හරිත ඵලදායිතාව සහ තිරසර සංවර්ධනය

1108

● හරිත ඵලදායිතාව යනු කුමක්ද?

හරිත ඵලදායිතාව යනු පොදුවේ සමාජ ආර්ථික සංවර්ධනය සඳහා ගුණාත්මකතාවය සහ පාරිසරික ක්‍රියාකාරිත්වය ඉහළ නැංවීමේ උපාය මාර්ගයකි. තිරසාර ගුණාත්මකභාවය සඳහා පරිසර හිතකාමී භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම මඟින් මෙම තත්ත්වයට ළඟාවිය හැක. මේ සඳහා භාවිත කරන තාක්ෂණයන් සහ ප්‍රමාණවත් කළමනාකරණ පද්ධතීන් සඳහා මෙම හරිත ඵලදායිතා ක්‍රම භාවිත කිරීම මඟින් වඩාත් වැඩිදියුණු වූ ජීවන රටාවකට අප හුරු වේ. මෙමඟින් ලාභ හා තරගකාරී වාසිය වැඩිදියුණු කරන අතරම, සංවිධානයේ ක්‍රියාකාරකම්, නිෂ්පාදන හා සේවාවන්හි පාරිසරික බලපෑම අඩු කිරීම්, සුදුසු පාරිසරික කළමනාකරණ සහ ඵලදායිතා ඉලක්කවලට ළඟාවීම් ආදිය ගැනිය හැකිය. මෙවලම්, තාක්ෂණය හා ඒකාබද්ධ ව යෙදීමෙන් වඩා කාර්යක්ෂම සේවාවක් ලබාගත හැකිය.

හරිත ඵලදායිතාවය, ඵලදායිතාව ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සහ පාරිසරික ආරක්ෂාව කෙරෙහි අවධානය යොමු කරන හෙයින්, හරිත ඵලදායිතා ක්‍රමවේදයේ කේන්ද්‍රීය අංගය වන්නේ නිෂ්පාදන ක්‍රියාවලියන් සහ නිෂ්පාදන යන දෙඅංශයෙන්ම ඒවායේ පාරිසරික බලපෑම් අවම කර ඵලදායිතාව සහ නිෂ්පාදන ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ ක්‍රම ඉස්මතු කිරීම ය. හරිත ඵලදායිතාවයේ දී භාවිත කරන සමහර තාක්ෂණයන් අතර හොඳ ගෘහ පාලනය, සැලසුම් වෙනස් කිරීම, ක්‍රියාවලිය වෙනස් කිරීම, අපද්‍රව්‍ය හා ජල කළමනාකරණය, දූෂණය සහ නාස්තිය වැළැක්වීම යනාදිය ඇතුළත් වේ.

● අපගේ ජීවන රටාව තුළ හරිත ඵලදායිතා සංකල්පය ක්‍රියාත්මක කළ හැක්කේ කෙසේද?

1970 දී හරිත ඵලදායිතාවයේ කොටසක් ලෙස ඩව් සමාගම දූෂණය සහ අපතේ යැවීම් අවම කිරීමේ ක්‍රම සෙවීම සඳහා සේවකයන් දිරිමත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කළේය. මුල් අවුරුදු කිහිපය තුළදී යෝජනා සිය ගණනක් ක්‍රියාත්මක වූ අතර ඉන් ලැබූ ප්‍රතිඵල හේතුවෙන් ඔවුන්ගේ ඒක පුද්ගල ලාභාංශ ප්‍රමාණය ඉතා ඉහළ අගයක් විය.

මේ ආකාරයටම ඩු පොන්ට් ආයතනය ද තම නිෂ්පාදන වර්ධනය කිරීමට හරිත ඵලදායිතා ක්‍රමවේද භාවිත කළේය. මෙහිදී ඩු පොන්ට් ආයතනය අවධානය යොමු කළේ පාරිසරික කාර්යක්ෂමතාව සහ පාරිසරික ඵලදායිතාව කෙරෙහි ය. එකම නිෂ්පාදන වඩාත් කාර්යක්ෂම ලෙස නිෂ්පාදනය කරනවා වෙනුවට පැරණි නිෂ්පාදනවල අගය වැඩිකිරීමටත් නව ක්‍රමවේදයන්ගෙන් නිෂ්පාදනය සිදුකිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමටත් එමඟින් පරිසරයට ඉතා අඩු බලපෑමක් වන තත්ත්වයක් ඇතිකිරීමටත් ඔවුන් සමත් විය.

බොහෝ සමාගම් මෙන්ම ජාතික හා ප්‍රාදේශිය පාලනාධිකාරීන් විසින් හරිත නිෂ්පාදන ඵලදායිතා මූලධර්ම සිය නිෂ්පාදනයේ අනිවාර්ය අංගයක් ලෙස සහ දේශීය පරිසරය වැඩිදියුණු කිරීම සඳහා වූ ප්‍රතිපත්තිමය විකල්පයක් වශයෙනුත් අනුගමනය කරයි. මෙවන් තත්ත්ව ප්‍රථමයෙන් ම පවුල් ඒකකයක් තුළින්ම නිර්මාණය කර වර්ධනය කර ගත හැක. නිදසුනක් ලෙස පවුලේ සාමාජිකයන් සමඟ සිදුවෙන ගෙවතු වගාව යොදා ගත හැකිය.

හරිත ඵලදායිතාව රටක තිරසාර සංවර්ධනය, ආර්ථික වර්ධනය හා පාරිසරික ආරක්ෂාව සපථ කිරීම සඳහා වූ ඉතා හොඳින් භාවිත කළ හැකි ගතික උපායමාර්ගයකි. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මඟින් සිදුකෙරෙන අඩු පිරිවැය – ඉහළ ගුණාත්මක භාණ්ඩ නිෂ්පාදනය කිරීම තරගකාරී වෙළෙඳපොළේ විශේෂ ලක්ෂණයක් වී ඇත. එමඟින් ඵලදායිතාව ඉහළ නැංවීම සහ පරිසරය ආරක්ෂා කිරීම වැනි වාසිදායක ප්‍රතිඵල ළඟා කරගැනීමට සමත් වී ඇත. එබැවින් මෙය ඉතා යෝග්‍ය උපාය මාර්ගයකි.

පාරම්පරික දූෂණ සහ බොහෝ අපතේ යන පාලන ක්‍රම ලාභදායී නොවේ. හරිත ඵලදායිතාව පිළිබඳ සංකල්පය ලාභදායිතාව සහ සම්පත් ඵලදායිතාව වැනි වාසිදායක තත්ත්වයන් සහතික කරයි. පහළ මට්ටමේ ව්‍යාපාර සහ ප්‍රජාවන් හි බහු ප්‍රතිලාභ ලබාගැනීමට හරිත ඵලදායිතාව හේතුවේ.

ඉතා ඉහළ මට්ටමින් යුතු හරිත ඵලදායිතා වැඩසටහනක් තිබීම මඟින් ලාභදායිතාව වැඩි කරයි. සෞඛ්‍ය සහ ආරක්ෂාව වැඩි දියුණු කරයි, ගුණාත්මක නිෂ්පාදන සිදු කරයි, පාරිසරික ආරක්ෂාව ප්‍රවර්ධනය කරයි, නියාමන අනුකූලතාව සහතික කරයි, සමාගම් ප්‍රතිරූපය වැඩි කරයි, චිත්ත ධෛර්යය ඉහළ නංවයි, තිරසාර සංවර්ධනයකට මඟ පාදයි

හරිත ඵලදායිතාවය නවෝත්පාදන මාර්ගයක් හෙයින් එය පිළිබඳව දැනුවත්කර පුද්ගල දැන්වත් කිරීම තුළින් අඛණ්ඩ ඵලදායිතා ලාභ චක්‍රයක් වෙනුවෙන් ආයතන කළමනාකාරීත්වය පෙළඹවිය හැකිය. මෙහි ප්‍රතිඵලය වන්නේ තරගකාරී ව්‍යාපාරික තත්ත්වය මෙන්ම ස්වාභාවික සම්පත් සුරැකීම සහ යහපත් ජීවන තත්ත්වයක් ඇති වීමයි.

● හරිත ඵලදායිතාවයේ ක්‍රමවේදය

මෙය ආරම්භ කිරීම පහසු කාර්යයකි. මේ සඳහා සම්බන්ධ වීමට කැමැත්ත පළකරන පුද්ගලයන් හඳුනාගෙන හරිත ඵලදායිතා කණ්ඩායමක් පිහිටුවීම මඟින් ආරම්භය සනිටුහන් කළ හැක. කණ්ඩායමට ශූර නායකයෙකුගේ නායකත්වයක් අවශ්‍ය වන අතර නායකයාගේ දක්ෂතාව මෙහිලා ඉතා වැදගත් සාධකයක් වේ. ප්‍රථමයෙන් හරිත ඵලදායිතාවයට ඇති විභවය තේරුම් ගත යුතු වන අතර මූලික දත්ත එක්රැස් කර ඇතිවිය හැකි ගැටලු පිළිබඳ මූලික හැඟීමක් ලබාගත හැක.

කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා විශේෂයෙන් ගැළපෙන පාරිසරික ක්‍රියාකාරිත්වය පිළිබඳ තොරතුරු රුස්කිරීම ඉන් එකකි. දත්ත එකතුකිරීම, දත්ත විශ්ලේෂණය කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා සරල, දෘශ්‍ය හා ප්‍රායෝගික මෙවලමක් වන පරිසර සිතියම්කරණය හඳුන්වාදීම තුළින් මෙම දත්ත රැස් කිරීමේ ක්‍රියාවලිය වඩාත් සාර්ථක වේ. සාර්ථක මෙන්ම පහසු ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රමාණවත් සම්පත් තිබේ දැයි සහතික කර ගැනීම සඳහා ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයේ දායකත්වය තිබීම අත්‍යාවශ්‍ය වේ.

විවිධ විශ්ලේෂණ භාවිත කර විභව්‍යතාවය දියුණු කිරීම පිළිබඳව අදහස් ලබාගත හැක. වැඩිදියුණු කිරීමේ ක්‍රියාවලියට මඟ පෙන්වීම සඳහා අරමුණු සහ ඉලක්ක ස්ථාපිත කර කාර්ය සාධන දර්ශක හඳුනා ගත හැකි අතර එමඟින් තමාට ප්‍රගතිය කළමනාකරණය කිරීමට සහ මැනීමට ඉඩ සලසයි.

හරිත ඵලදායිතා විකල්ප උත්පාදනය හා ඇගයීම සැලසුම් කිරීමේදී සකස් කළ අරමුණු හා ඉලක්ක සපුරාලීම මෙන්ම විවිධ විකල්පයන් සංවර්ධනය කිරීමද ඇතුළත් වේ. නාස්තිය පිටුදැකීම, ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා විකල්ප භාවිතය සහ සංවර්ධනය කිරීම සඳහා පවත්නා හෝ නව පාලන ක්‍රියා පටිපාටි යෙදීම ඊට ඇතුළත් ය. කාර්ය සාධන දර්ශක මත විකල්ප පරීක්ෂා කිරීම සිදුවේ. අපේක්ෂා කරන ආර්ථික හා තාක්ෂණික ප්‍රතිඵල ජාලගත කිරීමට ප්‍රමුඛතාව දෙනු ලැබේ. දැන් ඔබ ප්‍රථම පියවර ගැනීමට සූදානම් ය.

හරිත ඵලදායිතා විකල්ප ක්‍රියාත්මක කිරීම සඳහා සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම යන ක්‍රියාවන් දෙකක් ඇතුළත් වේ. සූදානම් වීමේ කටයුතු සඳහා දැනුවත් කිරීම, පුහුණුව සහ නිපුණතා වර්ධනය කිරීම ඇතුළත් වේ. නව උපකරණ හෝ පද්ධති අවශ්‍ය නම්, මේවා ස්ථාපනය කර ඇත්තේ භාවිත කරන්නන්ගේ උපදෙස් ලබාදීම තුළින් සාර්ථකත්වය සහතික කිරීම සඳහා පුහුණුවීම් සමඟ ය.

නව හරිත ඵලදායිතා විකල්පයන් අධීක්ෂණය කිරීම සහ සමාලෝචනය කිරීම අපේක්ෂිත ප්‍රතිඵල වෙත ළඟාවීමට හෝ ළඟා නොවීමට බලපාන සාධක පිළිබඳ දැනුවත්වීමට ඉතා වැදගත් වේ. මුළු පද්ධතියම නිසි පරිදි ක්‍රියාත්මක වන බවට සහ සැලසුම් කළ පරිදි ක්‍රියාත්මක වන බවට වග බලා ගැනීම සඳහා මෙය භාවිත කරයි. මෙහිදී සොයා යනු ලබන දත්ත විශ්ලේෂණය කර තබාගන්නා වාර්තා ඉදිරි අනාගතයේදී එවැනි තත්ත්වයක් වූ විට භාවිත කළ හැක.

හරිත ඵලදායිතාව පවත්වා ගැනීම සඳහා නිවැරදි විය යුතු ස්ථානය නිවැරදි කිරීමට හෝ පවතින සාර්ථකත්වය මත තවදුරටත් ගොඩ නැගීමට හෝ ක්‍රියා කිරීම අවශ්‍ය ස්ථාන වෙත මෙමඟින් යොමුවේ. ඵලදායිතාව මඟින් වේගවත් කළ හැකි පාරිභෝගික අපේක්ෂාවන්, පරිසරය සහ වෙනත් නවෝත්පාදනයන් ඇතුළුව අභ්‍යන්තර හා බාහිර සාධක විසින් සිදුකරන වෙනස් වන තත්ත්වයන්ට ප්‍රතිචාර දැක්වීම සඳහා සහ ප්‍රගතිය අඛණ්ඩව පවත්වා ගෙන යෑමට ප්‍රතිපෝෂණ ක්‍රියාදාමයක් තිබීම අත්‍යවශ්‍ය වේ.

● ගෙවතු වගාවට හරිත ඵලදායිතාව හඳුන්වා දෙන්නේ කෙසේද?

මේ දිනවල ඉතා සීමිත සම්පතක් වූ ඉඩකඩ පිළිබඳව ගත්කල, ඉඩම් පරිහරණයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම සඳහා අපට ගෙවතු වගාව, ආහාර බෝග සඳහාත් උද්‍යාන අලංකරණය සඳහාත් වඩාත් විදිමත්ව භාවිත කළ හැකිය. අපේ ගෙවත්තේ පරිසරය සුරැකීම සඳහා හරිත ඵලදායිතා ක්‍රමවේදයන් බොහෝ ආකාරවලින් යෙදිය හැකිය. අපට බොහෝ කෘෂි රසායනික ද්‍රව්‍ය හා රසායනිකව සංස්ලේෂණය කරන ලද පොහොර බොහොමයක් අඩු කර ඒවා වඩාත් කාර්යක්ෂම කාබනික හෝ ජෛව උත්පාදක නිෂ්පාදන ලෙස ආදේශ කිරීමට හැක. ගෙවතු වගාවේදී හරිත ඵලදායිතාවට අනුව පිළිගන්නා ඉතා වැදගත් වූ සංකල්ප ලෙස සලකන පසට, වාතයට හා ජලයට කිසිදු හානියක් නොවන නිරෝගී හරිත උද්‍යානයක් සඳහා ඔබේ මනසින් සහ මසැසින් කලාත්මක ආකාරයට නිර්මාණය කරගත හැක. ආපෝ (ජලය), තේජෝ (ගින්න), වායෝ (වාතය) සහ පඨවි (පෘථිවිය/පස) යන රිද්මයානුකූල චලනයන් ඔබේ ගෙවතු වගාව ආරක්ෂා කරන අතර පරිසරය සුරක්ෂිත වූ සාමකාමී දිවියක් සඳහා ඔබේ ආත්මය ආලෝකවත් කරයි.

යූ. එල්. වරුෂහන්නාදි

advertistmentadvertistment
advertistmentadvertistment