වලද එවැනිම තත්ත්වයක් උද්ගත විය. කොළඹ නගරය පාළු පිට්ටනියක් බඳුවිය. කළුකොඩි එසවීම්ද විය. පිටපළාත්වල පොලිසිය සමඟ විරෝධතා දැක්වූවෝ ගැටුණි. ස්වකීය මෝටර් රථයේ කලූ කොඩියක් සවිකරගෙන එන්. එම්. තැනින් තැනට යමින් හර්තාල්කරුවන් දිරි ගැන්විය. වෙඩි පහරවල් එල්ලවීමෙන් විරෝධතා දැක්වූ කම්කරුවෝ කිහිප දෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ. එම සටනේ ක‍්‍රියාකාරීන් පොලිස් අත්අඩංගුවට පත් වුණේය. රජය ඇඳිරිනීතිය හා හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කළේය. එම තීන්දු තීරණ කොළඹ වරායේ නවතා තිබූ නෞකාවක පැවැත්වූ හදිසි කැබිනට් මණ්ඩල රැුස්වීමකදී ගනු ලැබීය. එම පැවැති තත්ත්වයෙන් සිදුවූ වෙඩි තැබීම් වලින් පුද්ගලයන්් ජීවිතක්ෂයට පත්වීම ගැන සංවේගයද පළකර එවක අගමැතිව සිටි ඩඞ්ලි සේනානායක මහතා පදවියෙන් ඉල්ලා අස්වී සර් ජෝන් කොතලාවලට අගමැති පදවිය පිරිනැමීය. හාල් සේරුවේ මිල ශත 15 කින් අඩු කෙරිණි.

අගෝස්තු 13 වැනිදා නිමාවූ එම හර්තාලය ඊට පසු දින (14 දා) පුවත්පතක මුල් පිටුවේ පළවී තිබුණේ කොළඹ මරණ පහකි, පිට පළාත්වලත් තවත් කිහිපයක්, දහතුන් පළක ගිනි තැබීම්, පෙරහැර රැස්වීම් තහනම්, හර්තාල් ඉවරයි, එය සාර්ථකයි. (ඇන්. ඇම්., පීටර් කේනමන් හා පිළිප් ගුණවර්ධන යන නායකයන්ගේ ප‍්‍රකාශ) ආදී සිරස්තලයන්ය. විපක්ෂ නායකව සිටි ඇස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක, ඇන්. එම්. පෙරේරා, අගමැති ඩඞ්ලි සේනානායක, මන්ත‍්‍රී බුලන්කුලම දිසාවගේ ප‍්‍රකාශයන්ද එහි පළවී තිබුණ අතර, කිහිප දෙනෙකු සිරභාරයට පත්වීමක්ද එහි තවත් වාර්තාවක පැවැතියේය. එම කිසිදු පුවතක් ලියන ලද වාර්තාකරුවන්ගේ නම් අදාළ මුල් පිටුවේ පළවී නොතිබිණි.

නාරද නිශ්ශංක


 

advertistmentadvertistment
advertistmentadvertistment